ads
News
Loading...

දලවැල්ල වෙරළින් මතුවු සීල් මත්ස්‍යයා


මේ මස 20 වෙනිදා උණවටුන වෙරළ තීරයෙන් දකින්න ලැබුන සීල් සත්වයා දලවැල්ල වෙරළින් නැවතත් හමුව තිබෙනවා සහ වනජීවි, නාවික හමුදා අවධානය ඒ වෙත ලැබී තිබෙනවා.ගොසිප්ලන්තය අද අපි ඒ ගැන කතාකරන්න හිතුවා.

මේ සත්වයා කවුද ?

මේ සත්වයා සීල් සත්වයෙක්. සීල් කියන්නෙ ක්ශීරපායියෙක්. ඒ කියන්නෙ අපි වගේම කිරි බී වැඩෙන සත්වයෙක්. ඇතැම් ප්‍රසිද්ධ මාධ්‍ය තුල 'මත්ස්‍යකු' යැයි සඳහන් කිරීම කණගාටුදායක තත්වයක්. (සත්‍යයේ සටහන් බුද්ධියේ විමසුමට ඉදිරිපත් කිරීමේදි නොදන්නා විෂය පථයන් ගැන සාවද්‍ය ප්‍රකාශන ඉදිරිපත් කිරීමට පෙර විශේෂඥයෙකුගෙන් කරුණු විමසා තහවුරු කරගැනීමෙන් පසු ඉදිරිපත් කිරීමට අවම සදාචාරයක් පවත්වා ගැනීම එවැනි මාධ්‍ය ආයතන වල වගකීම විය යුතුයි.)

නැවතත් සීල් සත්වයා වෙත ආවොත් සීල් කියන ක්ශීරපායීන් වර්ගීකරණය කරන්නෙ කාර්නිවෝරා ගෝත්‍රයට. ඔබ දකින ගොඩබිම් මාංශභක්ෂක ක්ශිරපායින් බොහෝ දෙනා අයත් වන්නෙ කාර්නිවෝරාවන්ට. මේ වර්ගීකරණය තුල තවත් පහලට යද්දි සීල් සත්වයන් පිනිපීඩියා නැමැති ක්ලේඩයේ ෆොසිඩායි කුලයට තමයි අයත් වන්නෙ. 

දලවැල්ල වෙරළ තීරයෙන් හමුවන සීල් සත්වයා අයත් වෙන්නෙ Southern Elephant Seal (Mirounga leonina) විශේෂයට . එලිෆන්ට් සීල් නමින් හඳුන්වන සීල් විශේෂ දෙකක් ලෝකේ ජීවත් වෙනවා. මේ එක් විශේෂයක් උතුරු අර්ධගෝලයේ ජීවත් වෙද්දි අනෙක් විශේෂය දකුණු අර්ධගෝලය තුල ජීවත් වෙන්නෙ. සදර්න් සහ නොදර්න් නාම දෙක ලැබෙන්න හේතුව තමයි ඒක. උතුරු විශේෂය පැසිපික් තීරයේ ජීවත් වෙද්දි දකුණු විශේෂය ඇන්ටාක්ටික් වටා පැතිරීමක් පෙන්නුම් කරනවා. දලවැල්ලට එන්නෙ මෙන්න මේ දකුණු විශේෂයට අයත් හාදයෙක්.

එලිෆන්ට් සීල් ගැන සුවිශේෂී කාරණා බොහෝමයක් තියෙනවා. එකක් තමයි මේ එලිෆන්ට් නැත්තන් අලි සීල් කියන නම ලැබෙන්න හේතුවෙන කුඩා හොඬය (proboscis). මේක පිහිටන්නෙ වැඩුනු පිරිමි සතුන්ට පමණයි. ඒ වගේම මේ එලිෆන්ට් සීල් විශේෂ ද්විත්වය අතරින් සදර්න් විශේෂය තමයි ලෝකයේ දැනට ජීවත්වන කාර්නිවෝරාවන් අතරින් විශාලතම සාමාජිකයා. ඒ කියන්නෙ දලවැල්ලට ආපු හාදයා ලෝකේ ඉන්න විශාලතම කාර්නිවෝරාවා.

මේක ගැන දල අදහසක් ලබාදෙන්නන් මෙහෙම. දැන් ලොකේ ගොඩබිම ජීවත්වන විශාලතම කාර්නිවෝරාවා ලෙස පිලිගන්නෙ ග්‍රීස්ලි වලසාව. සාමාන්‍යයෙන් සම්පූර්ණ වැඩුනු ග්‍රීස්ලි වලසෙක්ගෙ බර 275 kg පමණ. දලවැල්ලට ආපු සීල් විශේෂයේ වැඩුණු පිරිමි සත්වයෙකුගෙ බර 4000 kg පමණ. ඒ කියන්නෙ ටොන් 4 ක බරක. හිතාගන්න අමාරු ඇති සීල් සතුන් ලාංකිකයන්ට එතරම් සමීප නැති නිසා නමුත් southern elephant seal කියන්නෙ වචනයේ පරිසමාප්තියෙන්ම සද්ධන්ත සත්වයෙක්. අපි මේ දකින හාදයා තවමත් පැටවෙකු නිසයි කුඩා ප්‍රමාණයට දකින්නෙ.

2. මේ ලංකාවෙන් වාර්තා වන පලමු වතාවද ?

මේ ආකාරයට තොරතුරු සහිතව වාර්තා වන පලමු අවස්ථාව මේක. නමුත් ඉතින් අපිට කියන්න බෑ වෙරළ තීරයන්ට අහම්බෙන් ගොඩවැදුන පෙර අවස්ථා සහ හමුවෙලා ඝාතනය කල අවස්ථා තිබෙනවාද කියලා. ලංකාවේ ඉන්න විශේෂඤයන්ට වඩා මේ තොරතුරු තිබෙන්නේ ලංකාව අවට ධීවර ජනතාව අතර. මේ විදිහට පිලිවෙලකට වාර්තා වුන පලමු අවස්ථාව මේක නමුත් වෙන ඉන්සිඩන්ට් තිබෙන්න බැරි කමක් නැහැ.

ඉන්දියන් සාගරයෙන් වාර්තා වුන පලමු අවස්ථාවද ?

තැන් කිහිපයක වාර්තාවල මම දැක්කා ඉන්දියන් සාගරයේ වාර්තා වුන පලමු අවස්ථාව කියලා තියෙනවා. ලංකාව වටේ තමයි ඉන්දියාන් සාගරය තියෙන්නෙ කියලා හිතුවොත් එහෙම කියන එක හරි. නමුත් ඉන්දියාන් සාගරය ඇන්ටාක්ටික් දක්වා විහිදෙනවා. සදර්න් එලිෆන්ට් සීල්ස්ලාගෙ එක උප ගහනයක් ජීවත් වෙන්නෙ මේ දකුණු ඉන්දියානු සාගර කොටසට අයත් හුදෙකලා දූපත් කිහිපයක්. ඒකෙනුත් ලංකාවට ආසන්නතම දූපත තමයි ප්‍රංශ රජයට අයත් කර්ගුලෙන් දූපත. කර්ගුලෙන් දූපතේ තමයි ඉන්දියානු සාගර උප ගහනයේ වැඩා ප්‍රතිශතයක් ජීවත් වෙන්නෙ. නිශ්චිතවම කීමට නොහැකි වුනත් දලවැල්ල හාදයාට ආසන්න වශයෙන් කර්ගුලෙන් සම්භවයක් තිබීමට පුළුවන්.

සීල් ලංකාවට ආවේ දේශගුණික විපර්යාස වල ප්‍රතිඵලයක් නිසාද ?

මෙහෙම කතාවක් සමහර අය කියලා තියෙනවා. දේශගුණික විපර්යාස සහ යම් හුදෙකලා සිද්ධියක් සම්බන්ධ කිරීමට තරම් සාධක නැහැ. දේශගුණික විපර්යාස තුලින් ලෝකයේ ඇතිවන ගැටලු බොහෝමයක් තිබුනත් බොහෝ දෙනා කරන්නෙ රැල්ලක් ඇති වු විට අතට අසුවන සියළු දේ දේශගුණික විපර්යාස ගිණුමට බැර කිරීම. ලංකාවේ විතරක් නෙමේ ලෝකය පුරාම පාරිසරික ව්‍යාපාර අතින් කෙරෙන වරදක් මේක. එක් සිද්ධියක් පාදක කරගෙන එලෙස නිශ්චිත නිගමන ලබාදෙන්න බැහැ. ඇන්ටාක්ටික් කලාපයේ පැතිරීම තිබුනත් වාර්තා බොහෝමයක් තිබෙනවා මේ සතුන් කෑම සොයා හෝ වෙනත් හේතු මත මකර නිවර්තන රේඛාව අභිබවා උතුරු දෙසට ගමන් කල. ලංකාව තියෙන්නෙ මකර නිවර්තනයටත් උඩින් පිහිටි සමක සහ කර්කටක රේඛා ද්විත්වය අතර. දියවැල්, කුණාටු සහ වෙනත් හේතු බොහෝමයක් මේ සතුන් නිජබිමෙන් ඈතට ගෙනයාමට සමත්. ඒ නිසා මේ එක් වාර්තාගත දත්තයකින් හේතුව තහවුරු වු ලෙස දැක්වීම තේරුමක් නැති තර්කයක්.

මේ වගේ සත්වයෙක් අසාමාන්‍ය ස්ථානයකින් මතුවීමේදි අනිවාර්යයෙන්ම ඒ සත්වයා අධික තෙහෙට්ටුවකින් යුතුවයි සිටින්නේ. ඒ නිසා ලඟට ගිහින් ඇනලා බලන්න වගේ දේවල් කරන්න එපා. ස්ට්‍රෙස් රෙස්පොන්සස් වැනි හේතු නිසා එවැනි සත්වයන් මිය යෑමට පුළුවන්.

සීල් ගැන අවබෝධයක් ලැබුනා කියලා හිතනවා මේ කෙටි සහහනින්.

#DOE

ඡායාරූප අයිතිය නාවික හමුදා මාධ්‍ය ඒකකය සතුයි.
Share on Google Plus

About admin

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 Comments :