ads
News
Loading...

නලලට අල්ලන උෂ්ණත්වමානවල ඇත්ත කතාව




අධෝරක්ත උෂ්ණත්වමාන (Infra red Thermometers)

කොවිඩ්-19 වසංගත අවදානම අවම කරගනිමින් සාමාන්‍ය ජන ජීවිතය යථා තත්වයට පත්කිරීමේදී ජනතාව නිතර ගැවසෙන වෙළඳසැල්, බැංකු වැනි සේවා සපයන ආයතන තුළට ජනතාව ඇතුල්විය යුත්තේ විශේෂ ක්‍රමවේදයක් අනුගමනය කරමිනුයි. එවැනි ස්ථානවලට ඇතුල් වීමට පෙර විශේෂ උපකරණයක් යොදාගනිමින් උෂ්ණත්වය මැනීම සිදුකරන්නේ පුද්ගලයාගේ ශරීරයෙන් නිකුත් කරන අධෝරක්ත කිරණ උපයෝගී කරගනිමිනුයි.

තාප විකිරණ:

පදාර්ථයේ ඇති අංශු රත්වීමේදී වැඩි පරාසයක චලනය වන අතර එහිදී අංශුවල ආරෝපණ විස්ථාපනය වීමෙන්
හටගන්නා විද්‍යුත් චුම්භක විකිරණ තාප විකිරණ ලෙස හැඳින්වේ. නිරපේක්ෂ ශූන්‍යට වඩා වැඩි උෂ්ණත්වයේ ඇති සියළුම වස්තූන් තාප විකිරණ පිට කරයි. සත්වයන්ගේ ශරීර වලින් නිකුත් කෙරෙන අධෝරක්ත කිරණ හා කොස්මික් ක්ෂුද්‍ර පසුබිම් තරංග (Cosmic Microwave Background Radiation) මෙම තාප විකිරණ වලට උදාහරණ වේ. තාපගතික සමතුලිතතාවයේදී යම් වස්තුවක් කෘෂ්ණ වස්තුවක ලක්ෂණ තෘප්ත කරයි නම්, එනම් යම් වස්තුවක් ඒ මත පතිත වන සියළුම විකිරණ වලට එම වස්තුව හරහා ගමන් කිරීමට ඉඩදෙයි නම් (පරාවර්තනය වීමකින් තොරව) සහ සියළුම විකිරණ අවශෝෂණය කරනු ලබයි නම් ( වස්තුව හරහා සම්ප්‍රේෂණය වීමකින් තොරව) එම වස්තුව කෘෂ්ණ වස්තුවක් ලෙස හඳුන්වනු ලැබේ. කෘෂ්ණ වස්තුවක වර්ණාවලිය එහි උෂ්ණත්වය මත රඳාපවතින අතර ප්ලාන්ක්ගේ නියමය මගින් විස්තර කරයි. විමෝචනය කරන විකිරණ වල සංඛ්‍යාතය වීන්ගේ විස්ථාපන නියමය මගින් ද, එහි තීව්‍රතාවය ස්ටෙෆාන්- බෝල්ට්ස්මාන් නියමය මගින්ද පැහැදිලි කරයි.

අධෝරක්ත කිරණ:

විද්‍යුත් චුම්භක තරංග වර්ණාවලියේ නැනෝමීටර 700 සිට මිලිමීටරයක් දක්වා පරාසය තුළ විහිදෙන අධෝරක්ත කිරණ දෘශ්‍ය ආලෝකයට වඩා වැඩි තරංග ආයාමයන්ගෙන් යුක්තයි.කාමර උෂ්ණත්වයට ආසන්න උෂ්ණත්වය වල ඇති වස්තූන් බොහෝමයක් නිකුත් කරන තාප විකිරණ අයත් වන්නේ මෙම අධෝරක්ත කලාපයටයි. විද්‍යුත් චුම්භක තරංග වර්ගයක් නිසා එය තරංග හා අංශු යන දෙආකාරයටම හැසිරෙයි. දෘශ්‍ය ආලෝකය මෙන්ම අධෝරක්ත කිරණද සරල රේඛීයව ගමන් කරන අතර තම මාර්ගයේ ඇති අංශු මගින් අවශෝෂණය හා පරාවර්තනය යන සංසිද්ධි වලට භාජනය වෙයි.

අධෝරක්ත උෂ්ණත්වමානයේ සැලසුම හා ක්‍රියාකාරීත්වය:

මෙහිදී ස්කන්ධයක් සහිත වස්තූන් විසින් තාපය ලෙස පිට කරනු ලබන ශක්තිය (අධෝරක්ත කලාපයට අයත්) සහ අවට පරිසරයේ අධෝරක්ත කිරණ අතර වෙනස සංසන්දනාත්මකව සළකමින් පාඨාංකය ලබා ගනියි.
ස්පර්ශ නොවන ආකාරයට උෂ්ණත්වය මැනීමට සකස් කර ඇති අධෝරක්ත උෂ්ණත්වමාන වල උෂ්ණත්වය මැනීමට අවශ්‍ය ඉලක්කය (target) මගින් නිකුත් කරන ශක්තිය එක් රැස් කරගැනීම සඳහා සකස්කරන ලද කාචයකින්, ලබා ගන්නා ශක්තිය විද්‍යුත් සංඥාවක් බවට පත් කරන අනාවරකයකින් ( detector), වස්තුවේ විමෝචක ලක්ෂණ වලට අදාළව උෂ්ණත්වමානය ක්‍රමාංකනය කිරීමට හැකිවන පරිදි විමෝචකතා සීරුමාරු කොටසකින් ( Emmisivity adjustment), සහ අධෝරක්ත පරාසය ඉක්මවා යන අධික උෂ්ණත්ව වලින් උපකරණයට හානි වීම වැළක්වීමට සැකසුණු පරිපථයකින් ද සමන්විතයි.
වස්තුවෙන් පිටවන අධෝරක්ත කිරණ අධෝරක්ත සවේදක (Infrared Sensors) මගින් ග්‍රහණය කරගෙන එම කිරණ වල ශක්තිය පරිපථයක් හරහා විද්‍යුත් සංඥාවක් බවට පත් කරයි. මෙම විද්‍යුත් සඥාව ක්‍රමාංකනය කරන ලද උපකරණයේ ඩිජිටල් තිරය මත ප්‍රදර්ශනය කරනු ලබන අතර එය ඕනෑම අයෙකුට පහසුවෙන් කියවා ගත හැකිය.

මැනීමට ගත වන්නේ තත්පර කිහිපයක් පමණක් නිසාත්, භාවිතා කිරීමට විශේෂිත පුහුණුවක් අවශ්‍ය නොවන නිසාත් බහුලව භාවිතා වන උපකණයක් ලෙස ජනප්‍රිය වී ඇත.

භාවිත හා උපදෙස්:

වස්තුවෙන් ඈත සිට හා ඉක්මණින් පාඨාංකය ලබා ගත හැකි වීම, වෙනත් උෂ්ණත්වමාන වලට සාපේක්ෂව අවට පරිසරයෙන් වන බලපෑම අඩු වීම, විශාල උෂ්ණත්ව මැනීමට භාවිතා කළ හැකි වීම හා පහසුව නිසා අධෝරක්ත උෂ්ණත්වමානය බහුල ලෙස භාවිතා වෙයි.
අධෝරක්ත උෂ්ණත්වමාන භාවිතාකරන්නේ සාමාන්‍ය උෂ්ණත්වමානයක් භාවිතා කිරීම ප්‍රායෝගික නොවන අවස්ථාවලදීය. ( උදාහරණයක් ලෙස මේ දිනවල වැනි වසංගත තත්වයකදි දුරක සිට උෂ්ණත්වය මැනීමට අවශ්‍ය වන අවස්ථාවක) කණ ආශ්‍රිත රෝගී තත්ව වලදී ඉතා සියුම් ඉන්ද්‍රියක් වන කර්ණ පටහ පටලයේ උෂ්ණත්වය ස්පර්ශයෙන් තොරව පරීක්ෂා කිරීමටත් මෙම උෂ්ණත්වමාන භාවිතා කරයි. ගිනි නිවීමේ කටයුතු වලදී ගින්න ඇති වීමට හේතූන් හා එය පැතිරීමට බලපාන උපකරණ සොයා ගැනීමටත් අධෝරක්ත උෂ්ණත්වමාන යොදාගත හැකියි. විශාල කර්මාන්ත ආශ්‍රිත යන්ත්‍ර සූත්‍ර එක දිගට ක්‍රියාත්මක කිරීමේදී ඇතිවන අධික රත්වීම් වලින් ආරාක්ෂා කිරීමටත් මෙවැනි උෂ්ණත්වමාන සහිත සංවේදක (sensors) එම යන්ත්‍ර වලට සවිකෙරෙයි.

උෂ්ණත්වය මනිනු ලබන වස්තුවේ පෘෂ්ඨයේ ස්වභාවය මත විමෝචකතාව වෙනස් වන නිසා අධෝරක්ත උෂ්ණත්වමාන නිපදවීමේදී උෂ්ණත්වය මැනිය යුතු වස්තුවේ පෘෂ්ඨයේ ස්වභාවය අනුව තෝරා ගත යුතු අධෝරක්ත කිරණ පරාසය තීරණය කළ යුතුය.
දූවිලි අංශු, දුම්, ද්‍රව අංශු ආදියෙන් අධෝරක්ත සංවේදක කොටස්වලට හානි වීමටත්, මිනුමේ නිරවද්‍යතාවය අඩු වීමටත් හේතු විය හැකි බව භාවිතයේදී විශේෂයෙන් සිහියේ තබා ගත යුතුයි.

චේත්‍යා විදානපතිරණ
Share on Google Plus

About admin

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 Comments :