ads
News
Loading...

වෛද්‍යවරිය නිදහස්වුනු නඩු තීන්දුව



[ Prof. Priyani Soyza V. Rienzie Arsecularathne ]



පැමිණිලිකාර නීතිඥ රෙන්සි ආසේකුලරත්න මහතා සිය බිරිඳ සහ දරුවන් දෙදෙනා සමඟ 1992 අප්‍රෙල් මාසයේදී නුවරඑළියේ නිවාඩුවක් ගත කළේය. එක් දරුවෙකු වූ හතර හැවිදිරි සුහානි, සාමාන්‍ය හා ආරක්ෂිත දරුවෙකු ලෙස කල් ගෙවූවා ය. අප්‍රෙල් නිවාඩුව සඳහා පාසල වසා දමන තුරු ඇය ශාන්ත බ්‍රිජට් කන්‍යාරාම පාසලට සහභාගි විය. නුවරඑළියේ දින කිහිපයක් නැවතී සිටීමෙන් පසු ඇය ගමන් කරමින් සිටියදී කකුලක් ඇදගෙන යන බව ඇගේ දෙමව්පියන් වූ ආසේකුලරත්න යුවලට හැගී ගියහ. ළමා රෝග විශේෂඥ වෛද්‍යවරයකුට පෙන්වීම සඳහා වහාම ඇයව කොළඹට ගෙන යනු ලැබීය.

1992 අප්‍රෙල් 18 වන දින ඇය වගඋත්තරකාර මහාචාර්ය ප්‍රියනි ද සොයිසා වෙත ගෙන එන ලද අතර, ප්‍රසිද්ධ ළමා රෝග විශේෂඥ වෛද්‍යවරියක් වූ ඇය විසින් කොල්ලුපිටියේ ශාන්ත මයිකල් හෙද උපදේශන ස්ථානයේ දී දරුවාට ප්‍රතිකාර කළේය. විත්තිකරු සුහානිගේ රෝගය රූමැටික් කොරියා (Rheumatic Chorea) ලෙස හඳුනාගෙන මූලික වශයෙන් නවලෝක පෞද්ගලික රෝහලට ඇතුළත් කර තිබේ. ASOT, ESR, සහ TELECHEST යන පරීක්ෂණ තුනක් ලබා ගැනීමට උපදෙස් දුන් අතර, නවලෝක රෝහලට ඇතුළත් කිරීමට වෛද්‍ය නිලධාරියා වෙත යොමු කළ සටහනේ සුහානි වෙනුවෙන් පෙනිසිලින් (Penicillin), වැලියම් (Valium) සහ මල්ටිවිටමින් (Multi-Vitamin) ටැබ්ලට් නියම කර තිබුනි. වෛද්‍යතුමියගේ අධීක්ෂණය යටතේ අප්‍රේල් 18 සිට මැයි 19 දක්වා ඇයට රූමටික් කෝරියා (Rheumatic chorea) රෝගය සදහා ප්‍රතිකාර ලබා දී ඇත.

පැමිණිලිකරු සැලසුම් කළ පරිදි ජ්‍යෙෂ්ඨ ස්නායු විශේෂඥයෙකු වන වෛද්‍ය ජේ. පී. පීරිස් මහතා අප්‍රේල් 23 වන දින සුහානි පරීක්ෂා කළේය. ඔහු විසින් රෝග විනිශ්චය පිළිබද සැක පල කර ඇති බවද සදහන් වෙයි. වගඋත්තරකරු මැයි 18 සහ මැයි 19 කොළඹින් පිට රාජකාරියකට ගිය බැවින් ඇය වෙනුවට සුහානිගේ රෝගය පිළිබද විමසීමට ළමා රෝග විශේෂඥ වෛද්‍යවරයෙකු වූ රිජ්වේ රෝහලේ අධ්‍යක්ෂක වෛද්‍ය ඩී.ආර්. කරුණාරත්න මහතාට පවරා තිබුණි.

සෑම වෛද්‍යවරයෙකුම තම රෝගියගේ තත්වය පිළිබද සහ නියමිත කරන බෙහෙත් සහ අනෙකුත් අවශ්‍ය වෛද්‍යමය කරුණු සෑම දිනකම රෝගියාගේ ඇදට අදාල ටිකට් එකේ හෙවත් Bed Head Ticket (BHT) හී සටහන් කල යුතු වේ. නමුත් මෙම නඩුවේ සාක්ෂිවලට අනුව වගඋත්තරකාර වෛද්‍යතුමිය විසින් එය පවත්වාගෙන යාමද පැහැර හැර ඇති බවද පසක් වී ඇත. එයද සිදුකර ඇත්තේ වාට්ටුවේ HO (House Officer) විසින් විය.

කෙසේ හෝ තම දියනියගේ සුවයක් දැකීමට නොමැතිව තිබූ බැවින් මැයි 20 වන දින පැමිණිලිකරු සියකැමැත්තෙන් වගඋත්තරකරුගේ ප්‍රතිකාර වලින් සුහානිව ඉවත්කර තම දියණිය වෙනත් ජ්‍යෙෂ්ඨ ළමා රෝග විශේෂඥ වෛද්‍යවරයෙකු වූ මහාචාර්ය ලමාබදුසූරිය මහතා වෙත භාර දුන්නේය. ඔහු විසින් ද දින හතරක් පමණ Rheumatic chorea රෝගය සදහා ප්‍රතිකාර කල ද පසුව මොහුට වැටහී ගියේ ඇයගේ රෝග ලක්ෂණ Rheumatic chorea රෝගය නොව වෙනත් රෝගයක් පෙන්නුම් කරන ආකාරයකි. ඔහුගේ රැකවරණය යටතේ මැයි 24 වන දින කල ඉල්ලීමකට අනුව මැයි 26 සුහානි සදහා CT Scan පරීක්ෂණයක් විකිරණවේදියෙකු (Radiologist) වන වෛද්‍ය එන්. ජයරත්න මහතා විසින් සිදු කලේය.

This was the request by Prof. Lamabadusooriya.

"This patient is under treatment for Rheumatic Chorea since mid-April 92. I took over the patient only a few days ago. Her tendon jerks are very brisk and there is ankle clonus which is unusual for chorea. I cannot visualize the optic discs to see whether there is papilledema. Could you please do a CT Scan of the brain to exclude the possibility of an SOL (Space occupying lesion).”

වෛද්‍ය එන්. ජයරත්න මහතාගේ රෝග විනිශ්චය වූයේ සුහානි Brain Stem Glioma (BSG) රෝගයෙන් පෙලෙන බවකි. BSG යනු මොළයේ හෝ සුෂුම්නාවේ (Spinal Cord) ඇතිවන පිළිකා සෛල සමූහයකින් සමන්විත ගෙඩියකි හෙවත් tumor එකකි. මෙය කාලයත් සමග ස්නායු පද්ධතිය පුරාම පැතිරී යා හැකිය.

මැයි 27 වන දින වහාම මහාචාර්ය ලමාබදුසූරිය මහතා විසින් ස්නායු ශල්‍ය වෛද්‍යවරයකු වූ වෛද්‍ය ගුණසේකර මහතාට ලිපියකින් මේ බව දන්වා රෝගයට වැඩිදුර ප්‍රතිකාර ලබා දීම සඳහා ශල්‍ය වෛද්‍ය උපදෙස් ලබා ගත්තේය. එදිනම වෛද්‍ය ගුණසේකර ප්‍රතිචාර දැක්වූයේ සුහානිගේ මොළයේ මධ්‍යයේ (Mid Brain) ඇති වූ තුවාලය (lesion) බයොප්සි (Biopsy) පරීක්‍ෂණයකට පවා ප්‍රවේශ කළ නොහැකි බවත් එවැනි ශල්‍යකර්මයක් කළ නොහැකි බවත්ය. එසේම එංගලන්තයේ ස්නායු ශල්‍ය වෛද්‍යවරයකු වන වෛද්‍ය ශ්‍රී ලාල් ඩයස්ගේ අධීක්ෂණය යටතේ ස්ටීරියෝටැක්ටික් විකිරණ චිකිත්සාවක් ( Stereotactic Radiotherapy) ඔහු වෙතින් ලබා ගත හැකි බව ඔහු පෙන්වා දුන්නේය.

පසුව, ජුනි 1 වන දින සුහානි එක්සත් රාජධානියට රැගෙන ගොස් ආචාර්ය ශ්‍රී ලාල් ඩයස් වෙත පිළිගැන්වීය. නමුත් එහිදී ද ඇයව කිසිදු ශල්‍යකර්මයකට භාජනය වීමක් සිදු නොවීය. ජුනි 12 වන දින ඇය නැවත ශ්‍රී ලංකාවට ගෙන එන ලද අතර ජුනි 16 වන දින වෛද්‍ය ජේ. බී. පීරිස්ගේ අධීක්ෂණය යටතේ කොළඹ මහ රෝහලේ ස්නායු රෝග ඒකකයට මාරු කරනු ලැබීය. 18 වන දින මහරගම පිළිකා රෝහලේ (අපේක්ෂා රෝහල) අධ්‍යක්ෂක, පිළිකා රෝග විශේෂඥ ආචාර්ය ආර්.එස්. ජයතිලක මහතා විසින් සුහානි පරීක්ෂා කළ අතර, BSG මැද මොළයේ (mid brain) සිට මෙඩුල්ලාව (medulla) දක්වා විහිදී සමස්ත මොළ පද්ධතියටම (brainstem) විහිදී ගොස් ඇති බවත් ශල්‍යකර්මයක් සඳහා කිසිදු අවස්ථාවක් නොමැති බවත් සොයා ගත්තේය.

පැමිණිලිකාර නීතිඥ ආසේකුලරත්න මහතා පියෙකු ලෙස ගත හැකි සියලු උත්සහයන් මධ්‍යයේ, වෛද්‍ය සාක්ෂිවලට අනුව එදිනට පසු දින එනම් 1992 ජුනි 19 වන දින ඉතාමත් අවාසනාවන්ත ලෙස BSG රෝගය හෙවත් පිළිකාව නිසා සුහානි දියණිය මෙලොවින් සමු ගත්තාය.

නඩුවේ නඩු නිමිත්ත වූයේ මහාචාර්ය ප්‍රියානි සොයිසා මහත්මිය විසින් වෛද්‍ය නොසැලකිල්ල මත BSG රෝගය හදුනා ගැනීම සදහා කටයුතු නොකිරීමත් මාසයකට ආසන්න කාලයක් වැරදි රෝග විනිශ්චයක් යටතේ ප්‍රතිකාර කිරීමත්, නිවැරදි රෝග විනිශ්චය මුල් අවධියේදී ම හදුනා ගත්තා නම් සුහානි දියණියට ජීවත් වීමේ භාග්‍යක් තිබීමට සම්භාවිතාවයක් තිබූ බවත් ය.

වෛද්‍ය නොසැලකිල්ල (Medical Negligence) යනු රෝගියාගේ රැකවරණ රාජකාරිය උල්ලංඝනය කිරීමකි. යම් ක්‍රියාවක් හෝ අතපසු කිරීමක්/ පැහැර හැරීමක් මඟින් රෝගියෙකුට අලාභයක්, හානියක් හෝ තුවාලයක් සිදු වේනම් එම වෛද්‍යවරයාට විරුද්ධව සිවිල් නඩුවක් ගොනුකර වන්දියක් ලබා ගත හැක. වෛද්‍ය නොසැලකිලිමත්කම ඔප්පු කිරීම සඳහා සංරචක හතරක් අවශ්‍ය වේ. පළමුවෙන්ම, රැකවරණය පිළිබඳ යුතුකමක් තිබිය යුතුය, නැතහොත් වෛද්‍ය -රෝගියා සම්බන්ධතාවය ස්ථාපිත වී තිබිය යුතුය. දෙවනුව, වෛද්‍යවරයා විසින් කරනු ලබන යම් ක්‍රියාවකින් හෝ අතපසු කිරීමේ/පැහැරහැරීමේ ක්‍රියාවකින් රාජකාරිය උල්ලංඝනය විය යුතුය. තෙවනුව, ප්‍රතිඵලය ලෙස අලාභයක් හෝ හානියක් සිදුවිය යුතුය. සිව්වනුව, වඩාත්ම වැදගත් දෙය වන්නේ අලාභය හෝ හානිය සහ කරනු ලබන ක්‍රියාව හෝ අතපසු කිරීමේ ක්‍රියාව/පැහැරහැරීමේ ක්‍රියාව අතර හේතු සහිතව මනා සම්බන්ධතාවයක් තිබිය යුතුය. රෝමානු-ලන්දේසි නීතියට අනුව, වගඋත්තරකරුට එරෙහිව පැමිණිලිකරු විසින් සම්භාවිතා ශේෂයකින් මෙම කරුණු සනාථ කළ යුතුය. නොසැලකිලිමත්කම සම්බන්ධයෙන් හේතු දාමය ඔප්පු කිරීමට පැමිණිලිකරුට හැකි නම් වගඋත්තරකරුගෙන් වන්දි මුදලක් ලබා ගැනීමට ඔහුට අයිතිය තිබේ.

මෙම නඩුවේ දී දිසා අධිකරණයේ පැවැත්වූ නඩු විභාගයකින් අනතුරුව වගඋත්තරකරු වූ මහාචාර්ය ප්‍රියානි සොයිසා මහත්මියට 500,000/- ක වන්දි මුදලක් පැමිණිලි පාර්ශවයට ගෙවන ලෙසට තීන්දු විය.

පහළ අධිකරණයේ සිට ඉහළ අධිකරණ දක්වාම නීතිඥ ආසේකුලරත්න මහතා වෙනුවෙන් ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා පෙනීසිටියේ ය.

පසුව වෛද්‍යතුමිය, ජනාධිපති නීතිඥ එච්.එල්. ද සිල්වා මහතා සහ ජ්‍යෙෂ්ඨ නීතිඥ ආර්.කේ.ඩබ්. ගුණසේකර මාර්ගයෙන් අභියාචනාධිකරණයේ අභියාචනයක් ගොනු කලාය. එහිදී වන්දි මුදල අඩු කර තීන්දුවක් ලබා දුනි. ඉන් පසුවද වෛද්‍යතුමිය තීන්දුව පිළිබද සෑහීමකට පත් නොවී ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනු කල අභියාචනයක් හමුවේ ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරු මඩුල්ල විසින් පහත කරුණු සැලකිල්ලට ගෙන ඇත.

වෛද්‍ය සාක්ෂි වලට අනුව 19/06/1992 සුහානිගේ මරණයට හේතුව BSG (Brain Stem Glioma) බව කිසිදු සැකයක් නැත. නමුත් Rheumatic Chorea සඳහා විත්තිකරු විසින් අප්‍රේල් 18 සිට මැයි 20 දක්වා දින 30 ක් පමණ ප්‍රතිකාර ලබා දී ඇත.

ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවරයා විසින් අධිකරණය පූර්වාරක්ෂක (Judicial precedents) ලෙස නඩු කිහිපයක් අදාළ කරගෙන ප්‍රකාශ කර ඇත්තේ සොබාදහම නිසා මරණය වෙනස් කළ නොහැකි සමහර රෝගී අවස්ථාවලදී (උදා: පිලිකා) වෛද්‍යවරයාගේ නොසැලකිලිමත්කම මරණයට හේතුව නොවන බවයි.

තවද වගඋත්තරකරුගේ ක්‍රියා කලාපය පිළිබඳ පැමිණිලිකරු කියා සිටි කරුණු කිහිපයකදී, ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවරයා පැමිණිලිකරු විසින් 17/08/1992 දින මෙම සිදුවීමට අදාළව අතිගරු ජනාධිපතිතුමාට ලියන ලද ලිපිය පිළිබඳව සොයා බලා එවැනි ප්‍රකාශයන් එහි සදහන් කර නොමැති බව ප්‍රකාශ කර තිබේ.

තවදුරටත් ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවරයා තර්ක කර ඇත්තේ පැමිණිලිකරු විසින් දරුවාගේ ඉතිහාසය වගඋත්තරකරුට සහ ස්නායු රෝග ඒකකයට ලබා දුන්නේද යන්න පරීක්ෂා කිරීම සඳහා පහළ උසාවි කිසිදු විශ්ලේෂණාත්මක පරීක්ෂණයක් කර නොමැති බවයි.

ඉහත සාක්ෂි සහ අනෙකුත් ප්‍රධාන කරුණු සලකා බලා ශ්‍රේෂ්ඨාධිකරණය විසින්, වගඋත්තරකරුට එරෙහිව පැමිණිලිකරු විසින් සම්භාවිතා ශේෂයකින් (Balance of probability) වගඋත්තරකාර වෛද්‍යතුමියගේ ක්‍රියාවන් සහ සුහානිගේ මරණය අතර හේතුමය සම්බන්ධය (Causation) සනාථ කිරීමට අපොහොසත් වී ඇති බවට පවසා වෛද්‍යතුමියගේ අභියාචනයට අවසර දී ඇත. ඇය නඩු කටයුතු සදහා වැය වූ මුදල් වලටද හිමිකම් කියන බවට තීන්දු විය. නමුත් ඇය එම මුදල ප්‍රතික්ෂේප කර ඇත.

✍🏼 නීතිවේදී තිනෙත් කොරසගල්ල

Case Report: https://www.lawnet.gov.lk/2001/12/31/prof-priyani-soyza-v-rienzie-arsecularatne/

Share on Google Plus

About admin

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 Comments :