ads
News
Loading...

කොරෝනා ලංකාවටත් එන ලකුණු


ව්‍යාප්ත  පවතින මාරාන්තික සාර්ස් වෛරසය හා සමාන කොරෝනා නැමැති ව්‍යාප්තිය හා වැළදීමේ ආකාරය නිශ්චිතව හඳුනා නොගත් වෛරසයක් පිළිබඳ චීනයෙන් වාර්තා වීමත් සමග ලෝකයේම අවධානය ඒ වෙත යොමු වී තිබේ.
මුලින් එම වෛරසය ආසාදිත පුද්ගලයින් හඳුනාගත් නගරයෙන් ඔබ්බට අදාළ වෛරසය පැතිරී තිබෙනවා. ඉන්පසු කෙටිකාලයක් තුළ චීනයේ එම වෛරසය අසාදිතයින් ගණන 139 ක් දක්වා ඉහළ ගොස් ඇති බව මුලින් වාර්තා විය. ඒ අතර තවත් මරණයක් ද වාර්තා වීමත් සමග එම වෛරසය හේතුවෙන් චීනයේ සිදුවූ මරණ සංඛ්‍යාව 3 දක්වා ඉහළ ගොස් තිබේ.
බීජිං හි සෞඛ්‍ය බලධාරීන්, ජනවාරි 20 වන සඳුදා තවත් කොරෝනා වෛරස් රෝගීන් දෙදෙනෙකු හමුවූ බව සනාථ කළ අතර ගුවාංඩොං බලධාරීන් ෂෙන්සෙන් හි එක් ආසාදිතයෙකු හඳුනාගෙන ඇත. ඒ සමගම එම අද්භූත වෛරසය වුහාන් වලින් ඔබ්බට දේශීයව පැතිරී ඇති බවට බලධාරීන් විසින් තහවුරු කරනු ලැබිණි. මරණයට පත්වූ ආසාදිතයින් තිදෙනාම වුහාන් වෙත පැමිණි අය බව විශ්වාස කෙරේ.
සෙනසුරාදා සහ ඉරිදා දිනවල නව රෝගීන් 136 දෙනෙකු හඳුනාගෙන ඇති බව වුහාන් නාගරික සෞඛ්‍ය කොමිසම ජනවාරි 20 වන සඳුදා නිවේදනය කළේය. ඉන් එක් අයෙකු වෛරසයෙන් මියගොස් ඇති අතර දෙදෙනෙකු අසාධ්‍ය තත්ත්වයේ පසුවන අතර එයින් 33 දෙනෙකුගේ තත්ත්වය බරපතල බව බලධාරීහු පවසති.
මෙම නව සිද්ධීන් මගින් චීනයේ වෛරසය ආසාදිත වී ඇතැයි හඳුනාගෙන ඇති මුළු සංඛ්‍යාව 201 දක්වා ඉහළ ගොස් ඇති අතර සති අන්තයේ 62කු වාර්තා වීම සැලකිය යුතු වැඩි වීමක් ලෙස සැලකේ.
ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) ජනවාරි 19 වන ඉරිදා කියා සිටියේ නව වෛරසය “සීමිත ලෙස මිනිසාගෙන් මිනිසාට සම්ප්‍රේෂණය” වීම පිළිබඳ සාක්ෂි පවතින බවයි. එය කලාපීය වශයෙන් දැඩි අවදානමක් ඇතිවීමේ බිය මතු වී ඇති බවත් සඳහන් කර තිබේ. නිවාඩු කාලය තුළ සාමාන්‍යයෙන් රට පුරා සහ විදේශයන් හී චීන සංචාරකයින් මිලියන ගණනක් සැරිසරනා බව දැකගත හැකිය.
පසුගිය සතිය වන විට, චීනයෙන් පිටතදී අදාළ වෛරසය ආසාදිත පුද්ගලයින් තිදෙනෙකු අනාවරණය විය. ඒ තායිලන්තයේ දෙදෙනෙක් සහ ජපානයේ එක් අයෙක් ලෙසයි. සියලුම දෙනා චීනයේ වුහාන් සමඟ සම්බන්ධ වූ අය වූ බව ද අනාවරණය වී ඇත.
ජනවාරි 20 වන සඳුදා දකුණු කොරියාව ද මෙම වෛරසය පිළිබඳ පළමු සිද්ධිය තහවුරු කළේය. දකුණු කොරියානු රෝග පාලනය හා වැළැක්වීමේ මධ්‍යස්ථානයට අනුව 35 හැවිරිදි චීන ජාතික කාන්තාවක් වුහාන් සිට දකුණු කොරියාවේ සෝල් හි ඉන්චියොන් ජාත්‍යන්තර ගුවන්තොටුපළට ජනවාරි 19 වන ඉරිදා පැමිණීමෙන් පසු උෂ්ණත්ව පරීක්ෂාවකින් ඒ බව අනාවරණය විය. ඇය නිරෝධායනය කර ඇති අතර ස්ථාවර තත්ත්වයේ පසුවන බව දකුණු කොරියානු සෞක්‍ය බලධාරීන් පවසයි.
චීනයේ වුහාන්හි පදිංචි මෙම කාන්තාව තවත් පස් දෙනෙකු සමඟ දකුණු කොරියාවේ සහ ජපානයේ නිවාඩුවක් ගත කිරීමට සැලසුම් කර තිබුණි. දකුණු කොරියානු රෝග වැළැක්වීමේ මධ්‍යස්ථානයට අනුව ජනවාරි 18 වන සෙනසුරාදා තමාට උණ සහ මාංශ පේශි වේදනාවක් ඇති වූ බව අදාළ කාන්තාව පවසා ඇති අතර වුහාන් හි වෛද්‍යවරයකු විසින් ඖෂධ නියම කරන ඇතැයිද කියැවේ. චීනයේ මේ කාලයේ අලුත් අවුරුදු නිවාඩු කාලය ගෙවී යන අතර චීන ජාතිකයින් මිලියන 7 කට ආසන්න සංඛ්‍යාවක් පසුගිය වසරේ විදේශ ගත වී ඇතැයි ගණන් බලා තිබේ.
“චීන සංචාරකයින් අලුත් අවුරුදු නිවාඩුව තුළ ඔවුන්ගේ විදේශ සංචාර සිදුකිරීම හේතුවෙන් ඉදිරි දිනවලදී ආසියාවේ තවත් බොහෝ රටවලට වෛරසය ගෙන එනු ඇතැයි මම විශ්වාස කරනවා” යැයි හොංකොං චීන විශ්ව විද්‍යාලයේ ශ්වසන විශේෂඥ මහාචාර්ය ඩේවිඩ් හුයි ෂු-චියොන්ග් අනතුරු අඟවා තිබෙනවා.

ශ්‍රී ලංකාවට ප්‍රබල බලපෑමක් විය හැකියි

2018 මහ බැංකු වාර්තාව අනුව ශ්‍රී ලංකාවට වැඩිම සංචාරකයින් ප්‍රමාණයක් පැමිණෙන්නේ ඉන්දියාවෙන් සහ චීනයෙන් ය. ඊට අමතරව ශ්‍රී ලංකාවේ විවිධ සංවර්ධන ව්‍යපෘති හේතුවෙන් ශ්‍රී ලංකාවේ සේවය කරන චීන ජාතිකයින් විශාල පිරිසක් සිටින අතර ඔවුන් සැළකිය යුතු ලෙස චීනය හා ශ්‍රී ලංකාව අතර සංචාරය කරනු ලබයි.
මේ තත්වය හේතුවෙන් ශ්‍රී ලංකාව එම වෛරසයට නිරාවරණය වීමේ ඉහළ ඉඩකඩක් පවතින බව වාර්තා වේ. මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය බලධාරීන්ගේ අවධානය යොමු වී ඇතැයිද වාර්තා වේ.
බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී ඩී.ආර්. පෙරේරා සඳහන් කරන්නේ උණ රෝගීන් පරීක්ෂා කෙරෙන යන්ත්‍ර මෙතෙක් ව්‍යාප්ත කර නොමැති වුවත් ගුවන්තොටුපළ සියලුම කාර්ය මණ්ඩල මෙම රෝගීන් හඳුනාගැනීම සඳහා දැනුවත් කර තිබෙන බවයි.
ගුවන්තොටුපළේ දී මෙවැනි රෝග ලක්ෂණ සහිත රෝගීන් හඳුනාගතහොත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ උපදෙස්වලට අනුකූලව යමින් වහාම ඔවුන් අන් පුද්ගලයන්ගෙන් හුදකලා කරමින් පරීක්ෂකාවට ලක්කොට ඔවුන්ව අංගොඩ වසන්ගත රෝග මධ්‍යස්ථානය වෙත යොමු කිරීමට කටයුතු කෙරෙන බව ද ගුවන්තොටුපළ වෛද්‍ය අංශය සඳහන් කරයි.
Share on Google Plus

About admin

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 Comments :