ads
News
Loading...

අලුත උපන් දරුවෙක් ඉන්න ගෙදරට යන්න කළින්...


දීපිකා දිල්රුක්ෂි ගුණසේන
කෙනෙකුට දුකක් කරදරයක් උනොත් ඒ දුක බෙදා ගන්න වගේම සතුටෙදිත් ඒ සතුට බෙදා ගන්න කිසිම ඇලි මැලි කමක් නැතිකම ජනවර්ගයක් හැටියට අපි ප්‍රගුණ කරගෙන ආව සත්ගුණවත් මනුෂ්‍ය ලක්ෂණයක් කියලයි මට හිතෙන්නේ. ඉතින් අපිට කරන්න තියෙන යුතුකම්, යන්න තියෙන ඒ වගේ ගමන් බිමන් අතරින් වැදගත් ගමනක් තමයි අලුතින් දරු පැටියෙක් ලැබුනම ඒ දරුවා බලන්න යන එක...ඇත්තටම අපි බහුතරයක් ඒ ගමන හරි ආසාවෙන් යන්නේ... අලුත් කිරි සප්පයෙක් දකින්න කව්ද ආස නැත්තේ... අපි කව්රුත් යන්තම් දන්නා තේරෙන වයසේ ඉඳන්, අම්මල පස්සෙන් හැමතැනම යන්න පටන් ගත්තු දවසේ ඉඳන්ම ගිය... ඉන්පස්සේ කන්තෝරුවේ හිතවතියන් එක්ක එකතුවෙලා ගිය මේ අලුත් බබෙක් බලන්න යන එක ගැන ආයේ ඉතින් මොනවා අමුතුවෙන් හිතන්නද? හිතවතෙකුට... නෑදෑයෙකුට ...අසල්සිවැසියෙකුට දරුවෙක් ලැබුනම අපි ඒ දරුවා බලන්න යන එක නොදැනුවත්වම වගේ උන දෙයක් වගෙයි ආපස්සට මතක කලාම අපිට දැනෙන්නේ... නේද? අපි හැමෝම හරි ආදරෙන් කරන ඒ යුතුකම...තව පොඩ්ඩක් විතර ආදරෙන් කරන්න පුලුවන්ද කියල බලන්න හිතුණා...

ඔබේ කාර්යාල මිතුරියට, ලොකු අම්මගේ බාල දුවට , පුතාගේ ඉස්කෝලේ හොඳම යාළුවගේ අම්මාට , අපේ ලේන් එකේම ගෙවල් දෙකකට එහා ගෙදර අක්කට බබා ලැබුන කියල ඔබට දෙන ගන්න ලැබුණා...

දැන් මොකද කරන්නේ ? අපි කවද්ද යන්නේ අලුත් බබා බලන්න. ඔබට ඉතා ඉක්මනින් යන්න හිතෙනවා නම් අඩුම තරමින් සති හයක් වත් ඉවසල ඉන්න. මාස 2-3 පහුවෙලා යන්න පුලුවන්නම් තමයි හොඳම කියලයි මට හිතෙන්නේ. ඔබ ඒ දරු උපත අහල "ඉතා ප්‍රමෝදයට පත් වූ බව දන්වන්නම ඕනේ" නම් පස්සේ බබා බලන්න එනකල් සුබ පතල මල් පොකුරක් යවන්න... නැත්නම් දුරකථන ඇමතුමක් දෙන්න.. අලුත් පැටිය හොඳටම පුංචි කාලේ, එයාගේ ප්‍රතිශක්තිකරණ ශක්තිය දුර්වල කාලේ යනවට වඩා ඉවසල ඉන්න පුලුවන්නම් වටිනවා... අම්ම ශල්‍යකර්මයකින් දරු උපත සිදු කලානම් අම්මට තමන්ගේ තුවාල වල අපහසුතා යම්තරමකට මග හැරෙන කල් ඉන්න එක අම්මට හරි සහනයක් ගෙන දෙවි..නමුත් මෙයින් කියවෙන්නේ නෑ ... ඔබේ සොහොයුරාගේ අලුත උපන්න දරුවා බලන්න මාස තුනක් ඉන්න කියල... ඔබේ නෑනා අලුත උපන්න පැටිය ඔබට පෙන්වන්න මග බලාන ඉන්න බව අමතක කරන්න එපා...

අලුත් බබා බලන්න යද්දී... ගියා කියල "නම ලකුණු කරලා" එන්න හිතාගෙන යන්නේ නැත්නම් තමයි වැඩිය හොඳ... "අපිට බබා බලන්න එන්න ඕනේ ඔයාලට පහසු කවද්ද" කියල කෝල් එකක් දීල අහල බලන්න...සතියක් දෙකක් කල් ඇතිව දිනයක් වෙන් කරගන්න. ඉන්පස්සේ ඒ සුදානම් කරගත්තු දිනයට දින දෙක තුනකට කලින් කතා කරලා "අපි එනවා" කියල මතක් කරන්න . පුංචි දරුවෙක් ඉන්න ගෙදරක් උනාම කොයි වෙලේ දරුවෝ අසනීප වෙනවද කියන්න බැරි නිසා ඒ අයට ඒ බව මතක් කරන එක වටිනවා. "බබාට පොඩ්ඩක් කිඹුහුම් දෙක තුනක් ගියා අක්ක හෙම්බිරිස්සාව හැදෙන්නද දන්නේ නෑ " කිවොත්... "එකට කමක් නෑ අපි ඇවිත් යන්න එන්නම්" කියන්න එපා. "පුතාට ක්ලාස් නැති දවසේ කොහොම හරි මේ ගමන ගිහින් ඉවර කරමු" කියල "එක දාන්න" ගමන ගිහින් එන්න එපා. ඒ අ යට ඒ දිනයේ සහ වෙලාවේ අපහසුවක් ඇති බව හැඟෙනවා නම් දිනය වෙනස් කර ඔවුන්ට පහසුවක් සලසන්න නිහතමානී වෙන්න . ඔබ යන ගෙදර ඉන්නේ "අලුත් බබෙක් විතරක් නෙවි අලුත් අම්මෙකුත්" ඉන්නවා කියල මතක තියාගන්න. ගමනේදී දවල්ට / උදේට/රෑට කෑම ලෑස්ති කරන්න වෙන විදියේ වෙලාවල් යොදා ගැනීමෙන් වලකින්න . කෙනෙකුට කෑම වේලක් දෙන්න ඔබ යන හිතවතියගේ නිවෙසියන්ට අපහසුතා නැති බව සැබැ වෙන්න පුළුවනි. නමුත් අලුත උපන්න දරුවෙක් ඉන්න ගෙදරකට ඒක තව ලොකු වැඩ ගොන්නක් බවත් ,ගෙදර වැඩට උදව්වට කෙනෙක් උන්නත් ,නිතර කිරි හොයන පැන්චෙක් ඉන්න අම්මෙක්ට පැය ගණනක් /වරුවක් රැඳෙන අමුත්තන් සුව පහසුවක් නොවන බව සිහිපත් කරගන්න . හවස හෝ උදේ කෑ ම අතරතුර වෙලාවක් යොදා ගන්න... දරුවා නිදියන නාවන වගේ වැඩ කෙරෙන වෙලාවක් නැතිව පහසු වෙලාවක් යොදා ගන්න.

අලුත් බබෙක් බලන්න යන්න සුදානම් වෙනවනම් ඒ යන අය හැමෝම හොඳින් නාල/ඇඟපත සෝදලා සෝදා පිරිසිදු කරපු ඇඳුම් අඳින්න. තව තැනකට කලින් අන්දපු, "අනේ කිලිටු නැනේ" කියල හිතල නහයට ලං කරලා බලල තීරණය කරපු ඇඳුම් ඇඳීමෙන් වලකින්න .තව ගෙදරකට...කෑමකට... උත්සවයකට ගිහින් එන ගමන් අලුත් දරුවෙක් බලන්න යන්න එපා.

අලුත් බබාට මොනවද ගනියන්නේ.?? පරණ පුරුද්දට සබන් පව්ඩර් ගනියනවද? නැත්නම් ඇඳුම් ගනියනවද? සමහර විට ඔබ ගෙනියන සබන්/කොලොන් ඒ අලුත් අම්ම දරුවට පාවිච්චි නොකරන වර්ගයේ වෙන්නත් පුළුවනි... ඇඳුම් - නැපි- රෙදි ගොඩාක් ලැබිල තියෙන්නත් පුළුවනි... ඇඳුම් ගෙනියනවා නම් පොඩ්ඩක් ලොකු සයිස් එකෙන් ගෙනියන්න.. හැමෝම ගේන්නේ මාස 0-6 වගේ නිසා මාස 6 හෝ ඉන් පස්සේ වගේ අඳින්න පුළුවන් ඇඳුමක් දෙකක් ගන්න. දැනට පොඩි ඇඳුම් මහා ගොඩක් ලැබිල නම් ඔබේ තෑග්ග "පාවිච්චි කරන තෑගී" ගොඩට සුදුසුකම් ලබාවි ... මාස 3-6 දී සෙල්ලම් කරන්න පුළුවන් සෙල්ලම් බඩුවක් ... අම්ම දරුවට පැම්පර්ස් පාවිච්චි කරනවා නම් පැම්පර්ස් පෙට්ටියක් දෙකක් ගන්න...නැත්නම් තෑගි වවුචරයක් ගන්න. එතකොට ඒ අම්මට දරුවට ඕනි කරන දෙයක් තමන්ට රිසි විදියට ගන්න පුළුවන් වේවි. මාස තුනකට /මාස 6 කට වඩා දිගු කල් ඉකුත් වීමේ කාල ඇති වවුචර මිලදීගන්න.අර ගන්න කුමක් හෝ තෑග්ග ලස්සනට කඩදාසියකින් ඔතලා පුලුවන්නම් පුංචි කාර්ඩ් එකකුත් එක්ක දෙන්න සුදානම් කරගන්න. ඔබ මේ පිළිගන්වන්නේ අම්මෙක්ට ඉතා මෑතකදී ලද අනර්ගතම මැණිකට තිළිණයක්... ඉතින් ඒ අම්මට දැනෙන ප්‍රහර්ෂය ඔබේ තිලිණයට තවරන්න...

මතක් කරලා අලුත් අම්මටත් පුංචි තෑග්ගක් අරගෙන යන්න... පොත් කියවන්න ආස අම්මෙක් නම් පොතක් දෙකක් ගෙනියන්න... මල් වවන්න ආස මිතුරියක් නම් මල් පැලයක් ගෙනියන්න... මොකුත්ම හිතා ගන්න බැරිනම් පලතුරු ටිකක් ගෙනියන්න... කාලෙකින් තමන්ගේ අතින් පුඩින් එකක්- කේක් එකක් හදාගෙන කන්න වෙන්නේ නැති නිසා ඔබට හදන්න පුලුවන්නම් ගෙදර හදපු පුඩින් එකක්- කේක් එකක් අරගෙන යන්න... එය මාස 9 තිස්සෙම ස්වාමියාගේ සිට හත් මුතු පරම්පරාවේන්ම තමන්ටම තිබුණු දැඩි ආකර්ෂණය - අවධානය - ස්නේහය "එකවරම " දරුවට විතැන් වීම නිසා හිස් බවක් දැනුනු ඇගේ හිත සතුටින් පුරවා වී... දරුවා බඩේ ඉන්න කොට දසතින් ගලාගෙන ආව බත් මුල් එකක්වත් දැන් ඈට ලැබෙන්නේ නෑ නේ... එත් බඩේ උන්න වගේම පැටිය තාම යැපෙන්නේ අම්මගෙන් නිසා... අම්මට රසට උයල බත් ගෙඩියක් බැඳගෙන යන්න... ඔබ ඉන්නේ දුර රටකනම් ඔබ බලන්න යන යෙහෙළිය ... තාම අම්මගේ වීසා එක හම්බුනේ නැති නිසා අම්මෙක් -නැන්දම්මෙක් කවුරුත් නැතිව තනියම පැටියාගේ වැඩත් කරගෙන බතක් රයිස් කුකර් එකේ ගහල කඩෙන් ගෙනාව බෝතල් කරපු curry එකක් මයික්‍රෝවේව් කරලා කන අම්මෙක් නම්... අනේ පුලුවන්නම්... එළවලු -මාළු 3-4 වැඩි පුර උයල වෙන වෙනම භාජන වලට දාල අරගෙන යන්න.... කිරි වැඩෙන එළවලු මාළු කරවල මොනවා හරි ටිකක් ...ලංකාවේ උන්නනම් අම්මල- ලොකු අම්මල "මිරිස් හොදි රස්නේ බතුයි" "පොළොස් ඇඹුල එක්ක බත් " උයල දෙයි කියලා ලතැ වෙන ඇ ගේ හිත නිවී සැනහෙවී....

දරුවා බලන්න ගියාට පස්සේ ඔබේ කටට වගේම ඇස දෙකට වගකීමෙන් හැසිරෙන්න කියල වරින්වර මතක් කරන්න... යුවලක් හැටියට උන්නු කාලේ මුණ බලන්න පුළුවන් විදියට තිබුණු ටයිල් කැට දැන් එහෙම නැති එක ගැන... වැස්ස නිසා පැංචා ගේ හෝදපු නැපි - රෙදි වැටවල් බැල්කනිවල, පෝටිකෝවේ ගේ හැමතැනම තියෙන එක ගැන... ඉස්සර හැම සෙනසුරාදාම සතිපත-දිනපතා පත්තර ටික අයින් කරපු ටිපෝ එක යට දුවිලි තට්ටු එක්ක පත්තර පිරුණු එක ගැන ඔබේ යෙහෙළිය හිත කරදර කරගනීවි.... මේ චූ ද දා දොයියන් ඉන්න පුන්ච තව මාස 8-10 යද්දී මේ ලස්සන ගෙදර "එකම කලාගාරයක්" කරනබව... මේ ගෙදර සැටි - පුටු - මේස පැන්චාගේ පහසුවට ආරක්ෂාවට පව්ලේ සියලු දෙනා කිසි ලොබ කමක් නැතුව වෙනස් කරන බව ඇය තාම දන්නේ නෑ නිසා... ඇය හිත කරදර කරගනීවි ගෙදර පිළිවෙල මදි කියල...ඉතින් තමන් ගියේ දරුවා බලන්න මිසක් PHI මහතාගේ රාජකාරියට නොවන බව ඔබේ ඇස්දෙකට වරින් වර මතක් කරදෙන්න... අම්මෙක්- නන්දම්මෙක්- උදව්වට කෙනෙක් නැතිව තනිවම පැටියාගේ වැඩ ටික කරගන්න, අම්ම අප්පච්චි කෙනෙක් ගේ ගෙදරක් නම් අත්‍යාවශ්‍යම හේතුවක් නැත්නම් කුස්සියට, නාන කාමරයට එබිකම් කරලා ඇයව අපහසුතාවයට පත් කිරීමෙන් වලකින්න.

නමුත් මේ නිවස ඔබ කාල -බීල -වැටිලා උන්නු ඔබේ හොඳම යෙහෙළියගේ නිවස නම් ආගතුකයෙක් වගේ හැසිරෙනාවට වඩා...ඉක්මණට රෙද්දක් දවටගෙන මිදුල අතුගාල දීල... පොල් ගෙඩි 2-3ක් ගාල ෆ්රීසරේට දාලා...පැන්චාගේ ඇඳුම් ටිකක් මැදලා නවල දීල එන්න දෙපාරක් හිතන්න එපා...එත් ඔබට පුරුදු තැන උනත් කිරිල්ලියක් අලුතින් තැනු උණුසුම් කැදැල්ලක් මෙහි තිබෙන නිසා ඔබේ අවකාශය තේරුම් අරගෙන බුද්ධිමත්ව හැසිරෙන්න වග බලාගන්න.. තේරෙන්නම කිවොත් හැම එකටම හොට දන්නේ නැතිව පුළුවන් උදව්වක් කරලා දීල ගෙදර එන්න...

අලුත් අම්ම ඇගේ පැටිය ඔබේ අතට දෙන්න සූදානම් යයි හැගෙනම් මිසක් ඔබ දරුවා වඩා ගන්න ඉල්ලන්න ඉක්මන් නොවන්න . පුලුවන්නම් කියල අත්දෙක වැලමිටට වෙනකල් හොඳින් සෝදලා පිහිද ගෙන දරුවා අතට ගන්න... ඔබ පොදු ප්‍රවාහන සේවයකින් ඒ නිවසට ගියත් තමන්ගේ වහනෙක ගියත් ඒ දේ කරන්න... මොන තරම් අලුත් ඇඳුම් ඇඳගෙන උන්නත් දරුවාගේ රෙද්දක් - ප්ලනෙල් කැල්ලක් ඔබේ උරය පපුව වැහෙන්න දා ගෙන දරුවා අතට ගන්න... අතට ගත්තට පස්සේ "දරුවා ඉඹින්න... කන නහය අදින්න හදන්න... කුක්කුව මිරිකලා කිරි අයින් කරන්න ... පෙකෙනිය වැටිලද... ගැටය ලස්සනට නැත්නම් ඇඟිල්ලෙන් ඔබන්න...වගේ දේවල් වලට "පණ්ඩිත වෙන්න" එපා.මල් පෙත්තක් වගේ මෙලෙකැටිව අතේ දරාගෙන ඉඳල පරෙස්සමට දරුවා අම්ම අතට දෙන්න... ඒ දෙද්දී "දෝණි මලක් වගේ ලස්සනයි නංගි /අක්කා " කියල කියන්න.

ඔබ දරුවන් ලැබෙන (කුසට පැමිණෙන) විද්‍යාත්මක ක්‍රමය දන්නා වැඩිහිටියකු නිසාත්...මේ දරුවා "රෝස කැලෙන් කපුටා ගෙනත් දැම්ම කියල" ඔබ විස්වාස නොකරන නිසාත් දරුවාගේ අම්ම/ අප්පච්චිගේ සමේ වර්ණය දරුවට උපතින්ම ලැබිය හැකි නිසාත් පොඩ්ඩක් කළු අම්මෙකුට තල එළලු පුතෙක් ලැබුනම විමතියට පත් වී අර දස මසක් කුස දරු අම්මගේ හදවත කඩා ඉහිරුවන කතා නොකියන්න...

අලුත් අම්ම එක්ක මොනාද කතා කරන්නේ.... අලුත් පැටියෙක් ලැබිල බලාපොරොත්තු සපල වෙලා ඇය ඉන්නේ හරි සතුටින් ඇයට නිදහසේ ඇගේ හැගීම් ඔබත් එක්ක බෙදා ගන්න දෙන්න. සමහර විට දරුවා ලැබෙන්න අන්තිම දවස් වෙනකල් කාර්යාලයට ගිය ඇයට දැන් ගෙදර ඉන්න නිසා කතා කරන්න කෙනෙක් හම්බුනාම හරි සතුටක් ඇති... අහගෙන ඉන්න... සතුට බෙදා ගන්න... ඔබ ආවේ එකටනේ... අලුත් අම්ම දෙයක් ඇහුවොත් මිසක් උපදෙස් දෙන්න පනින්න එපා. ඔබ යන්නේ තනිවම නම් ඔබට තව පොඩ්ඩක් ලේසි. ඔබ යන්නේ ඔබේ අම්ම/ නැන්දම්මා එක්ක නම් යන්න කලින් පොඩ්ඩක් ඒ ගැන දෙන්න කතා කරගන්න... මොකද අම්ම/ නැන්දම්මා දවස් 2-3 කතා කරන්නැතුව ඉඳල ආයේම ඔබ එක්ක කතා කරවී..එත් ඔබ හිතන්නේ නැතුව කියල දාලා එන දේවල් අලුත් අම්මගේ හිත කාලයක් යනකල් රිදවනවමයි.... කියන එක මතක තියා ගන්න... ඔබ යන්නේ ඔබේ ලොකු අම්මගේ බාල දුවගේ දරුවා බලන්න නම්...ඔබට දැනෙනවට වඩා සමීපස්ථ බවක් ඔබේ මවට හැගෙන්න පුළුවනි... කුසින් නොවැදීම හැර ඔබගේ වගේම ඇගේත් සියලු දේ කලේ ඔබේ අම්ම වෙන්න පුළුවනි...එත් අම්ම ඒ නංගිට උපදෙස් දෙද්දී කොහොම උනොත් හොඳද කියල ගමන අතර තුර දී අම්ම එක්ක කතා බහ කරගන්න..එතැනදී ඒ අලුත් අම්මයි - ඔබයි දෙන්නම අසරණ වෙන අවස්ථා නවත්වගන්න එයින් ඔබට පුළුවන් වේවි...

දරුවාගේ උස- බර-මහත කියන දේවල් ඔබේ ඇසෙ මිම්මට පොඩි හෝ ලොකු වට පෙනුනට ඒවා ඇතිද මදිද කියල කියන්න ඔබේ වෛද්‍ය විද්‍යාව පිළිබඳ දැනුම මදි බව මතක තබා ගන්න... ඔබේ පුතා මේ වයසේදී උසට/දිගට උන්නේ ඔබට හුගක් උස ස්වාමියෙක් ඉන්න නිසා ඔබේ පුතා ඒ උස ජාන ඉදිරියට ගෙනියන නිසාත් ... සියලු දරුවන් උපතින්ම ඉතා උස අය නොවන බවත් ...මේ දරුවාගේ පියා ඔබේ ස්වාමියා නොවන නිසාත් මේ දරුවාගේ උස/දිග ගැන කලබල නොවන්න... ඉස්කෝලේ යන ඔබේ දෝනි වඩා ගත්තට පස්සේ අද ඉස්ස ඉස්සෙල්ලම කිරි සප්පයෙක් වඩා ගෙන "බර මදි වගේ නේද නංගි " කියන්න තරම් ඔබේ අ ත බර මනින තාක්ෂනය සදහා නිපදවන ලද්දක් නොවන බව මතක තබා ගන්න... ඔබත් එක්ක කතා බහ කරන වෙලාවෙදිත් පියොවුරු කිරෙන් බරව උඩු ඇඳුම් තෙත් වෙලා ඇය තුවායකින් /රෙද්දකින් පපු පෙදෙස වසා නොසිටිය කියා "නංගිට කිරි ඇතිද? කිරි මදිද දන්නේ නෑ බබා පොඩි " ... වැනි දේ නොකියන්න...

ඇය ඔබේ හිතේ තියෙන "අලුත් අම්මගේ "රුපෙට ගැලපෙන්න බෙඩ් ජැකට් එකක් අන්දලා රෙද්දක් අන්දලා නොහිට ටී ෂර්ට් එකක් අන්දලා කලිසමක් අන්දලා උන්න කියල ... "දරුවට කිරි පෙවෙනවා මදී ඇති... අර ඇඳුම ඇඳගෙන කොහොමද කිරි දෙන්නේ" කියල හිතන්න එපා... කිරි දෙන්න කාමරේට ගියාම ඇය තම උඩු කයම නිරාවරණය කරලා පැටියට අම්මගේ පපුවේ රස්නේ දැනෙන්න.. තුරුළු කරගෙන කිරි දෙනවද ඔබ දන්නේ නැනේ... පැටියාට පණ වගේ ආදරේ කලත් සමහර විට ඇ ය තමන්ගේ වෙනස් උණු ශරීරෙ දැකල ඉඳ හිට දුක් වෙනවා වෙන්න පුළුවනි. ඉතින් ඔබ අඬන්න ඉන්න කෙනාගේ ඇහැට ඇඟිල්ලෙන් අනිනවා වගේ "නංගි තව මහත් වෙලා වගේ " කියන්න එපා.

"මව් කිරි දෙන්න මව් කිරි ගුණයි " කියන අතරේම ඒ සමානවම පැතිරෙන මතය "පිටිකිරි දෙන්න" කියන එකයි කියල හැඟෙන්නේ අලුත් අම්මල මත "අත්තම්මගේ සිට දන්නා නොදන්නා සියලු පාර්ශවයන් පිටිකිරි දීමට පොළඹවන පරිද්දෙන් යොදන පීඩනය "දැක්කමයි ." අහවල් රටේ සරු සාර තණතිලි වල උළා කෑ අයගේ කිරිවලින් මගේ දරුවන් සුවෙන් වැඩුන" "අහවල් අකුරු තුනේ කිරි බින්දුවක් මව් කිරි හා සමානයි " කියල මොළ හෝදපු අවදියේ තරුණ මව්වරුන් දැන් අත්තම්මල නැන්දම්මල වෙලා ඉන්න නිසා දැන් තරුණ අම්මලට පිඩනේ වැඩි ... ඒකට හේතුව අම්ම/ නැන්දම්මා දේවභාශිතයක් වගේ අර වෙළද ගැටේ ගිලල ඉවරයි... ඉතින් ලේලිටට /දුට කියල කියල බැරි උනාම පුතාට /බෑණාට කියනවා... අලුත් අම්ම තව ටිකක් අසරණ කරවනවා... ඉතින් ඔබ "මව් කිරට වඩා පිටි කිරිට වදින" අම්මෙක් එක්කන් යනවනම් අර අලුත් අම්මගේ හිත තලන්නේ නැතුව ප්‍රවේසමෙන් ගිහින් එන්න...

මව් කිරේ ගුණය ගැන අලුත් අම්මාව ඔබට පුළුවන් උපරිමයෙන් දැනුවත් කරලා ... මව් කිරි ටික වැ ඩි කරගන්න හැටි කියල දීල ... කොහොම හරි පුළුවන් තරම් කාලයක් මව් කිරි දෙන්න අගේ හිත සවිබල ගන්වන්න... නමුත් දරුවාගේ හෝ මවගේ කිසියම් වෛද්‍ය හේතුවක් මත දරුවට පිටි කිරි පොවන්න සිදුවෙලා තියෙන අවස්ථාවක් නම් කිරි නැති අම්මෙක් ,හිස් අම්මෙක් දරුවට ආදරේ මදි ඇති වගේ "මහපොළොව නුහුළන" සිතුවිලි ඇයගේ වැලපෙන සිතට ඇතුළු කිරීමෙන් වලකින්න. මව් කිරි සැපයුම ජාන, හෝර්මෝන ක්‍රියාකාරිත්වය , මවගේ ශාරීරික මානසික සෞඛය. මවගේ පෝෂණය, විවේකය ආදී ය මත පදනම් වන බවත්... පියෝවුරේ ප්‍රමාණය, දරුවට ඇති ආදරය වගේ හේතු බල නොපාන බවත් ඔබේ "විසල් දැනුමට "එකතු කරගන්න.

අලුත් අම්ම දරුවට පැම්පස් අන්දවනවා කියන්නේ ඒ අම්ම දරුවට ආදරේ නෑ කියන එක නෙවි කියල ඔබේ හිතට කොනිත්තල හරි කියන්න. ඔබේ දරුවෝ පුංචි කාලේ ඔබේ ගෙදර, අම්මා ... ඔබේ නංගිලා ... ලොකු අම්මල ඕනේ තරම් වැඩට උදව්වට අය උන්නු බවත් ඒ අය ඔබ උදේ අවදි වෙන්නත් කලින් ඔබේ දරුවාගේ චූ රෙදි විතරක් නෙවි ඔබේ ඇඳුම් පවා සෝදා වැල් වල එල්ලා තිබු හැටිත් මතකට නගාගන්න... මේ අම්මා මේ වැඩ ටික තනියම කරගන්න බවත්... ඔබට වගේ වත්ත පුරා වැල් බඳින්න මේ ගෙදර මිදුලක් නැති බවත් සිහිපත් කරගන්න... ඒ පහසුකම් තිබුණත් පැම්පස් ඇන්දවීම නිසා දරුවා පැයක් දෙකක් සුවෙන් නිදියන බවත්... එය දරුවාගේ වැඩීමටත් ,මවගේ විවේකයටත් රුකුලක් වන අයුරු දැක පහදින්න ...

දරුවා උපන්න විදියෙන් ඒ අම්මගේ මාතෘත්වයේ බර මනින්න යෑ මෙන් වළකින්න.."සීසර් ද අය්යෝ වේදනාවක් නෑ හැගීමක් නෑ නේද?... වගේ සහාසික ප්‍රකාශ කරන්න එපා... තාම රිදුම් දෙන ඇ ගේ තුවලෙත් ඉකිබින්දිවී ඒ කතාව අහල .... සීසර් නම් තව අවුරුදු 2 විතර පරෙස්සම් වෙන්න වෙයි ... ඔබ මේ ගමන යැව්වේ පවුල් සෞක්‍ය සංවිධානෙන් නෙවි නේ... ඒක ඒ දෙමහල්ලෝ බලාගනීවී ... "අනේ නොර්මල් ද? මගේ හස්බන්ඩ් නම් අනේ බොරුවට දුක් විඳිනවට කැමති උනේ නෑ... එක නිසා සීසර් කලා" කියන්න තරම් බොළඳ වෙන්න එපා .. ඔබේ සැමියා නෙවි මේ ලෝකේ කිසිම අප්පච්චි කෙනෙක් තමන්ගේ දරුවන්ගේ අම්ම ඒ ආකාර වේදනාවක් විදින්නවා බලල සතුටක් ලබනවා කියල මම නම් හිතන්නේ නෑ කියන එකයි මගේ හැගීම..ඒක නිසා ඒ වෙලාවේ වඩා ම සුදුසු වෛද්‍ය මතයට ගරු කල ඒ ස්වාමි පුරුෂයාට හිමි ගෞරවය රැක දෙන්න.
"අපරාදේ නෝමල් නොකර ගත්තේ" කියලා සමහරවිට ඔබ තවමත් පසුතැවෙන...ඔබට අහිමි වූ අවස්ථාව ලද මිතුරියගේ ප්‍රසූතිය පිලිබඳ තිබෙන ඇගේ හිතේ තිබෙන ප්‍රමෝදය නැති නොකරන්න වග බලාගන්න.

ඔබ ඔබේ දරුවන් ලද කාලයේදී වැඩ කරගත් ආකාරය ඇසීමෙන් ඇ යට උත්තෙජනයක්, දිරිගැන්වීමක් වේනම් මිසක් "මම කරගත්තේ මෙහෙමයි "කියා ඔබේ හැකියාවන් කියවන්න මේ අවස්ථාව වේදිකාවක් කරගන්න එපා. ඔබ දැන් විජයග්‍රාහී විදියට කීවට ඔබ කොයි තරම් හඩා වැටුනද? ? කිරි නැතුව ඇති කියල බය උනාද ? බබා අඩද්දී ඔබත් ඇඩුවද කියල අමතක කරන්නේ ඇයි ?. කියනවනම් ඔබ වැටුණු හැටි නැගිටපු හැටි ඒ ඔක්කොම කියන්න ... නැත්නම් නොකිය ඉන්න..අලුත් අම්මට සහනයක් ගෙන දෙන දෙයක් පවසන්න... ඔබ දරුවන් 1-2 හෝ 4-5 හැදු අයෙක් උනත් දරු මුණුබුරන් ලද කෙනෙක් උනත් ඔබටත් මේ සියලු දේ ජීවිතේ "ප්‍රථම " අවස්ථා ලෙස උරුම වූ බවත් ඔබත් ඉතා බයෙන්... ඉතා අමාරුවෙන් ... ඉතා වෙහෙසෙන් ඒවා පසු කළබවත් අමතක නොකරන්න ... " අනේ රෑ ට නින්දක් නෑ අක්ක " කිවම "ඕවා ඔහොම තමයි තව ලොකු වෙද්දී තව කරදරේ" කියන්න එපා..." ටික දවසයි නංගි ... පස්සේ එක දිගට නිදාගන්න කාලේ එනවා... එතකොට ඔයාට පාලුත් දැනේවි" කියල අගේ හිත හදන්න... "මේ වයස එහෙ බලල මෙහෙ බලද්දී ඉවර වෙනවා නංගි ... පුළුවන්තරම පින්තූර ගන්න... කියල ඇයට යමක් යෝජනා කරන්න....

"අනේ බබා අය්ය වගේ මයි "කියන්න ඉක්මන් නොවන්න .... ඇගේ අතට මේ පැටිය ලැබුනේ ඔබ දරුවා බලන්න එද්දී ඔතාගෙන ආව තෑග්ග සුපිරි වෙළඳ සලෙන් මිල දීගත්ත තරමට පහසුවෙන් නොවන බව මතක් කරගන්න . මාස ගානක් රැයක් දවාලක් නැතුව වමනේ දාල .. බත් ඇටයක් කටේ තියන්න බැරුව ඉඳල...වතුර ටිකක් උගුරෙන් පහලට දාගන්න බැරුව ඉඳල.... ඉන්පස්සේ ටික ටික බඩ ලොකු වෙලා කකුල් කොට්ට ගෙඩි වගේ වෙලා ... ඇවිදගන්න ... වාඩි උනාම නැගිට ගන්න බැරුව ඉඳල....රෑ තිස්සේ නින්දක් නැතුව එහෙට මෙහෙට පෙරලි පෙරලි රෑ ටික ගත කරගෙන අන්තිමේදී පැ ය 20-22 විතර කාලයක් ලෝකේ තියෙන ලොකුම වේදනාව විඳලා..... එහෙමත් නැත්නම් පණපිටින් අමු අමුවෙන් මස් තට්ටු 7ක් කපල, මළ කදක් වගේ වැතිරිලා ඉන්නකොට දරුවා මුනට ලං කරපු මොහොතේ අත් දෙකට අරගෙන කිරි බින්දුවක් පොවගන්න බැරිව අසරණ වෙලා ඉඳලයි ඇය මේ මැණික මේ ලෝකෙට අරගෙන ආවේ... ඒ කරලත් ඔබ දරුවා බලන්න යන දවස වෙනකලුත්... පුතාගේ අප්පච්චි නිදා ගත්තට ... අම්මා තාම එක දවසක් පැ ය 4 එක දිගට නිදා ගෙන නෑ .. ඉතින් පැන්න ගමන් පුතා තාත්තගේ බඩෙන් ආව වගේ කතා කියන්න එපා... අම්මලාගේ මව් ගුණය නිසා ඒ තරම් දුක් දැරුවත් ලොබ නැතුව "දෝනි මහත්තය වගේ නේද අක්ක" කියල අහන වෙලාවල් ඕනි තරම් තියෙනවා.... ඒ ඒ අම්මගේ සතුට නම් ඔබ එක ඉටු කරන්න... නැතුව සතියෙන් සතිය මාසෙන් මාසේ වේගෙන් වෙනස් වෙන පුංචි ලක්ෂණ දැ කල පුතු තාත්තමයි කියල අර අම්මගේ හිතේ තමන් ගැන තියෙන ආඩම්බරේ බින්දුවටම වට්ටවන්න එපා.

අලුත උපන්න දරුවෙක් බලන්න ගියාම ඒ අලුත් අම්ම ඉස්සරහදි ඔබට ළමා රෝග විශේෂඥය වෛද්‍යවරයෙක්... නාරි හා ප්‍රසව වේද වෛද්‍යවරයෙක් ටත් වඩා උපදෙස් දෙන්නම, හැසිරෙන්නම හිතෙනවා නම් අඩු තරමින් නිතර ඒ සම්බන්ධ පොත් පත් සඟරා කියවා අන්තර්ජාලය ඇසුරු කර දැනුම අලුත් කරගන්න බලන්න... කල් ඉකුත් වූ මත බැහැර කරන්න එය ඉවහල් වේවි...

කිරිසප්පයෝ ගැන උපදෙස් දෙද්දී හැමවෙලේම පරෙස්සම් වෙන්න.... දැනුම හරි ඉක්මනින් වෙනස් වෙනවා... දියුණුවෙනවා... ලෝකේ නවීන සොයාගැනීම් ඉදිරිපත් වෙනවා...ඔබ දරුවන් හා සම්බන්ද වුර්තියක නියැළෙන... ඒ දැනුම අලුත් කෙරෙන අද්‍යන අවස්ථා හිමිවන කෙනෙක් නොවේ නම් ..ඔබ කිරිසප්පයෙක් අතදැරුවේ මීට අවරුදු 6 කට කලින් ද 3 කට කලින්ද කියන එක උපදෙස් දෙද්දී බලපානවා මයි... .. එක නිසා මෙහෙම කරන්න කියල එක එල්ලේ කියන්න කලින් දෙවරක් හිතන්න . එක අව්රුද්දකදී on demand feed කරන්න කියල... තව අවරුදු දෙකකින් දෙවෙනි දරුවා උපන්නම පැ ය දෙකෙන් දෙකට ෆීඩ් කරන්න කියල උපදෙස් ලැබුන කියල අත්දැකීමක් තියෙන අම්මෙක් මට මුණගැසී තියෙනවා... ඒ වගේ දැනුම වෙනස් වෙනවා... මේ කියන්නේ... ඔබේ යෙහෙළිය ඔබෙන් යමක් ඇහුවොත් දොස්තරගෙන් අහන්න කියල ගැලවෙන්න කියන එක නෙවි... ඇයට ලැබුණු උපදෙස් අනුව ඇය යමක් කරන විට "ඔහොම නෙවි... මගේ පුතා පොඩි කාලේ මෙහෙමයි මම කලේ මෙහෙම කරන්න ඔයත් "කියන එක නවත්වන්න කියලයි ....

මෙහෙම කිවම අනේ හිතන්න එපා.... "ඕනේ මගුලක් කරගත්තාවේ ... අපේ වැඩේ ළමය බලන්න යන එකනේ එක කරලා එනවා" කියල එන්න කියන එක නෙවි මේ කියන්නේ .... ඉස්සර කාලේ වගේ දරුවට මාස 3 වෙනකල් (තනියම ඔලුව උස්සගන්න පුළුවන් වෙනකල්) දරුව තනි කරන්නේනේ නෑ කියල... පැ ය 24 ම අත්තම්මෙක්/සීයෙක් / පුංචි ළමයෙක් හරි තියල තියන්න පුළුවන් පවුල් පරිසරයක් දැන් අපිට නැනේ... තනිතනියම වැඩ කරගන්න සිද්ද උන අම්මෙක් බබා වටේට කොට්ට තියල උණුහුම් කරලා තියේනම්... අම්මට SIDS ගැන කියල දෙන්න...ගෙදර ඇ විත් පස්සේ කෝල් එකක් දීල කියන්න... 'නංගි කොට් එකේ කොට්ට, රෙදි මොකුත් තියන්න එපා... ඇඳුම් වලින් උණුහුම් කරන්න' කියල... එහෙම නැතුව අර අම්ම මාස ගානක් තිස්සේ .... කොට්ට ගෙඩි වගේ කකුල් ටිපෝ එක උඩ තියාගෙන අමාරුවෙන්... ඉඹ ඉඹ අතේ මල් -සමනල්ලු මහපු කුරුළු කොට්ට ටික කාමරේට පැනල කොට් එකෙන් විසික් කරලා එන්න කියන එක නෙවි...

ඔබට අලුතෙන් බබෙක් බලන්න ගිය එක ඒ සතියේ හෝ මාසයේ යන්න තිබු තව එක ගමනක් විතරක් වෙන්න ඇති... ඉතින් ඔබ ඒ ගමනේදී ඔබට කැමති දෙයක් කියල ... කරලා ඇවිත් දවසේ වැඩ ඉවර කරලා නින්දට යාවි...එත් ඔබ ඒ අලුත් අම්ම එක්ක කිව දේවල් ඇගේ හිතේ දෝංකාර දෙන බවත්...ඔබ කිවූ ප්‍රමෝදජනක දෑ සිහි කර ඇය සතුටු වෙන බවත්... ඔබ කිවූ හිතරිදවූ දෑ සිතමින් ඇය හිතෙන වැලපෙන බවත් අමතක නොකරන්න. මන්ද සමහරවිට ඔබ සුව නින්දේ සැප සිහිනයක් දකින විටත් ඇය තම නොනිදන කිරිසප්පය අතැතිව මහ රෑ තනියම අවදියෙන් සිටින බව අපි බොහෝ දෙනා අමතක කරන නිසයි. ඉතින් ඔබ නොහිතා කියන දේ, වෙලාව අරන් හිතන්න - වද වෙන්න ඇයට නිස්කලංක වෙලාවක් හම්බු වෙනවා... අගේ ශරීයතුල දරුවා දරාගන්න,බිහිකරන්න, කිරි හදන්න ඇති වූ වෙනස් කම් වලට මුල් උණු හෝමෝන සියල්ල ඔබේ වල්පල් වලින් අගේ මනස අවුල් කරන්න තව තව රුකුල් දෙනවා.ඔබට නිකම් එවෙලෙට කටට ආව කතා උනාට ඇයට මේවා සියල්ල ප්‍රශ්න- අලුත් ප්‍රශ්න - දැවෙන ප්‍රශ්න. අමතක කරන්න එපා ඇයට මේ පදවිය නැවුම් බව... ඉතින් ඇයට ඒ සියල්ල ප්‍රශ්න - අලුත් ප්‍රශ්න -දැවෙන ප්‍රශ්න තමයි

ඔබ පිටත් වූ තැන ඉඳන්ම... අලුත් අම්මට තමන්ගේ දරුවාගේ හොඳට තිබුණු කන ඇඹරිලා ගුලි වෙලා වගේ පේනවා නම්... ඔලුව දිගටි වැඩි කියල පෙන්න ගන්නවා නම් .. ඔබ ගිය ගමනින් පලක් නෑ කියලයි මට හිතෙන්නේ...

ඔබ ඒ නිවසින් පිට වෙද්දී ඔබත් එක්ක පසු ගමන් එවිත් ඇය ආපහු හැරෙන්නේ.... මට කිරි මදිද දන්නේ නෑ... ඇත්ත තමයි බබා පොඩි ඇති...ඒ අක්කාට බබාල තුනක්ම ඉන්න නිසා එයා දන්නවනේ මට වඩා... ඩොක්ටෝර්ට කියල පුතාට පිටි එකක් ලියව ගන්න ඕනේ... පුතාගේ ඔලුව දිග එක ප්‍රශ්නයක්ද දන්නේ නෑ ඉක්මනට දොස්තරට අපොඉමන්ට් එකක් ගන්න ඕනේ... කියල පරාජිත හැගීමකින් වේදනාවකින් බර කරගත්තු හදවතින් නම් ඔබ ඒ දරුවා බලන්න නොගියානම් තමයි වැඩියම හොඳ කියලයි මට හිතෙන්නේ...

ඒ වෙනුවට අනේ මට හා පැටියෙක් වගේ පුළුන් බෝලයක් වගේ පැටියෙක් ඉන්නවා.... කොහොම හරි නිදි මරාගෙන කුක්කු පොවලා මම බර ටික වැ ඩි කර ගත්ත නේ ... ඒ අක්ක කිව වගේ කොහොම හරි මම මේ මාස 6 මගේ පැටියට මගේ කිරීම දෙනවා ... සීසර් කරලා කියල නෑ ... ගෙදර ආව දවසේ ඉඳන් බබාගේ වැඩ ටික මම මගේ අත් දෙකෙන් නේ කරගත්තේ කියල ඇයටත් අමතක උණු ඇගේ හපන්කම් ජයග්‍රහණ ඇගේ හිතට එන්න අරගෙන ඇය ප්‍රමෝදයට පත් වෙනවා නම් ඇගේ සිත සතුටට පත් වෙනවා නම්... තව නිදි මරන්න... තව කිරි හදන්න ඇයට හිතට හය්යක් දැනෙනවා නම් ඔබ ඔතාගෙන ගිය ඉස්තරම්ම සාප්පුවෙන් ගත්තු මිල අධිකම තෑග්ගට වඩා මේ තෑග්ග ඒ අම්මටයි පැටියටයි වටීවි ..

එහෙනම් ඊගාව පාර අලුත් බබා විතරක් නෙවි අලුත් අම්මත් බලල එන්න අපිත් අලුත් වෙලා යමු.


Share on Google Plus

About admin

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 Comments :