ads
News
Loading...

ගෞතම මුණි සමිදේ ගීතය ගැන නොදත් ඇත්ත මෙන්න






අප මහා තථාගත බුදුරජාණන් වහන්සේට සම කළ හැකි ශාස්තෘවරයෙක් මිහි පිට තවමත් බිහි වී නොමැත. උන්වහන්සේ
දිනපතා අලුයම අවදිවී මහා කරුණාසමාපත්තියට සමවැද ලෝක සත්ත්වයා දෙස බලන්නේ කිසිවකුට හෝ තමන්ගේ පිහිට අවශ්‍ය ද යන්න පිළිබඳව ය. බුදුරදුන්ගේ මහා කරුණාව වචනවලින් විස්තර කළ නොහැකි තරමට ම උත්තරීතර ය. මුළු මානව සත්වයාටම එකම අයුරින් බුදුකරුණාව දක්වන්නට උන්වහන්සේ වෙහෙස වුයේ දිවා රෑ පිළිබඳ නොසිතමිනි.

බුදුරජාණන් වහන්සේට ගල් පෙරලූ දේවදත්ත හාමුදුරුවන් වහන්සේටත්, බුදුරජාණන් වහන්සේ අබියසට කඩුව අයාගෙන පැමිණි අංගුලිමාලටත්, තම පුතුවූ රාහුල හාමුදුරුවන් වහන්සේටත්, නාලාගිරි වැනි තිරිසන් සතුන්ටත් බුදුරජාණන් වහන්සේ දැක්වු මහා කරුණාවේ වෙනසක් නොවූහ. ජීවිතය පවා විනාශ කර ගන්නට සිතමින් දැඩි අසරණකමින් පෙලුණු සූනීත, සෝපාක,රජ්ජුමාලා, අදීන්ට ද බුදුරජාණන් වහන්සේ දැක්වු කරුණාව අසීමිත ය. උන්වහන්සේ කරුණා ගුණයෙන් , පිළිසරණ වීමේ පරම පවිත්‍ර චේතනාවෙන් ගවු තුනක් මඟ ගෙවා මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ සොයා ද, යොදුන් 480ක් මඟ ගෙවා කපිල රජු සොයා ද ,යොදුන් 280ක් මඟ ගෙවා ධානිය තෙරුන් සොයා සොයා ද , යොදුන් 1200 ක් මඟ ගෙවා ආලවක යක්‍ෂයා සොයා ද වැඩියේ ය. උන්වහන්සේ එලෙස ගවු ගණන් වැඩියේ කිසිදු ලාභ ප්‍රයෝජනයකින් තොරව ය. පයට පාවඩ, උඩට උඩුවියන් විල්ලද පලස් නොමැති කටු අකුල් ඇති ගල් බොරළු ඇති මාවත් දිගේ උන්වහන්සේ වැඩම කළේ අන්ත අසරණ දුගී මගී යාචකාදීන්ට පිහිට වීමේ අරමුණ පමණක් පෙරදැරි කරගෙන ය. ඒ බව පහත ගීත ඛණ්ඩයෙන් පැහැදිලි වේ.


“ගවු සියත් ගවු ඇවිදිමින්
හැමෝටම සරණක් වෙමින්
දෙසුවේ දම් කද කුළුණු ගුණෙන්
ලොවේ හැම සත එගොඩ කරනට පාර පෙන්නූ“


බුදුරදුන්ගේ මහා කරුණාව හේතුවෙන් සසර දුකින් පීඩිත වුවන් ඔවුනොවුන්ට අනන්‍ය වු ආකාරයට අවසානයේදී අනාගාමීව සුද්ධාවාස බඹලොව ඉපදීම ද , සකදාගාමීව දෙව්ලොව ඉපදීම ද, සෝවාන්ව ආත්ම හතක් ඇතුළත පිරිනිවන්පාන තත්ත්වයට ද පත් විය. ඇතැම්හු දෙව්ලොව ද උපන්හ. මාර්ගඵලලාභී සියලු ශ‍්‍රාවක පිරිස සතර අපා දුකින් සදහට ම නිදහස් වී ගියහ. ඒ සියල්ල සිදු වුයේ බුදුරජාණන්වහන්සේගේ අසීමිත පින් බලය නිසාවෙනි. නූතන සමාජයේ මහා කරුණාව පමණක් අරමුණු කර ගනිමින් කිසිදු ලාභ ප්‍රයෝජනයක් නොගෙන දිවා රෑ නොබලා , සැප පහසුව නොබලා මිනිසුන්ට පිහිට වන සාමාන්‍ය පුද්ගලයින් හෝ ශාස්තෘවරුන් ජීවත්වනවා ද ද යන්න පිළිබඳව ගැටලුවක් මතුවේ. එසේ සිදු වී තිබෙන්නේ වත්මන් සමාජ ක්‍රමයේ පවතින තරඟකාරීත්වය හමුවේ ය. තම තමන් පමණක් සතුටු වී අන් අයට කුමක් වුවත් කමක් නැහැ කියන ආත්මාර්තකාමී සිතුවිල්ලෙන් ජීවත්වන්නන් නූතන සමාජයේ බහුල වශයෙන් දැක ගත හැකි ය . එසේ සිදු වී ඇත්තේ නුතන සමාජයට බුදුරජාණන් වහන්සේගේ මහා කරුණාව පිළිබඳව අවබෝධයක් නැතැයි යන්නට මතක් කර දෙමිනි.


“අද මිනිසුන් නැත සමිදේ
දෙසු ධර්මේ ඇත ගිලීහී
සැවොම යතේ හිසලු අතේ
ලොවේ හැම සත එගොඩ කරනට  නැවත 
වඩිනු
ගෞතම මුණි සමිදේ“


ජීවත් වීම සඳහා අනවරත අරගලයක නිතර වන නූතන ජනයාට බුදුරදුන්ගේ ධර්මය අසන්නට, දකින්නට වේලාවක් නොමැත. කෙසේ හෝ ජීවත් වන්නේ කෙසේ ද? යන්න පිළිබඳව  පමණක් සිතීමට ඔවුන් පුරුදු වී සිටියි.  සැබවින්ම එය නූතන මිනිසුන්ගේ වැරැද්දක් නොව සමාජ ක්‍රමයේ වරදකි.  ශ්‍රී ලංකාවේ උදෑසන සිට රාත්‍රීය දක්වා නොනවත්වාම බණ දේශනා  කොතරම් පැවැත්වුවත්  මත්ද්‍රව්‍ය ජාවාරම්, මංකොල්ල කෑම්, සොරකම් කිරීම්, ස්ත්‍රී දුෂණ යනාදි දුරාචාර කිරීමට මිනිසුන් බිය නොවන්නේද  එවැනි මිනිසුන්ට ධර්මයට අනුගත වන්නට   අමතක වී ඇති බැවිනි. දැනුමින්, පිරිසිදු චේතනාවන්ගෙන් පුහුදුන් මිනිසුන්ගේ උපදෙස් නොඅසා මිනිසුන් තම තමන්ට කැමති පරිදි වැරදි  ක්‍රියාවල නිරත වන්නට පුරුදු වී සිටීම සැබවින්ම අභාග්‍ය සම්පන්න ය. 

“ලොවේ හැම සත එගොඩ කරනට  නැවත වඩිනු“ 

ධර්මයට අනුගත නොවී  අකුසල් සිදු කරන මිනිසුන්ට නැවතත් බුදුරදුන්ගේ ධර්මයේ වටිනාකම පහදා දී  ලෝකයේ බෞද්ධාගමික රටවල් අතරින් ශ්‍රී ලංකාව  වැරදි ක්‍රියා සිදු නොවන පිරිසුදු නිර්මල බුදුදහම අගය කරනා මිනිසුන් සිටින රටක් බවට පත් කිරීමට දැන් කාලය පැමිණ ඇත.  “නැවත වඩිනු “ යන්නට අදහස් වන්නේ නුතන සමාජයට  බුදුරජාණන් වහන්සේ එදා දෙසු ධර්මය නැවතත් අසන්නට දකින්නට ඉඩ සලස්වා   සමාජය පරිහානියට පත් වීමෙන් ගලවා ගැනීමට වර්තමානයේදී  බුදරදුන් ජීවමානව සිටියානම් කොතරම් උතුම් ද යන්න පිළිබඳව ය. 


“දැන් ගුණ නෑ මිනිසුන්ගේ 
අධම සිරිත් ඇත රජ වී
ලොවම ඇතේ අදුරු වෙලා“

තාක්ෂණය සහ තරඟකාරීත්වය ආරම්භ වීමට ප්‍රථමයෙන් අතීත ශ්‍රී ලාංකේය ජනයා පරාර්ථකාමීත්වයෙන් නිර්මල සිතුවිලිවලින්, සදාචාරසම්පන්නව ජීවත් විය. එහෙත් වර්තමානයේදී ඒ සියල්ල ලංකේය ජනයා අමතක කර දමා ඇති බවක් හැගී යයි. මුදල් බලය, තනතුරු බලය,  භෞතික සම්පත්වල බලය විනා , මිනිසුන්ගේ යහපත් ගුණ ධර්ම පිළිබඳව සිතා කටයුතු කරන පිරිස් ඉතාමත් සුලභ ය. කුමන ආකාරයේ  වැරදි සිදු කරමින් වුවත්, මුදල් ලැබේ නම් ඊට එහා දෙයක් සිතීමට මිනිසුන් පෙළබෙන්නේ නැත. ඇත්ත වශයෙන්ම වර්තමාන සමාජයේ මිනිසුන් ලබන ආත්මයක් නැත නොසිතා මේ ආත්මයේ සුවය පිලිබඳව පමණක් සිතා කටයුතු කරනු ලබයි. ඔවුන්ට ඒ පිළිබඳව අවබෝධයක් නොමැති වුවත් ඒ හේතුවෙන් මුළු ලෝකයම පරිහානියට පත් වේ.  “ලොවම ඇතේ අදුරු වෙලා“ යන්නෙන් පැහැදිලි වන්නේ එයයි. 

“ගෞතම මුණි සමිදේ
සාධු සාධු වදිමු වදිමු 
 සුගත මුණි බැතිනා.!“

යන්නට නැවත නැවත දක්වාලීම තුළින් මිනිසුන් තුළ බුදුරදුන් පිළිබඳව ගෞරවයක්, භක්තියක් ජනිත වේ. පුද්ගලයකු තමන්ගේ ජීවිත කාලය මුළුල්ලේම  බුදුරදුන්ට වන්දනාමාන කළ යුතු බව ද එයින් ගම්‍යමාන වේ. සමස්තයක් වශයෙන් ගත් කල්හි මෙම බෞද්ධ ගීතය රචනා කර ඇත්තේ නූතන සමාජයේ බුදුදහමට අනුගත නොවන ක්‍රියා පාලනය කිරීම සඳහා නැවතත් බුදුරදුන්ගේ ධර්මය අවශ්‍ය බව අරමුණු කර ගනිමිනි. සැබවින්ම මෙම ගීතයේ ප්‍රස්තූතය  කාලෝචිත වේ.සරළ වාග්මාලාවක් උපයෝගී කරගනිමින්  බුදුදහමේ නියම වටිනාකම මිනිසුන්ට සෘජුව දැනෙන ආකාරයෙන් මෙම ගීතය රචනා කර තිබීම සැබවින්ම අගය කළ යුතු ය.

සටහන - මදාරා මුදලිගේ
Share on Google Plus

About admin

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 Comments :