ads
News
Loading...

සොඳුරු ප්‍රේම් ගැන ලියැවුනු ඇහැට කඳුළු උනන සටහන


සටහන : චාමර හිමන්ත වන්නිආරච්චි

"අනේ මේ, බානෙන් බැඳ රජරට පෙදෙසින්නේ සින්දුව අහපු දවසේ ඉඳන් මම නිර්මාංෂ වුනා...ෂුවර් එකටම මේක ලියපු ප්රේම් අයියත් මස් කන්නේ නැතුව ඇති"....ගුවන්විදුලියට සම්බන්ධ කෙනෙක් මෙසේ කීවේ සමන් ආතාවුදහෙට්ට් සමගයි...

පසු දිනක සමන්,ඔහු තවත් කීප දෙනෙක් කොල්ලුපිටියේ අවන්හලකට එකතුවී සැන්දෑව ගතකරන අතර එකවර මේ සිද්ධිය සමන් විසින් ප්‍ේම් පිරිසට කීවේය.......

“ඌට පිස්සු බං ,මම ඔය සින්දුව ලිව්වෙත් බීෆ් ඩෙවල් එකක් කන ගමන් අත පිහදාන්න දුන්න පේපර් සර්වියට් එකේ කියල ඌට කියපන්”...ඒ ප්රේම්ගේ පිළිතුර විය.......ප්රේම් සුචරිත වාදියෙක් නොවීය...තමාට සඟවන්නට තරම් රහස් කිසිවක් නොවූ ඔහු තමන්ගේ සියලුම අත්දැකීම් ගීත සහ කවි හරහා ලෝකයට විවෘතමව කීය....

දඬුවමකට කොළඹ ගුවන් විදුලියෙන් අනුරාධපුර රජරට සේවයට මාරු කර යවා තිබූ ප්රේම්ට රජරට පෙදෙසේ ගවයන් දවස පුරා දුම්රියෙන් කොළඹට පටවා එවන අයුරු දකින්නට ලැබුනේ ඔහු නවාතැන්ගෙන සිටියේ අනුරපුර දුම්රියස්ථානය පෙනෙන තෙක් මානයේ නිසාය....ඔවුන් පටවා එවන්නේ දෙමටගොඩ ගව ඝාතකාගාරයට බව දන්නා ප්රේම් එම ගීතය ලියා තමන්ගේ සිතේ හටගත් මහා සංවේගය නිවා ගත්තේය.........

ප්රේම රජරට සේවයේ වැඩට ගියේ හොන්ඩා වර්ගයේ කුඩා මෝටර් සයිකලයකිනි..දිනක් වෙන කල්පනාවකින් එය පදවමින් සිටි ඔහු අනතුරට ලක්වී රෝහල් ගත කළේය... ඔහු සමග ගමන් කළ සගයා වූයේ රජරට සේවයේ රංජිත් රූපසිංහ මහතාය..රංජිත් විසින් ප්රේම් රෝහල් ගත කළේය....ඔහුට අනුරපුරයේ නෑ හිත්වතුන් නොසිටි නිසා රෝහලට වී කාලය ගෙවීමට සිදුවූයේ තනිවමය....ඔහුගේ දකුණු අත කැඩී තිබුන නිසා ඉතා අපහසුවෙන් රෝහලේ සිට ඔහු කවි ලිවීය ..එය “වමතින් ලියූ කවි” ලෙස ඔහු විසින් ප්රකාශයට පත් කළ එකම කවි පොතවූ "නොසැලෙන් ඉන්ද්රඛීලය සේ " නම්වූ කවි පොතේ ඇතුලත්වේ......

එහි එක තැනක ඔහු මෙසේ ලියා තිබුනි.....

අරමුණු හැගුම් පොදි බැඳගෙන අපහාස
දුරු රට ඇවිත් ගතවිය දින සති මාස
රෝහල් ඇඳක දෙදිනක් කෙරුවෙමි වාස
මට සිහිවුනා ගම්පෙරළියෙ ජිනදාස

දිය බිඳුවක් නැතුවාසේ ලිං අඩිය
කවුරුත් කාත් නැති තැන තනිකම වැඩිය
ගත කේඩෑරි විය එනමුත් හිත දැඩිය
වෑ කන්දක් ලෙසයි ගංවතුරක් වැඩිය

ජීවිතයේ ඉතා කුඩා කාලයේ සිට ඔහු නොයෙකවිධ පීඩාවන්ට පත්වී තිබූ කෙනෙක් නිසා තමන්ට දැනුන ධරථයන් ඔහු කවියෙන්ම නිවා ගත්තේය.....

පාසල් කාලයෙන් පසුව ඔහු කිසි දිනෙක පොතක් පත්තරයක් හෝ සඟරාවක් කියවනු කිසිවෙක් දැක තිබුනේ නැත..කියෙව්වා නම් ඔහු කියෙව්වේ බත් එක ඔතා තිබූ පත්තර කොලය පමණි....එවැන්නෙකුට මෙසේ පුදුමාකර ලෙස උපමාවන් යොදා ගනිමින් විවිධ මාතෘකා ඔස්සේ විවිධ ශෛලියේ ගීත කවි රචනා කිරීමට තරම් පරිචයක් ලැබුනේ කෙසේදැයි පුදුමයකි... මේ හේතුව නිසාම ඔහු “සිංහල ගීතයේ ජනකවියා” ලෙස වරක් රත්න ශ්රී විජේසිංහයන් විසින් හැඳින්වීම කොතරම් සාධාරණද ? ජන කවියා ක්ෂණිකවම තමනට එන හැඟීම තම අතීත අත්දැකීම් ඔස්සේ ගලපා අමුවෙන්ම ඉදිරිපත් කරයි..එහි එතරම් සංස්කරණය කළ යුතු තැන් නැත.බොහෝ දෙනාට ඉතා පහසුවෙන් තේරුම් ගත හැකිවා මෙන්මා රස විඳිය හැක....

ප්රේම් විසින් ලියූ ගීත කිසිවක් සැලසුම් කොට ලියූ ඒවා නොවන බව ඒවායේ නිධාන කතා වලින් හොඳින්ම පැහැදිළිවේ..එහෙත් මේ බොහෝ ගීතවල සැගවුණු වෘතාන්තමය බවක් තිබේ..ඒ නිධාන කතා මේ වනවිට බොහෝ ප්රසිද්ධ නිසා අමුතුවෙන් ඒවා ගැන කිව යුතු නොවේ...

ඔහු මේ සරළ ක්රමයට අමරදේවයන්ගේ සිට ෆ්රෙඩී සිල්වා දක්වාම ගීත ලිවීය...ඒ සියල්ලක්ම පොදු මහ ජනයා අතර අදටත් ජනපරියය.........

අසූව දශකයේ කුඩා දරුවන් අතර ඉතා ජනප්රියවූ "දොස්තර හොඳ හිත" කාටූන් වැඩසටහන වෙනුවෙන් ගීත කීපයක් ලියාදෙන ලෙස ටයිටස් තොටවත්තයන් විසින් ප්රේම්ට කියා තිබුනත් ඔහුට එය අමතකවී තිබුනි......බොහෝ දිනක් බලාහුන් තොටවත්තයන් දිනක් ප්රේම් සොයා ගුවන්විදුලියට පැමිණ "අයිසේ ප්රේම්,තමුසෙට ඕක මුලින්ම බෑ කියල කිව්වනම් ඉවරනේ...දැන් බෑ කියන්නෙ කොහොමද ,මට හෙට උදේ වෙනකොට සින්දු ටික ඕන...."

ඊට මද සිනාවක් පෑ ප්රේම් "මිස්ටර් තොටවත්ත, බෑයි කියල බෑයි කියල බෑ" යනුවෙන් කියා ආපසු යන්නට ගියේය...පසු දින උදයේ රූපවාහිනියේ තොටවත්තයන්ගේ මේසය උඩ හාෆ් ශීට් කොල කීපයක ලියූ ගීත කීපයක් තබා තිබුනි..එහි පළමු ගීතය වූයේ "බෑයි කියල බෑයි කියල බෑ" යන "ලා තණකොල පෙත්තාස්" ගැයූ ගීතයයි........

ප්රේම්ගේ අංක එකේ කළ්යාණ මිතුරාවී සිටියේ ඔහු "රත්තා" ලෙසින් හැදින්වූ වික්ටර් රත්නායකයන්ය...මේ දෙදෙනා බොහෝ විට එකට කාලය ගත කිරීම ප්රිය කළෝය....හැත්තෑව දශකයේ අග භාගයේ දිනෙක මේ දෙදෙනා හිතවත් පිරිසක් සමග නිලාවේළි වෙරළේ සන්ධ්යායවක් ගතකරමින් සිටියහ....නොදැනීම මධ්යම රාත්රිය එළැඹුණි......අසල ගල් තලාවක උඩුකුරුව සැතපී සිටි ප්රේම් එකවර අහස දෙස බලාගෙන "තනි තරුවේ " යැයි මහ හඬින් කෑ ගැසීය.......පසුව වික්ටර් ගැයූ "තනි තරුවේ" ගීතයේ ආරම්භය එසේ සිදු විය.......

දුම්රිය සේවකයකුගේ පුතෙකුවූ ප්රේම් මාලිගාකන්ද මහා විද්යාලයෙන් මූලික අධ්යාපනය හදාරා පසුව කොළඹ ආනන්දයට ඇතුළුවීම ඔහු ලද ජයග්රහණයකි...පහළ මධ්යම පාංතිකයන්වූ ප්රේම්ගේ පියාට වුවමනා කර තිබුනේ තම පුතා දුම්රිය සේවයට එක් කරවීමට වුවත් ප්රේම්ගේ සිහිනය වූයේ ගුවන් විදුලියට සම්බන්ධ වීමයි....මේ නිසා කුඩා කාලයේ ඔහු සයනයෙහි උඩු අතට දිගාවී පත්තර කැබලි වල තිබෙන දෑ ප්රවෘත්ති හඬින් කියවන්නට විය...

කරුණාරත්න අබේසේකරයන් මෙහෙයවූ "ළමා පිටියේ" හඬ පරීක්ෂණයට කොට කලිසමක් හැඳ මුල් වරට අම්මා සමග ගිය මේ දෙදෙනා, ගුවන්විදුලිය තිබූ තැන නොදැන සිටි නිසා බස් රථයේ ජනේලයෙන් ගුවන් විදුලියේ විකාශණ කුළුණ දුටු විට බස් රථයෙන් බිමට බැස ඒ දෙස බලාගෙන හොයාගෙන ගිය බව වරක් ඔහු කීය..ඔහුගේ හඬ ගීත ගායනයට සුදුසු නැති නිසා ඔහු ළමා පිටියට ලැබෙන ලිපි කියවීම සඳහා යෙදවීමට කරු මහතා තීරණය කළේය...එදා සිට “කරූ” ඔහුගේ “ගුරූ” විය....

පසු කාලයේදි ජනපති ප්රේමදාස ප්රේම්ගෙන්, ඔහුට තමන්ගෙන් කුමක් සිදුවිය යුතුදැයි ඇසූ විට ඔහු එකවර කියා තිබුණේ..."ජනපති තුමා මට මුකුත් එපා,මගේ ගුරුතුමා කරූ අයියා වෙනුවෙන් පවතින යමක් කරන්න" යනුවෙනි...එය ඇසු ජනපතිවරයා කරූ මහතා වෙනුවෙන් මාවතක් නම් කරවීය...ඔහු දේශපාලකයන් පසු පස නොගිය මිනිසෙක් බවත් කළ ගුණ දන්නා කෙනෙකුන් බවත් ඉන් මොනවට පැහැදිළිවේ...

ප්රේම් දවසක ඝාතනය වන බව දෛවයේ සරදමකට මෙන් ඔහු ඉවෙන් මෙන් කලින් දැනගෙන සිටියේය...1989 ජූලි 31 දින ඔහු ඝාතනය වූයේ පපුවට වෙඩි තබාය.1977 වසරේ ඔහු ඵල කළ "නොසැලෙන් ඉන්ද්රඛීලයසේ " කවි පොතේ අවසන් පිටු දෙකේ ඔහු මේසේ ලියා තිබීමම පුදුමයකි..වසර දොළහකට පෙර ඔහු කියූ දෙයින් වෙනස්වී තිබුනේ ඔහු ඝාතනයට යොදාගත් ආකාරය පමණි..එනම් පිහියක් වෙනුවට තුවක්කුවක් ආදේශ වීමයි...

---- දාස් පෙතියා මල් ------

ඔහු බිරිඳගෙන් ඈත්ව ජීවත්වේ.

ඔහුට සිඟිති දියනියක් සිටී..

දියණිය සිටින්නී
බිරිදගේ සෙවනේය.

මසකට වරක් දුව බලන්නට ඔහු
නිවසට යයි.

වරක් ගිය දවසක මිදුලේ වැවී තිබුණු
දාස් පෙති මල් පදුරෙන්
ඇට මිටක් කඩා
" තාත්තී මේ ටික කොහේ හරි පැල කරන්නැ" යි
දියණිය ඔහු අත තැබුවාය.

ඔහු ඒවා කමීස සාක්කුවේ දමා ගත්තේය.

ඔහු නතරවී සිටියේ බෝඩිමකය.

ඔහුට ඒවා හිටවන්නට තැනක් නොතිබුණි.

ඔහු බෝඩිමට විත් ඒවා මේසය මත තැබීය.

ඊළඟ මාසයේ දියණිය බලන්නට නිවසට ගියවිට
"තාත්තී මං අර දුන්නු දාස් පෙති ඇට ටික
පැලවෙලාදැයි "දියණිය ඇසුවාය.

"අනේ නෑ දුවේ..." ඔහු කීය.

එදිනද ඔහු ඇයගෙන් සමුගෙන එන්නට පෙර
ඈ දාස්පෙති මල් පඳුරෙන් ඇට මිටක්
කඩා ඔහු අත තැබුවාය.

ඔහු ඒවා කමීස සාක්කුවේ දමා ගත්තේය.

අනතුරුව බෝඩිමට විත් ඒවා මේසය මත තැබීය.

ඊළඟ මාසයේ දියණිය බලන්නට නිවසට ගියවිට
තාත්තී මං අර දුන්න දාස් පෙති ඇට ටික 
පැලවෙලාදැයි " දියණිය ඇසුවාය.

"අනේ නෑ දුවේ..." ඔහු කීය.

එදිනද ඔහු ඇයගෙන් සමුගෙන එන්නට පෙර
ඈ දාස්පෙති මල් පඳුරෙන් ඇට මිටක්
කඩා ඔහු අත තැබුවාය.

ඔහු ඒවා කමීස සාක්කුවේ දමා ගත්තේය.

එදා අඳුරු රාත්රියකි.

ඔහු ගුරු පාරට ආවේය.

කලුවරේ පිය මැන්නේය.

හිටිඅඩියේ පාරට පැනගත් සොරුන්
පිරිසක් ඔහු වටකර ගත්හ.

ඔහුගේ මුදල් පැහැරගන්නට තැත් කලහ.

බැරිම තැන
ඔහු කෑ මොර දෙන්නට හදත්ම
එක් සොරෙක් ඔහුගේ ලය පසා කරගෙන යන්නට
පිහි පාරක් ඇන්නේය.

ඔහු මැරී වැටුනි.

බියපත් සොරුන් ඔහුගේ මළකඳ
දෙපයින් බිම දිගේ ඇදගෙන ගොස් අසල වූ පාලු කුඹුරක
මඩෙහි ඔබා යටකර දැමීය.

ඊළඟ මාසයේ දියණිය ඔහු එනතුරු
මග බලමින් සිටියාය.

එහෙත් ඔහු ආයේ නැත.

ඔහුට කුමක් වී දැයි කිසිවෙක් නොදත්හ.

පාලු කුඹුරක දාස් පෙති මල් දාහක් පිපී තිබුණි.

(77,78 පිටු, නොසැලෙන් ඉන්ද්රඛීලය සේ කාව්ය සංග්රහය )

ඔහු ගැන ලියන්නට ගියහොත් තවත් වචන දහස් ගනන් ලිවිය හැක.ජීවත්වූ වසර 42ක් තරම්වූ කෙටි කාලය තුළ ඔහුගෙන් අපේ රටේ කලාවට හිමිවූ දේ අසීමිතය...

අපේ රටේ මිනිසුන් ඉතාම අවාසනාවන්ත මෝඩ පිරිසකි....තමන්ට යාමට තිබෙන බස් වලට මෙන්ම,තමන්ට විදුලිය සැපයූ ට්රාන්ස්ෆෝමර් වලට ඔවුන්ම ගිණි තබාගෙන ජනතාවට විමුක්තිය ලබා දෙන්නට සිතූහ...මුහුණත් එක්ක තරහා වී නහය කපා ගන්නා මට්ටමේ අඳ බාලයන්වූ ඔවුන්ගේ මේ හැසිරීම නිසාම වෙනත් පෞද්ගලික ඝාතනයන්ද ඔවුන්ටම බැර කොට අත පිසදා ගැනීමේ කලාවක් ඒ දිනවල තිබුනි... ප්රේම්ගේ ඝාතනය දේශපාලනමය එකක් නොවන පෞද්ගලික එකක් යැයි බොහෝ දෙනා කියති....ඇත්ත නැත්ත කෙසේ වෙතත් ඝාතකයන්ට ඒ වෙනුවෙන් අණ ලැබුනේ කාගෙන් වුවත් අවසන් විග්රහයේදී ඔහුට වෙඩි තැබුවේ නිර්ධන පංතියේම මිනිසෙක් බව අප පිළිගත යුතුය... තමන්ගේ පංතියේම මහා කලා කරුවෙක් ඔවුහු වෙඩි තබා ඝාතනය කළෝය... ප්රේම් ඝාතනය නොකරන ලෙස ඔහු අත් දෙක එකතු කොට වැඳ ඉල්ලා තිබුනි..එවිට ඔවුන් මුලින්ම වෙඩි තැබුවේ අත් දෙකටය..දෙවනුව කටටත්..අවසානයේ හදවත පසාරු කරගෙන යන ලෙසත් ඔවුන් වෙඩි තබා තිබුණි….

ඔවුහු සමනලයකුගේ තටු සිඳ විනාශ කරන ලදී.........

-------------  ------------
Share on Google Plus

About admin

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 Comments :