ads
News
Loading...

ආදි මානවයා ගැන අමුතු අදහස




**අප්‍රිකාවෙන් පිටත ආදි මානවයාගේ දුනු හී භාවිතය පිළිබඳ පැරණිම සාධක ශ්‍රී ලංකාවෙන් සොයා ගැනීමත් සමඟ මේ වනවිට මානව පරිණාමයේ නව පිටුවක් පෙරැළී තිබේ. එය ශ්‍රී ලාංකිකයන් වශයෙන් අපට ආඩම්බර විය හැකි කරුණකි. මේ පිළිබඳව සවිස්තර වාර්තාවක් බ්‍රිතාන්‍යයේ ඩේලිමේල් වෙබ් අඩවියේ පළ විය.**

එම වාර්තාවට පාදක වූයේ, ‘සයන්ස් ඇඩ්වාන්සස්’ විද්‍යා සඟරාවේ පළ වූ විශේෂ අධ්‍යයන නිබන්ධනයයි. මෙම පර්යේෂණය සඳහා ජර්මනිය, ඔස්ට්‍රේලියාව හා ශ්‍රී ලංකාව යන රටවල විද්‍යාඥයෝ බොහෝ දෙනෙක් සම්බන්ධ වූහ. ඔස්ට්‍රේලියාවේ මිචෙල් ලෑන්ලි, පැට්රික් රොබට්ස්, ජර්මනියේ නොයෙල් අමානෝ, බනිකොලි බොයිවින්, මයිකල් ඩී.පෙට්‍රලියා ඇතුළු විද්‍යාඥයෝ ඒ අතර සිටිති. ශ්‍රී ලංකාවෙන් ඊට එක් වූයේ ශිරාන් දැරණියගල, ඔෂාන් වෙදගේ, එම්. එම්. පත්මලාල් හා නිමල් පෙරේරා යන විද්‍යාඥයන් ය.

පුරා විද්‍යා සාධක අනුව, මුලින්ම දුනු හී භාවිතයට ගනිමින් දඩයම් ​කළේ අප්‍රිකා මානවයා ය. නව පර්යේෂණයෙන් හෙළි වී තිබෙන්නේ, අප්‍රිකාවෙන් පිට දුනු හී භාවිතයට ගෙන ඇත්තේ අප ආදි මානවයා බවය. ඒ අනුව, අප්‍රිකාවෙන් පිටත ආදි මානවයාගේ දුනු හී භාවිතය පිළිබඳ පැරණිම සාධක ශ්‍රී ලංකාවෙන් හමුවී තිබේ. මේ බව තහවුරු වූයේ මෙරට විසූ ආදි මානවයා විසින් භාවිත කරනු ලැබුවේ යැයි විශ්වාස කළ හැකි දුනු හී තුඩුවලට යොදා ගෙන තිබූ අස්ථි කැබලිවල කාල නිර්ණය කිරීමෙනි.

ඒ අනුව, ​එම අස්ථි කැබලි වසර 45,000 ක් පැරැණි යැයි හෙළි විය. ඒ අනුව, අප්‍රිකා මහද්වීපයේ සිට මෙහි සංක්‍රමණය වූ හෝමෝ සේපියන් ආදිමානවයා විසින් දුන්න හා ඊතලය මුල්වරට නිපදවා ගෙන භාවිතයට ගනු ලැබ ඇතැවයි ද තහවුරු වී තිබේ. අප ආදි මානවයා, මේ දුනුහී තල තනා ගෙන ඇත්තේ වල් ඌරන්ගේ, ගෝනුන්ගේ හා ආදි වානරයන්ගේ අස්ථි කැබලිවලිනි. දුනු හී යොදා ගෙන ඇත්තේ අප රටේ වැසි වනාන්තරවල රුක්වැසි සතුන් දඩයම් කිරීම පිණිස යැයි විද්‍යාඥයෝ නිගමනය කරති. තුරු වියනේ ඉහළ අතුපතරින් වේගයෙන් එහා මෙහා යන වඳුරන් හා දඬු ලේනුන් දඩයම් කිරීමට මේ උපක්‍රමය යොදා ගන්න ඇතැයි විද්‍යාඥයෝ විශ්වාස කරති‍. මේ පිළිබඳව පර්යේෂණය කළ අන්තර්ජාතික විද්‍යාඥ කණ්ඩායම පෙන්වා දී ඇත්තේ, මේ හී තල කොටස්, යුරෝපයේ දැනට හමුවී ඇති, මේ හා සමාන තාක්ෂණයට අදාළ ඒවාටත් වඩා බොහෝ පැරණි බවය.

මේ සියල්ල හමුවී තිබෙන්නේ බුලත්සිංහල පාහියන්ගල පිහිටි පාහියන් ලෙනෙහි කරන ලද කැණීම්වලදීය. ඒවාට අමතරව වළං කැබිලිති, සතුන්ගේ අස්ථිවලින් තැනූ විදුම් කටු ද සොයා ගෙන තිබේ. ඒ විදුම් කටු, අලිස් කටුවලට සමාන අතර ඒවා සාමාන්‍යයෙන් භාවිත කෙරෙන්නේ රෙදි හෝ දැල් විවීම සඳහාය. කැණීම් බිමෙහි තිබී හමුවුණු අනෙක් කෞතුක භාණ්ඩ අතර, පාට මිණි කැට අතුළු ඛනිජ ද්‍රව්‍ය, වර්ණවත් කිරි කවඩි ඇතුළු වෙරළෙන් ගෙනෙන ලද විවිධ අලංකරණ ද්‍රව්‍ය ද ඇතුළත්ය. මේ අනුව, පැහැදිලි වන්නේ හෝමෝ සේපියන් මානවයා‍ ලෝකය පුරා ව්‍යාප්ත වෙද්දී වෙනස් වෙනස් පරිසර තත්ත්වයන්ට හැඩ ගැසීමට සමත් වී ඇති බවය. කෙසේ නමුත්, වැසි වනාන්තරවල සම්පත් ප්‍රයෝජනයට ගන්නට හා වඳුරන් හා ලේනුන් වැනි වේගයෙන් එහා මෙහා යන සතුන් අල්ලා ගන්නට උපක්‍රම යොදන්නට පෙළඹුනේ කෙසේ ද යන්න තවමත් හෙළිදරවු වී නැතැයි ද විද්‍යාඥයෝ පැහැදිලි කරති.

‘ශ්‍රී ලංකාවෙන් ලැබෙන සාක්ෂිවලින් තහවුරු වුණු දුනු හී නිපදවීම, රෙදි විවීම ආදිය ආසියාවේ ඝර්ම කලාපීය වනාන්තර ඇතුළු වෙනත් විවිධ තැන්වලින් ද හමුවී තියෙනවා’ යැයි මෙම අධ්‍යයනයෙහි සම-කර්තෘ වූ මයිකල් පෙට්‍රග්ලියා පැහැදිලි කර තිබේ. මොහු ජර්මනියේ විද්‍යාත්මක මානව ඉතිහාසය පිළිබඳ මැකස් ප්ලෑන්ක් පර්යෙක්ෂණායතනයේ විද්‍යාඥයෙකි. ‘ශීතලෙන් ආරක්ෂාවීමට අමතරව, රෙදි හෝ දැල් වියා ගැනීම, ඒ පරිසරයේ ඉන්නා මදුරුවන්ගෙන් බේරීමට යොදා ගත්තා වෙන්නත් පුළුවන්’ ඔහු වැඩිදුරටත් පැහැදිලි කර තිබේ.

ද්‍රව්‍ය භාවිතය පිළිබඳ සංස්කෘතියේ ආරම්භය ගැන, විශේෂයෙන් ම නව දඩයම් ක්‍රම ගැන, කතාබහේදී ආසියාව, ඕස්ට්‍රලේසියාව හා ඇමරිකා මහාද්වීපය කෙරෙහි වැඩි අවධානයක් යොමු වන්නේ නැත. අවධානය යොමු වන්නේ අප්‍රිකාවේ තණ බිම්වලට හා වෙරළබඩ ප්‍රදේශවලට හෝ යුරෝපයේ සමශීතෝෂ්ණ පරිසර කෙරෙහිය. එහෙයින්, ආසියාවේ ඝර්ම කලාපීය වැසි වනාන්තර වැනි වඩාත් දුරින් පිහිටි පරිසර විශාල වශයෙන් මඟ හැරී යයි. එහෙයින්, මානව ජනාවාස පිහිටුවීම පිළිබඳව ඉතා දීර්ඝ ඉතිහාසයක් තිබුණත් ඒ ගැන පවා සැලකිල්ලට ගැනීමක් සිදු නොවෙයි. කෙසේ නමුත් මෙම පර්යේෂණයේ දී අප මානවයා කෙරෙහි අවධානය යොමු කිරීම සම්බන්ධයෙන් පර්යේෂණයට සම්බන්ධ සැම පැසැසුමට ලක් විය යුතුය. ඔවුන්ගේ සොයා ගැනීම්වලට මුල් වූ පාහියන්ගල ලෙන, ප්ලයිස්ටෝසීන යුගයේ අග භාගයේ මානව අස්ථි පොසිල ලෙසින් හමු වූ ස්ථානයකි. කාන්තාවකගේ ඇට සැකිල්ලක් පවා එහි දී මතු කර ගනු ලැබ තිබේ. පොසිල අස්ථි කොටස් සොයා ගැනීම සිදුවූයේ 1960 ගණන්වල හා 1980 ගණන්වලදිය.

‘පාහියන් ලෙන 1980 ගණන්වල පටන් දකුණු ආසියාවේ ඉතා වැදගත් පුරවිද්‍යා භූමියක් ලෙස පතළ, විශේෂයෙන් ම අපේ ආදීමයන්ගේ අවශේෂයන් හා ඔවුන් භාවිත කළ මෙවලම්, ඔවුන් ආහාරයට ගත් දේවල් සුරැකිව පැවති, නිවර්තන කලාපීය තැනක්’ යැයි ‍මෙම අධ්‍යයනයෙහි සම කතුවරයකු වූ ඕෂාන් වෙදගේ පෙන්වා දී තිබේ. ඔහු ජර්මනියේ විද්‍යාත්මක මානව ඉතිහාසය පිළිබඳ මැක්ස් ප්ලෑන්ක් ආයතනයට හා ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ පුරාවිද්‍යා අංශයට සම්බන්ධ විද්‍යාඥයෙකි. පාහියන්ගල ලෙනෙහි කළ කැණීම්වලින් ලබා ගත් මෙම කෞතුක වස්තු සොයා ගනු ලැබුවේ 2009 ත් 2012 ත් අතර කරන ලද කැණීම්වලිනි. අලුතින් ආරම්භ කරන ලද පර්යේෂණයේ දී මේ සියලුම කෞතුක වස්තු ස්ටීරියෝ මයික්‍රස්කෝපයක් යොදා ගෙන පරීක්ෂා කරනු ලැබුණි. එම මයික්‍රස්කෝපයට ඇක්සියෝකැම් 105 කැමරාවක් සවි කෙරුණි. එමගින් ඒවායේ මුල් පාවිච්චියේ දී කෙළින් ම ඇති වූ සීරීම් මතු කර ගත හැකි විය.

‘අස්ථි පුපුරා ගිය තැන්වලින් පෙනී ගියේ ඒවා තද පහරවලට ලක් වීමෙන් ඇති වූ ඒවා බවයි. ඒවා සාමාන්‍යයෙන් ඇති වන්නේ දුනුහී යොදා ගෙන කරන සතුන් දඩයම් කිරීම්වලදියි.’ යැයි පර්යේෂණයට නායකත්වය දුන් මිචෙල් ලෑන්ලි පවසන්නීය. මිචෙල් ලෑන්ලි යනු ඔස්ට්‍රේලියාවේ කවීන්ස්ලන්තයේ ග්‍රිෆිත් විශ්වවිද්‍යාලයට අනුබද්ධ මානව පරිණාමය පිළිබඳ පර්යේෂණ ආයතනයේ මහාචාර්යවරියකි.‘මේ සොයා ගැනීම, මීට පෙර මේ හා සම්බන්ධව සොයා ගෙන තිබුණු දකුණුදිග ආසියාවේ වසර 32,000 ක් පැරණි වාර්තාවට වඩා පැරණියි. මෙය තමා දැනට සොයා ගෙන ඇති, අප්‍රිකා මහාද්වීපයෙන් පිටත දුනුහී භාවිතය කළ බවට විද්‍යාත්මකව තහවුරු කළ පැරණිම වාර්තාව’ ඇය පැහැදිලි කර තිබේ.

මෙම මයික්‍රොස්කොපි තාක්ෂණයම, අනෙක් අස්ථි මෙවලම්වලටත් යොදා කරන ලද නිරීක්ෂණවලින් සොයා ගත හැකි වූයේ ලෙන අසල දියපාරවල මසුන් ඇල්ලීමටත්, රෙදි හෝ දැල් විවීමටත් භාවිත කළ ඒවා විය හැකි බවය. සිරුර ශීතලෙන් ආරක්ෂා කර ගැනීමට වඩා ලැබුණු සාක්ෂි අනුව පෙනී ගියේ රෙදි තනා ගනු ලැබ ඇත්තේ මදුරුවන්ගෙන් බෝ වෙන රෝගවලින් ආරක්ෂා වීම සඳහා යොදන වැස්මක් ලෙසය. එයින් අදහන් වන්නේ මදුරුවන්ගෙන් රෝග බෝවන බවත්, එයින් ආරක්ෂා වීමට උපක්‍රම සෙවීමට අප ආදි මානවයා මනස වෙහෙසා ඇති බවත් ය. මෙම නව අධ්‍යයනය සලකනු ලබන්නේ පේලියෝලිතික යුගය අවසානයේ දී ලෝකයේ බොහෝ ප්‍රදේශවලින් මතු වූ සුවිශේෂ වූත්, සංකීර්ණ වූත් නව තාක්ෂණයන් පිළිබඳව දැනුම වර්ධනය කර ගැනීමේ එක් පියවරත් වශයෙනි.

**(*** ලුසිත ජයමාන්න)
‘ඩේලිමේල් ඇසුරිනි’**
Share on Google Plus

About admin

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 Comments :