ads
News
Loading...

සැහැල්ලුවෙන් ජීවත්වෙන්න අපි කැමතියි


 
සමනලී ෆොන්සේකා රංගනයෙන් දායකවන චින්තන ධර්මදාස අධ්‍යක්ෂණය කල " ඇවිලෙනසුළුයි"චිත්‍රපටිය මෙි දවස්වල තිරගතවෙනව.ඇය සමග කල කතාබහක් මෙන්න.

මෙහි ඔබේ චරිතය මෙතෙක් කළ චරිතවලට වඩා වැඩි වගකීමත් පැවරුණ චරිතයක්ද?

මම ඒ චරිතය වෙනුවෙන් කරන්න ඕන දේවල් හා ඒ චරිතය ඇතුළෙ මට කොච්චර දුරට යන්න පුළුවන්ද කියන එක සොයා බැලුවා. හැබැයි මේ චරිතය අපි අතර පවතිනවද නැද්ද කියන ගැටලුව මට තියෙනව. ප්‍රේක්ෂකයාට මේ චරිතය මේ යැයි මට කියන්න බැහැ. නමුත් මට මෙහෙම කියන්න පුළුවන්. මේක අහසින් කඩා වැටුණ වගේ චරිතයක්. එක මොහොතක් තුළ ජීවත්වෙන චරිතයක්. ඒ මොහොත තුළ තමයි මට රඟපාන්න සිද්ධ වුණේ. උදාහරණයක් ගත්තොත් ප්‍රේමය නම් වැනි මා පෙර කළ චරිතවලට ඉතිහාසයත් තිබ්බා. චරිතය මුල මැද අග අතර සම්බන්ධයක් තිබුණා. මේ චරිතය එහෙම නෙමෙයි පැය කිහිපයක් තුළ ජීවත්වෙන චරිතයක්.

ඔබ විශේෂිත චරිත සමග පැමිණෙන්නේ ඔබේ තෝරාගැනීමේ සුවිශේෂත්වය නිසාද?

මට මහා ගොඩක් චරිත ලැබිලා ඒකෙන් මම තෝර ගන්නව කියල කියන්න බැහැ. ලැබෙන සුළු චරිතයේ වුණත් මම තෝරා ගන්නා දේවල් ටික්ක තියෙනව. ඒ දේවල් ටික තමා හැමදාම මම ඉදිරිපක් කළේ.

ඔබ රඟපෑ චරිත තුළ සමනලී නම් වූ ඔබ ප්‍රේක්ෂකයාට හමුවනවද?

ඒක සංකලනයක්. මට සම්පූර්ණයෙන්ම මගෙන් මිදිල චරිතය ගැන වෙනම බලන්න බැහැ. ඒ චරිතය ඇතුළෙ මම මුහුවෙලා ඉන්නව. සමහර තැන්වලදී මාව හමුවෙන්නත් පුළුවන්, නොවෙන්නත් පුළුවන්.

සිනමා හෝ ටෙලි නාට්‍යයකට කැමැත්ත පළ කරන්න පෙර නිර්මාණකරුවා කවුද කියන එක සොයා බලනවාද?

මට එහෙම ප්‍රශ්නයක් නැහැ. නමුත් වැඩේ හරියට තියෙන්න ඕන. නිර්මාණය ඇතුළේ කවුරු වුණත් මගේ කොටස කරලා නිදහස් වුණාම හොඳටම ඇති.

නිර්මාණයේ ගුණාත්මක බව වැදගත් නැද්ද?

නිර්මාණාක්මක භාවය ගැන අනිවාර්යෙන්ම බලනවනෙ. නැත්නම් ඒ වැඩේ ඵලක් නැහැනෙ. පඩංගු ටෙලි නාට්‍යවලට ගිහින් මම වැඩ කරන්නේ නැහැ. දැන් හැදෙන නාට්‍යවල මම නැත්තේ මේ නිසා තමයි.

සරල රසයක් ගෙනදෙන ටෙලි නාට්‍යවලට ඔබ රඟපාන්නේ නැද්ද?

නැහැනෙ. මම මේ ළඟදිත් කල්පනා කළේ ඒවට අපිට අඬගහන්නෙත් නැහැ. ඒ අඬගහන්නෙ නැත්තෙ එන්නෙ නෑ කියල දන්න නිසා වෙන්නැති. ඒකෙ ප්‍රශ්නයක් නැහැ. ඒ ටෙලි නාට්‍යවලින් කාටවත් වැඩක් නැහැ. නිර්මාණකරුවාට වැඩකුත් නැහැ. රඟපාන කෙනාට වැඩකුත් නැහැ. ප්‍රේක්ෂකයාට වැඩකුත් නැහැ. හැම තිස්සෙම පෝෂණය වෙන්න බලන කෙනෙක් විදිහට මම හිතන්නෙ නැහැ ඒවට ගිහින් මට ප්‍රයෝජනයක් වෙයි කියල.

කලාව වෘත්තීය නම් මෙසේ චරිත මගහැර යන්න හැකිද?

වෘත්තීය කියන එකේ ගැටලුවක් නැහැ. හැබැයි කලාව වෘත්තීයක් කරගන්නව කියන කොට ඊට වඩා වගකීමක් අප සතුයි කියල මම හිතනව. තමන් තමාට වගකියා ගන්න ඕන. තමා කලාකරුවෙක් කියල හඳුන්වනව නම් කලාව වෘත්තීය විදිහට තෝරගන්නව නම් තමා හඹායන්නෙ කුමක් පසුපසද? තමන් සොයන්නේ කුමක්ද? කියන එක හරියට වටහාගෙන ඉන්න ඕන කියල මම හිතනව. හැමෝම හැම තිස්සෙම තමන්ව හොයනව. එහෙම නැතුව වෘත්තීය කලාවක් කියලා හැම දේකටම රඟපානවා නම් එතැන කිසිම ශිෂ්ට බවක් නැහැ. එවැනි වෘත්තීය මට්ටමේ බංකොලොත් කලාකරුවෙක් වෙන්න මට බැහැ.

ඔබේ මිම්මට අනුව සරල විනෝදාස්වාදය සපයන ටෙලි නාට්‍යවල රඟපාන අය කලාකරුවෝ නෙවෙයිද?

ටී.වී. චැනල් හදන දේවල් ටිකක් තියෙනව. ඒ දේවල්වලට අනුගත වෙච්ච ශ්‍රමිකයො ටිකක් ඉන්නව. ඒ අයට කලාකරුවො කියල කියනවද කියන එක ප්‍රශ්නයක්. ඒ අය නව යමක් සොයාගෙන යන්නෙ නැහැ. මේක ඇතුළෙ අලුත් දෙයක් සොයා යන්න ඕන. අලුත් දෙයක් කරන්න ඕන මේ දේවල් ප්‍රශ්න කරමින් ඉස්සරහට යන්න ඕන ගැටලු නිසා සමාජයේ තැළෙන පිරිසක් ඉන්නව. ඒ මිනිස්සු ගැන අපි හිතන්න ඕන.

ඔබ වැඩිපුර කතා නොකරන ඔබේ ආදරය පවුල ජීවිතය?

මම ආදරය කරන ඉන්ද්‍රචාප එක්ක සාමාන්‍ය පවුල් ජීවිතයක් ගත කරනවා. ඊට එහා පවුල් ජීවිතේ ගැන කියන්න දෙයක් නැහැ.

ඔබේ ගෙදර ඔබට හිමි බිරිය ගෘහණිය කියන චරිත ඔබ තුළ සිටින නිළිය නිසා දුරස් වෙලාද?

අපි දේවල් බෙදාගෙන ජීවත් වෙනව. ඒක අතුළෙ මම ගෘහණියද එයා ස්වාමි පුරුෂයාද කියන චරිත තෝරගෙන ගත කරන්නෙ නැහැ. අපේ ගෙදර හැමදාම කෑම හදනව. පැළ හිටවනව අතුගානව සාමාන්‍ය ගෙදරක කරන දෙවල් අපේ ගෙදරත් අපි කරනව. අපි දෙන්න කසාද බැන්ද කියන කෑල්ල ලොකුවට අදාළ නැහැ. අපි වෙනස් විදිහකට ජීවත් වෙන්නෙ. ගෙදර කියන්නෙ නිදහසේ ජීවත් වෙන තැනක්.

ඔබ දෙදෙනා කරන නිර්මාණ ගැන දෙදෙනාගේ මත විමසුම් තියෙනවද?

එයාට නිර්මාණයක් හම්බවුණොත් මාත් එක්ක කතා කරල සම්මත කරගන්නව හෝ මට නිර්මාණයක් හම්බ වුණොත් එයත් එක්ක කතා කරල සම්මත කරගන්නව කියල එකක් කොහොමටවත් නැහැ. තමන්ගෙ වැඩේ ඇතුළෙ තමන්ගෙ නිර්මාණය ගැන තීරණය ගන්නෙ තමන්ම තමයි. ළඟින්ම ඉන්න දෙන්නෙක් විදිහට එකිනෙකාගේ අදහස් කතා කරනව. නමුත් නිව්ස් බලන එකේ ඉඳන් ගෙදර කරවල හොද්දක් හදන එක වගේ දේවල් දක්වාම අපි දෙන්න අතර සාකච්ඡා නැහැ.

සංගීතඥයෙකුගේ ගායනයෙ දක්ෂ බිරිය වුවත් ඔබ ගයන්නේ ඉතාමත් අඩුවෙන්?

මට ඒක ගැන ලොකුවට වගකීමක් ගන්න අමාරුවක් තියෙනව. මොකද මම හිතනව මම ඒක ගැන දන්නෙ නැහැ කියල. චාපිට සංගීතය දැනෙන තරමට මට ඒක දැනෙන්නෙ නැහැ.

ධම්මිකා සුරංජි පතිරණ

Share on Google Plus

About admin

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 Comments :