ads
News
Loading...

වාස්තු විද්‍යාවත් සිනමාවත් යා කළ හදගමගේ සොදුරු කතාබහක්




ලොව ඉතා පැරණිතම ඉතිහාසයකට හිමිකම් කියන අදවනවිට ශ්‍රී ලංකික සමාජය තුලද බහුල වශයෙන්
භාවිතාවන කළා මාධ්‍යක් බවට පත්ව ඇති වාස්තු විද්‍යාව (Architecture) ඔබ හදුනාගන්නේ කෙසේද .?

වාස්තු විද්‍යාව පිලිබඳ න්‍යායාත්මක අවබෝධයක් මට නැහැ .ඒ උනත් ,වාස්තු විද්‍යා භාවිතය පිලිබඳ රසවින්දනාත්මක අවබෝධයක් මට තියනවා කියල මං විශ්වාස කරනවා . මේක විද්‍යාව මුසුවන සෞන්දර්ය භාවිතාවක් .ඒ නිසා මේ පිලිබඳ විශේෂ ඇල්මක් මෙන්ම උනන්දුවක් මා තුල තියනවා .මට මතකයි මං පුංචිකාලේ අනුරාධපුරේ පදිංචිව සිටියා අවරුදු පහක විතර කාලයක්.  තාත්තා වැඩ කලේ ගොඩනැගිළි දෙපාර්තමේන්තුවේ ඉදිකිරීම් වැඩ පරීක්ෂකයකු ලෙස ඔහුගේ අදීක්ෂණය යටතේ ඒ දිනවල අනුරාධපුර එළිමහන් සිර කඳවුරේ ඉදිකිරීම් මෙන්ම දැනට කඩ 50 ,කඩ 20 ආදී නම් වලින් හැදින්වෙන වෙළඳසල් තීරු ඉදිකිරීම් කටයුතුත් කරුණා . අපි පදිංචිව සිටි කුලී නිවස ඇමරිකන් පන්නයේ (American Style )අලුත් නිවසක්.එවකට වඩාත් ප්‍රචලිතව පැවතුනු නිවාස සැලසුම් වර්ගය තමයි මේ ඇමරිකන් නිවෙස් .අනුරාධපුරය කියන්නේ දවාලට ගිනි අව්වේ වියලෙන ,රාත්‍රියට සිතල ගෙනදෙන අව්රුද්දෙ වැඩි කාලයක් වියැලිව පවතින පළාතක් .
මේ නිවාස ඇතුලේ දවල් කාලයට විදුලි පංකාවක් ඇතුවත් ඉන්න බැහැ .ඒ වගේම අවට පරිසරය සිඹගෙන ,වියලි දාහය නවාගෙන හමායන සිහිල් සුළගේ අංශුමාත්‍රයක්වත් මේ නිවාස තුලට ඇතුළු වෙනවා අපට මතක නැහැ .බොහෝවේලාවට  දිවාකාලය අපි ගෙව්වේ ගේ ඉදිරිපිට වවා තිබු ජෑම් ගස් සෙවනේ .දවාලට ඉන්න බැරි තරමට රස්නය වුවත් ,ගේ ඇතුල ඊට වඩා රස්නෙයි .රාත්‍රියේ සීතල වෙනුවට මධ්‍යම  රාත්‍රිය පසුවෙන තුරුත් තිබෙන්නේ දිවා කාලයේ රත්වුණු වාතාශ්‍රයමයි .

තාත්තගේ මිතුරෙකු හිටිය අනුරාධපුරේ ඈත කෘෂිකාර්මික ගමක ඉපදී හැදී වැඩුණු ,ඔවුන් පාරම්පරික ගොවි පවුල් .ඔහු වැඩකලෙත්  ගොඩනැගිලි දෙපර්තමෙන්තුවෙමයි . ඔහු ඉංජිනේරුවරයෙක් .අපි මාස දෙක තුනකට වතාවක් ඒ මහත්තයාගේ ගෙදරට යනවා .ඒ ගෙදර විශාල කටුමැටි ගෙයක් කාමර තුන හතරක් තියනවා .විශාල උස පිදුරු වහල ගේ ඉදිරිපිට එළිපත්ත භාගයක්ම වසාගෙන පහතට විහිදී තියනවා.දිව කාලයේ ගිනි රස්නය .හේනේ කුඹුරේ වැඩකළ නොහැකි තරමට වැඩි වී ගස් සෙවනක් යට හෝ සිසිලක් නොමැති ඉර මුදුන් වූ වෙලාවට මේ ගොවි මහතුන් කරන්නේ තමන්ගේ ගෙදරට එන එක .ඒ නිවාස තුල දැනෙන සුව පහසුව අද වායු සමීකරණය කරන ලද නිවසක සුව පහසුවට වඩා  සුවයක් .ස්වභාවික සිසිලක් .ඉර අවරට ගිහින් හවස් උනහම ආයෙත් හේනට කුඹුරට යනවා .මං හිතන්නේ අපේ පරිසරය ඉර නගින බහින දිසාව ,හුළං ,වැස්ස ,කෘමි ආදී සතුන්ගේ පැමිණීම ,ගේ කුරුල්ලන් වැනි ගෘහ ආශ්‍රිත සතුන්ගේ පැවතුම් ආදී මේ සියල්ල සැලකිල්ලට අරගෙනයි පැරණි ගැමියන් නිවසක් සැලසුම් කලේ .  

ඇමරිකන් පන්නය ආනයනය කල අයටවඩා  වස්තු විද්‍යාව පිළිබද ප්‍රයෝගික දැනුමක් අප පැරන්නන්ට තිබුන කියල මට හිතෙනවා වාස්තු විද්‍යාව පිළිබද මගේ අවබෝධය ,උනන්දුව පටන්ගන්නේ එතනින් .කිසියම් මිත්‍යා විශ්වාස යයි ගෙන අද අප එතරම් නොසලකා හරින ඇතැම් යෝග- අයෝග යෙදීම් පිහිටීම් වල පවා කිසියම් විද්‍යාත්මක පසුබිමක් තියනවා කියලයි මට හැගෙන්නේ .වස්තු විද්‍යා ව්‍යවහාරය සම්බන්ධව හැට හැත්තෑව දශකයට වඩා අපේ වර්තමානය බොහෝ ඉදිරියෙන් ඉන්නවා කියල මට හිතෙනවා .අඩු තරමින් ඒගැන උනන්දුවක් දක්වන බවක් පේනවා .අද සැලසුම් කෙරෙන බොහෝ නිවාස ඉතාමත්  සෞන්දර්යාත්මකයි.ප්‍රායෝගිකයි .වඩාත් වැදගත්ම ලක්ෂණය වාසයට සුදුසු වීමයි .

වස්තු විද්‍යාව ,සිනමාව සහ වේදිකාව අතර ඇත්තේ කිනම් සම්බන්ධතාවක්ද.?

සිනමාව ,වේදිකාව  සහ වාස්තු විද්‍යාව ගත්තොත් මේ තුනටම පොදු සාධකය වන්නේ මේ තුනම කලා මාධ්‍ය  වීමයි.එහෙත් වේදිකාව සහ සිනමාව කියන්නේ (කතෘගේ ආත්ම ප්‍රකාශයක් විය හැකි වුවත් )වෙනත් පිරිසකකට වින්දනය සදහා නිර්මාණය කෙරෙන්නක් .එහෙත් කෙනෙකු නිවසක් සකසා ගන්නේ තමන්ගේ පුද්ගලික වින්දනය සදහායි .වාස්තු විද්‍යාඥයා තම සේවාදායකයාගේ අභිප්‍රායන්ට අනුව ඔහුට (විදීමට හැකි)නිවසක් ,ගොඩනැගිල්ලක්  සැලසුම් කරනවා .කෙනෙකු නිවසක් තනන්නේ සිනමාවක්, වේදිකා නාට්‍යක් මෙන් අනුන්ට නරඹන්නට නෙවෙයි .එහෙත් කෙනෙක් ජිවත්වන නිවාස ඒ නිවැසියා පිළිබද ප්‍රබල ප්‍රකාශනයක් ,ඔහුගේ රුචි අරුචිකම් ,චරිත ලක්ෂණ ,අභිප්‍රාය, රස වින්දනාත්මක වෙනස්කම්පිලිබඳ අවබාධයක් ,කෙනෙකු වෙසෙන නිවසක් දෙස බැලීමෙන් පවා කියන්න පුළුවන් .
උදාහරණයකට බොහෝ නිවෙස්වල බාහිරට පෙනෙන්නට තැනූ විශාල සදළුතල දකින්නට හැකියි .ඒ සදළුතල බොහෝවිට දිශානත වී තිබෙන්නේ ප්‍රධාන පාරට, කිසිදිනක ඒ නිවසේ අය එකී සඳළුතලය භාවිතා කරන්නේ නැහැ .එය තනා ඇත්තේ තමන්ට බැල්කනි සහිත නිවසක් තියන බව කියන්න විතරයි .පැරිස් වගේ නගරයක පැරණි ඓතිහාසික ගොඩනැගිලි සහිත ප්‍රදේශයකට ගියාම එම ගොඩනැගිලි එක්තරා යුගයක කතාන්දරයක් කියනවා .නගරයට එකතුවෙන ලක්ෂ  සංඛ්‍යාත ජනකාය පැරිස් නගරයේ ජිවත් වන්නන්ම නෙවෙයි .ලෝකයේ හතරදික්භාගයෙන්ම පැමිණි නරඹන්නන්ද ඊට ඇතුලත් .මේ ගොඩනැගිලි සමූහයක් ලෙසත් තනි තනිවත් සංකීර්ණ ප්‍රකාශනයක් කරන බවයි මගේ හැගීම .ඒ අතින් වස්තු විද්‍යාවත් සිනමාව වේදිකාව වගේම පැහැදිලිවම ප්‍රකාශන මාධ්‍යයක් .--

චිත්‍රපටයක මෙන්ම වේදිකාව තුලත් පසුතල නිර්මාණයේදී වාස්තු  විද්‍යාව යොදාගන්නේ කෙසේද .?

මම කලින් කිව්වා වගේ කිසියම් ගොඩනැගිල්ලක් හෝ ගොඩනැගිලි සමුහයක් සහිත භූ දර්ශනයක් තුල ප්‍රකාශයක් ගැබ් වෙනවා චිත්‍රපටයක නම් කිසියම් චරිතයක් හෝ රූප  රාමුවක්  සැලසෙන්නේ එවැනි ගොඩනැගිල්ලක් පසුබිම් කරගෙන නම් ඒ හරහා එම රාමුවේ ප්‍රකාශිතය තවත් මානයකට විහිදී යනවා . ඔබට ජැක් නිකල්සන් රඟපාන 'Shining' වගේ චිත්‍රපටයක් මතකනම් ,ස්ටැන්ලි කුබ්රික් ගේ 'Eyes Wide Shut' වගේ චිත්‍රපටයක් මතකනම් ,ඒ චිත්‍රපටවල සිදුවීම් මාලාව ගලාගෙන යන ගොඩනැගිලි වල ආකෘතින් හා සැලැස්ම ඒ දර්ෂණ තලයන්ට එකතුකරන මනෝ භාවය( Mood) ගැන අදහසක් ගන්න පුළුවන් සිනමා කෘතියක ගොඩනැගිල්ලක් යොදාගැනීමේදී රූප රාමුවට එකතුවෙන්නේ ගොඩනැගිල්ල විතරක් නෙවෙයි ,ඒ ගොඩනැගිල්ල හා බැදුණු සම්ප්‍රදායත්,ශිෂ්ඨාචාරයක ඉතිහාසයත්  රාමුවට එකතුවෙනවා .

ඔබගේ නිර්මානතුල පසුතල නිර්මාණය සහ වේශ නිරුපනය කොතරම් දුරට වස්තු විද්‍යාව හා සම්බන්ධද .?
මා ඉහත කිව්  කාරනා නිසාම චිත්‍රපටයක කිසියම් ගොඩනැගිල්ලක් යොදාගැනීමේදී මං ඉතාමත් සැලකිලිමත් වෙනවා . උදාහරණයකට 'මේ මගේ සඳයි' චිත්‍ර පටයේ  එන නිවාස සහිත භුමි භාගය එකම දර්ශන තලයකදී අපට හොයාගන්න බැරි උනා .ඒ නිසා අපට අවශ්‍ය භුමි දර්ශනයක අපි ඒ නිවාස ඉදි කළා ,ඇත්තටම තිබුණු නිවසක් අවශ්‍ය පරිදි කඩා බිඳ නැවත ගොඩනගාගත්ත . සොල්දාදුවාගේ පව්ලේ ජිවිත පසුබිම ,අවිනිශ්චිතකම ,අවදානම ,මරණය ,ජිවිතාපේක්ෂාව කරගත් පව්ලක මරණාපේක්ෂිත හිස්කම මේ ගොඩනැගිල්ල තුල නිරුපිතයි .හැමවිටම රූප රාමුවට ලම්භකවත්,සමාන්තරවත් ,පමණක් පිහිටන මේ ගොඩනැගිල්ල එයට එක්වන විවිධ මිනිස් රුප (චරිත )පසුබිමෙහි  විවිධ මනෝ භාවයන් ජනිත කරන අයුරු ප්‍රේක්ෂකයාට අවබෝධ වෙනවා  ඇති .තනි තටුවෙන් පියාඹන්න චිත්‍රපටයේ දර්ශණ තලය වන්නේ ගාලු කොටුවේ ලන්දේසි යුගයේ ගොඩනැගිලි ,අවශේෂ මිනිස් රූපවලින් තොර හිස් රුපරාමුවල ගොඩනැගිලි අතරින් විහිදී යන මං මාවත්වල හැමවිටම සිටින්නේ අදාළ චරිත පමණයි .චිත්‍රපටයේ කථා තේමාව තුල පිපිරී යන්නේ සම්ප්‍රදායික සමාජ සාරධර්මගත පිරිස් හරහා සිදුකෙරෙනු ආන්තික මිනිස් සබඳතා විලංගුවයි.වික්ටෝරියානු පියුරිටන්( Puritan )  යුගය සංකේතවත් කරන ගොඩනැගිලි පසුබිමෙහි චරිත ,දෙබස් මුහුණදෙන සිදුවීම් හරහා නොකියවෙන ,නොහැඟවෙන බොහෝ දෑ මේ නිහඩ පැරණි ගොඩනැගිලි හරහා කියවෙනවා .

ඔබ 'අක්ෂරය' චිත්‍රපටයේ යොදාගෙන ඇති ගොඩනැගිලි විශේෂිත වූ කාර්ය භාරයක් ඉටු කරනවා නේද.?

'අක්ෂරය'චිත්‍රපටයේ සිදුවීම් ගලායන්නේ එක්තරා ස්ථාන හතරක් කේන්ද්‍රකරගෙනයි .එකක් කේන්ද්‍රීය චරිත (මව ,පිය, පිරිමි ළමයා )ජිවත්වන නිවාස ,20වන සියවසේ මුල් භාගයේ දී ඉංග්‍රීසි ප්‍රභූ පැලැන්තිය ජීවත්වූ නිවසක් .අනෙක ,අගනුවර මුඩුක්කු වාසි ජනතාව වෙනුවෙන් ඉදිකෙරුණ අහස උසට විහිදුනු මහල් නිවාසයක් , තුන්වැන්න කෞතුකාගාර ගොඩනැගිල්ලක ඇතුලත හා පිටත , සිව්වැන්න චිත්‍රපටයේ කතා ප්‍රවෘර්තියට විටින් විට සම්බන්ධවන මායාමය වූ   අබිසාරිකාවගේ මෘත දේහය තබා ඇති අතහැර දැමූ  ගොඩනැගිල්ල සහ ඒ අවට පරිසරය .චිත්‍රපටයේ චරිත එකිනෙකා සමග ගැටෙනවා මෙන්ම මේ ගොඩනැගිලිද සජීවීව චරිතමෙන් එකිනෙකා සමග ගැටෙනවා .සංවාද කරනවා .චිත්‍රපටයේ එන ප්‍රභූ පවුල කොලොනියල් සංකේතීය ශික්ෂණය යටතේ හික්මවුණු එකක් .එහි සමතුලිතතාව චිත්‍රපටය ආරම්භයේ පටන්ම බිඳීගිය එකක්.  නිවසතුල පැතුරුණු අඳුර ,නොදල්වුණු චැණ්ඩලියර් (chandelier) වර්ගයේ විදුලි ලාම්පු,ග්‍රෑන්ඩ් පියානෝව සහිත ආලින්දය විශාල හිස් කාමර මේ චරිතතුල සැඟවුණු ගුඪත්වය තව තවත් තිව්ර කරනවා .අතීත ආඩම්බරයක බිත්ති සහ කුළුණු අතරේ සිර කෙරුණු බිඳුණු ශිෂ්ඨත්වයක තුවාල වුනු අද්‍යාත්මක ප්‍රකාශනය  මේ ගොඩනැගිල්ල පසුබිම් කරගත් චලනය වන චරිත වලින් කියවෙනවා .ඊට වෙනස් කෞතුකාගාර මුරකරුගේ නිවාස ,මහල් නිවාසයේ ඇතුලත්ස් නිවාස සිර කුඩුවක් වගේ .ඉදිරිපස ඇති යකඩ කුරුමගින් එය තවත් ත්‍රිව්ර වෙනවා එහෙත් එහි ඇති එකම ජනේලය විවෘර්ත වුන ගමන් දිස් වන්නේ අසීමිත වූ අහස , ළමයා සංකේතීයව සිරව සිටින්නේ එවැනි කුටියක ,එළියේ අසීමිත නිදහස ,එයට පිවිසිය හැකි එකම ද්වාරය ජනේලයයි.ඒ නිදහස දුශ්‍යමානයක් පමණයි .නිදහස සොයා ජනේලයෙන් පැන්නොත් ළමයට හමුවෙන්නේ (ඔහුට ගෝචර නොවන සමාජය නමැති ගොර බිරම් )ආගාධයයි .
අනෙක් දර්ශන තලය කෞතුකාගාරය.
 කෞතුකාගාරය කියන්නේ, ගල් ගැසුණු ඉතිහාසයක් සිරකර තබන තැන .චිත්‍රපටය අවසානයේ එහි කෙරෙන කුරිරු රංගනය මේ ගල් ගැසුණු ඉතිහාසය කුඩුපට්ටම් කරනවා .සියලු වටිනාකම් කෙළෙසනවා . කෞතුකාගාරය ඇතුලත පරිසරය මුලුමනින්න්ම ගොඩ නැගු එකක් .මායාමය අභිසාරිකාව සැරිසරන අතහැර දැමූ පැරණි ගොඩනැගිල්ල තුල තියෙන්නේ අවතාර ගැවසෙන අවකාශයක් .මේ තුල සත්‍යයත්  මායාවත් අතර සීමාව වටහාගත නොහැකි මිනීමැරුමක් සිදුවෙනවා. .චිත්‍රපටයේ කතා පුවත දිග හරිම සඳහා අවශ්‍ය පිපිරීම සිදුවෙන්නේ මේ ගොඩ නැගිල්ල තුල .එය යතාර්තයත් මයාවත් අතර අවකාශයක් , මේ අනුව අක්ෂරය චිත්‍රපටයේ පසුතලයන්හි හමුවන ගොඩනැගිලි ..කතා කරන ..බවත් ,කතාන්දරයක් කියන්නට හවුල්වන බවත් ඔබට වැටහෙනවා ඇති.

Share on Google Plus

About admin

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 Comments :