ads
News
Loading...

චීන හමුදා ඉන්දියානු සොල්දාදුවන් 20 ක් මරාදමයි



ඇණ සවි කළ පොලුවලින් ගසා මළ සිරුරු විකෘති කරලා..!


දෙරට අතර යුද්ධයක් පිළිබඳ භීතියක් ඇති කළ පසුගියදා ගැටුමේ දී චීන හමුදා විසින් පහර දී ඝාතනය කරනු ලැබීමෙන් පසු සිය සෙබළුන්ගේ මළ සිරුරුවලට ද හානි සිදු කර ඇති බව ඉන්දියාව ප්‍රකාශ කර තිබේ.

හිමාලය කඳුකරයේ අමානුෂික ලෙස මුහුණට මුහුණ ලා වූ පොරයට භාවිතා කළ උල් ආයුධ පෙන්වන පින්තූර ද මතු වන්නට පටන් ගෙන ඇත.

න්‍යෂ්ටික බලයෙන් සන්නද්ධ දෙරට අතර කෝපය ඇවිස්සීමත් සමග ගැල්වාන් නිම්නයේ සිදු වූ සටනේ ම්ලේච්ඡත්වය නවදිල්ලියේ කෝපයට හේතු වී ඇති බව India Today වාර්තා කරයි. එම ප්‍රකාශනයේ සමහර ඉන්දීය හමුදා භටයන්ගේ මළ සිරුරු “විකෘති කර” ඇති බව සඳහන්ව ඇති නමුත් වැඩි විස්තරයක් දී නැත.

චීන හමුදාව “ඝාතක කල්ලියක්”
------------------------
ඉන්දියානු සොල්දාදුවන් 55 දෙනෙකුට චීන භටයන් 300 ක් කඳු මුදුනක දී හමු වූ අවස්ථාවේ දී සිදු වූ බව කියන සටන සම්බන්ධයෙන් සිත් කම්පා කරවන තොරතුරු අනාවරණය වී තිබේ. අතට හසු වූ ආයුධවලින් මුහුණට මුහුණ ලා කළ සටනේ දී හමුදා නිලධාරියෙකු වූ බිකුමල්ලා සන්තෝෂ් බාබු ඇතුළු ඉන්දීය සොල්දාදුවන් අවම වශයෙන් 20 දෙනෙක් මිය ගියහ.

උල් ඇණ ගසා, කටු කම්බි එතූ බැට් පිති භාවිතා කළ බව වාර්තා වේ - එක් ඉන්දීය නිලධාරියෙක් චීන හමුදාව “ඝාතක කල්ලියක්” ලෙස විස්තර කරයි.

දෙපාර්ශ්වය අතර සාකච්ඡා “තත්වය යන්තමින් පාලනය කර ගැනීමක්” ලෙස වාර්තා වන අතර ප්‍රදේශයේ තත්වය “අතිශයින්ම අස්ථාවර” වේ.

මෙම සටනින් මරණ 43ක් වාර්තා වන අතර, චීන හමුදාවෙන් කී දෙනෙකු මිය ගියේ ද යන්න පැහැදිලි නැත.

සැබෑ පාලන රේඛාවේ සැතපුමක් ඇතුළත ගිනි අවි තහනම් කරන ගිවිසුමකට දෙපාර්ශ්වයම ගරු කරමින්, කිසිදු වෙඩි තැබීමක් සිදු නොවිණ. දශක ගණනාවක් තිස්සේ පැවති දේශසීමා අර්බුදයක නවතම ප්‍රචණ්ඩකාරී පරිච්ඡේදය වන මේ තත්වය සමනය කිරීම සඳහා සාකච්ඡා දිගටම පැවැත්වේ.

ලෝකය හුස්ම නොහෙලා බලා සිටී..
------------------------
මෙම ප්‍රචණ්ඩකාරී ඝාතන 1975න් පසු ඇති වූ ආරවුලේ පළමු එවැනි මරණ ලෙස සැලකිය හැකි අතර, දෙපාර්ශවයම සාමය සොයා යන ආකාරය දෙස ලෝකය හුස්ම නොහෙළා බලා සිටී.

ජාතික කෝපය වර්ධනය වන අතර, සටනේ දී මියගිය සමහර ඉන්දීය සොල්දාදුවන්ගේ අවසන් කටයුතු ඊයේ (18) ආරම්භ වී තිබේ. චීන නායක ෂී ජින්පිංගේ පින්තූර පුළුස්සා දමමින් චීනයට එරෙහිව ඉන්දියාව පුරා විරෝධතා ද පැවැත්වේ. ලේ වැකි මරණවලට “සුදුසු පිළිතුරක්” ලබා දෙන බවට ඉන්දියාව අනතුරු අඟවා තිබීමත් සමගම, චීන නිෂ්පාදන වර්ජනය කිරීම සඳහා ඉල්ලීම් වැඩි වෙමින් තිබේ.

ඉතා මෑතක සිදු වූ මේ ගැටුම සම්බන්ධයෙන් දෙපාර්ශ්වයම එකිනෙකාට දොස් පවරා ගනිමින් සිටී. බලවතුන් අතර තවදුරටත් ගැටුමක් නැවැත්වීම සඳහා සාකච්ඡා පැවැත්වෙමින් තිබේ. එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයාගේ ප්‍රකාශිකා එරී කනෙකෝ දෙපාර්ශ්වයෙන්ම ඉල්ලා සිටියේ “උපරිම සංයමයකින් යුතුව කටයුතු කරන ලෙසයි.”

චීනයෙන් ඉන්දියාවට සරදම්..
------------------------
මේ අතර, ගැල්වන් ගංගා නිම්නයේ ගැටුම ඇති වූ ස්ථානයේ සිට සැතපුම් 600 ක් පමණ ඉහළින් පිහිටි උස් කඳුකරයේ යුද සරඹයකට සහභාගී වන කාලතුවක්කු සහ යුද ටැංකි පෙන්වන වීඩියෝ දර්ශන චීන රාජ්‍ය රූපවාහිනියෙන් විකාශය විය. වීඩියෝවේ දැක්වෙන්නේ භූමි දර්ශනයේ යම් ප්‍රදේශ පුපුරුවා හරින විශාල හමුදාවයි - සීතලේ පසු වන හිමාලය කඳුකරය පසුබිමෙන් දිස් වේ. මහජන විමුක්ති හමුදාවේ මිලිටරි බලය ශක්තිමත් කිරීම විදහා දක්වමින්, චීන සොල්දාදුවන් 7000 ක් පමණ ආරක්ෂිත ස්ථානවල පෙරහුරුවක් සඳහා සහභාගි විය. සරඹය රූ ගත කළේ කවදා ද යන්න පැහැදිලි නැති නමුත් ඉන්දියාවේ ඉදිරි පස බෑවුම්වල දර්ශන එහි ඇතුළත් විය.

පෙරේදා (17) චීන රාජ්‍ය මාධ්‍ය “අපගේ ශක්තිය අතර පරතරය පැහැදිලිය” යනුවෙන් සරදම් කළ අතර චීනය සටනකින් පසුබසින්නේ නැති බවට අනතුරු ඇඟවීය.

1962 දී බලවතුන් දෙදෙනා අවසන් වරට යුද්ධයක් කළ දා සිට ඉන්දියාව සහ චීනය දේශ සීමාව සම්බන්ධයෙන් ගැටුම් ඇති කර ගත්හ.

කුපිත කළොත් ආපසු පහරදීමට සූදානම් - මෝදි
------------------------
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි කියා සිටියේ චීනය විසින් කුපිත කරනු ලැබුවහොත් ආපසු පහර දීමට රට සූදානම් බවයි. රූපවාහිනියෙන් ජනතාව අමතමින් අගමැතිවරයා මෙසේ පැවසීය: “අපේ ජවන්වරුන්ගේ (යුධ භටයන්ගේ) ජීවිත පූජාව නිෂ්ඵල නොවන බවට ජාතියට සහතික වීමට මා කැමතියි. අපට රටේ එකමුතුකම හා ස්වෛරීභාවය වඩාත් වැදගත්. ඉන්දියාවට සාමය අවශ්‍ය නමුත් උසිගැන්වුවහොත් සුදුසු පිළිතුරක් දීමට එයට හැකියාව ඇත.”

ඉන්දියානුවන් ගැටුම් සඳහා සූදානම් වන අතර තම යුද නැව් සහ ප්‍රහාරක ගුවන් යානා සීරුවෙන් තබා ඇති බව වාර්තා වේ. පෙරේදා (17) පින්තූරවලින් ඉන්දීය හමුදා භටයන් දේශ සීමාව දෙසට ගමන් කරන අයුරු දැක්වේ.

සන්නද්ධ ට්‍රක් රථ හා කාලතුවක්කු සහිතව ඉන්දියානු හා චීන සොල්දාදුවන් දහස් ගණනක් ටිබෙටය ආසන්න කලාපයේ මාසයකට වැඩි කාලයක් තිස්සේ යාර සිය ගණනක දුරක් තබා ගෙන මුහුණට මුහුණ ලා සිටිති.

චීනුන් ස්ථාන 3 කින් ඉන්දියාවට ඇතුළු වී වර්ග සැතපුම් 20 ක් අල්ලන්..
------------------------
ඉන්දීය බලධාරීන් පවසන පරිදි චීන සොල්දාදුවන් මැයි මස මුල දී ලඩාක් දේශ සීමාව හරහා විවිධ ස්ථාන තුනකින් රටට ඇතුළුව කූඩාරම් සහ ආරක්ෂක මුර පොළවල් ඉදිකරමින් සිටී. පිටව යන ලෙසට කළ වාචික අනතුරු ඇඟවීම් නොසලකා හැර ඇත. ඝෝෂාකාරී විරෝධතා, ගල් විසි කිරීම් සහ අතින් පයින් ගැටුම්වලට එය හේතු වූ අතර, බොහෝ ඒවා රූපවාහිනී ප්‍රවෘත්ති නාලිකා සහ සමාජ මාධ්‍යවල නැවත නැවත ප්‍රචාරය විය.

එතැන් සිට, චීනය විසින් ඉන්දියානු භූමියෙන් වර්ග සැතපුම් 20ක් ආක්‍රමණය කරනු ලැබූ බවට ඉන්දියාව චෝදනා කරයි. එකට එක කිරීමේ දේශ සීමා අරගලයේ දී, ඉන්දියානු හමුදා තම දේශ සීමාව පසුකර පැමිණ තම සෙබළුන්ට පහර දෙන බවට චීනය චෝදනා කළේය.

දේශ සීමා ආරවුල සැතපුම් 2,175කට ආසන්න මායිමක් ආවරණය කරන අතර, වර්ග සැතපුම් 15,000කට ආසන්න ඉන්දියානු භූමියක් අත්පත් කර ගෙන ඇති බවට ඉන්දියාව චීනයට චෝදනා කරයි.

චීනය දහස් ගණනක් හමුදා මෙන්ම කාලතුවක්කු සහ වාහන ද ස්ථාන ගත කළ අප්‍රේල් මාසයේ සිට කලාපයේ ආතතිය වර්ධනය වෙමින් පවතී. විශ්ලේෂකයින් පවසන්නේ චීනය භට පිරිස් ස්ථාන ගත කළේ එම ප්‍රදේශය තුළ ඉන්දියාවේ හමුදා බලය වැඩි කිරීම වැළැක්වීමේ උත්සාහයක් වශයෙන් බවයි.

දෙරටටම විශාල න්‍යෂ්ටික අවි ගබඩා ඇත..
------------------------
දෙරටටම විශාල මිලිටරි ශක්තියක් මෙන්ම විශාල න්‍යෂ්ටික අවි ගබඩාවක් ද ඇත. දෙරටටම ජාතිවාදී නැඹුරුවක් ඇති ආණ්ඩු ඇති අතර අවම වශයෙන් ජාතික අභිමානය පරදුවට තබා පසු බැසීමට ද ඔවුන් කැමති නොවනු ඇත.

මෙය ඉන්දු-චීන සබඳතා සහ ඉන්දු-පැසිෆික් කලාපයේ භූ දේශපාලනයේ වැදගත් අවස්ථාවක් වනු ඇතැයි විල්සන් මධ්‍යස්ථානයේ ආසියා වැඩසටහන් අධ්‍යක්ෂ ඒබ්‍රහම් ඩෙන්මාර්ක් පැවසීය.

ඉන්දියාව සහ චීනය මෙහෙයවනු ලබන්නේ ජාතිවාදය පිළිගත් මිනිසුන් විසින්ය. Covid-19 සහ අනෙකුත් දිගු කාලීන ගැටළු හේතුවෙන් දෙරටම දේශීය හා ජාත්‍යන්තර වශයෙන් විශාල කැළඹීමකට මුහුණ දී සිටී. ඇමරිකානු බලපෑම බොහෝ සෙයින් නැති වී ගිය අවස්ථාවක, එය දෙදෙනෙකු අතර අතිශය අස්ථාවර හා භයානක තත්වයක් බව ඩෙන්මාර්ක් පැවසීය.

දැන් ඇති ප්‍රධානම ප්‍රශ්න වන්නේ දෙපැත්තටම පසුබැසීමේ මාවතක් සොයා ගත හැකි ද යන්න සහ එක්සත් ජනපදය වැනි ඉන්දියාවේ මිතුරන් උදව් කරන්නේ ද යන්නයි෴
------------------------
-2020 ජුනි 18 වන දින The Sun ‌වෙබ් අඩවියේ පළ වූ, Henry Holloway ලියූ ‘ZERO RESPECT Chinese troops ‘mutilated’ corpses of 20 Indian soldiers with gruesome nail-studded clubs after hand to hand slaughter’ නම් ප්‍රවෘත්ති වාර්තාව සිංහලට පරිවර්තනය කළේ,

-ආනන්ද
Share on Google Plus

About admin

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 Comments :