ads
News
Loading...

ගම ගාල්ලෙද එහෙනම් පරෙස්සමින්


ඊයෙ දවසෙ ගාල්ල ටවුම වැස්සට හොදටම යටවුන⁣.මෙි හින්දා ගාල්ලෙ මිනිස්සු වගේම එදිනෙදා ගාල්ලට වැඩ කරගන්න එන අයත් ගොඩක් අපහසුතාවයට පත්වුනා.මෙි ඒකට හේතුව සමාජ ජාලාවලක තිබුනු ලිපියක්.

උපුටාගැනීම

ගාල්ල මේ රටේ ප්‍රධාන නගරයක්
ගාල්ලේ මිනිස්සු තමන්ගේ නගරය ගැන අභිමානයෙන් කතා කරනවා.
මහ මුහුද ආසන්නයේ ස්වභාවික වරායක් සහිතව පිහිටි ගාල්ල බයිබලයේ සඳහන් ධන ධාන්‍යයෙන් ආඪ්‍ය වූ ටාර්ෂිස් නගරය විය හැකියැයි බොහෝ දෙනාගේ විශ්වාසයක් ද පවතිනවා.
ගාල්ලේ පිහිටීම නිසාම අතීතයේ පමණක් නොවෙයි අද දක්වාම ලෝකය පුරාම ප්‍රසිද්ධ තොටමුණක් වුණේ ගාල්ල.
ඒ නිසාම ගාල්ල ලෝකයේ ම ප්‍රසිද්ධයි.
ගාල්ලට උරුම වූ දේවල් බොහොමයි.
ඒ සමගම ගාල්ලට පොඩ්ඩක් වැස්සත් යටවන පාරවල් පද්ධතියකුත් උරුමවෙලා තියෙනවා.
අද ඒක නැවත වතාවක් සනාථ වුණා.
අපි පුංචි කාලේ වැස්ස දවසට මහින්දේ ඉදලා ගෙදර ගියේ පයින්. ඉන දක්වා පිරුණු මහා සැඩ වතුර පාරක. ඒ වක්වැල්ල පාර දිගේ.
දැන් දශක කිහිපයක් ගතවෙලත් මේ තත්ත්වයේ වෙනසක් නැහැ.
අද ගාල්ල නගරයේ මුහුදට ආසන්නයෙන් ම තිබෙන සංකේතයක් බඳු පළතුරු වෙළෙඳ සැළ වටෙත් ජලයෙන් යටවුණා.
වක්වැල්ල පාර, දංගෙදර පාර, බද්දේගම පාර, මාපලගම මාර්ගය, අම්බලන්වත්ත පාර, හිරිඹුර හරස්පාර, බෙලිගහ හන්දිය, කහදූවවත්ත හැමතැනම වතුරෙන් යටවෙද්දී
බස් නැවතුම් පොළ ඉස්සරහා ගාමිණී මාවතේ ඔරු පදින්න පුළුවන් තරමටම වතුර පිරිලා තිබුණා.
අපි ඇල පාර කියලා ව්‍යවහාර කරන හැව්ලොක් පාරත් කැපූ ඇලත් දිස්වුණේ එකම ගංගාවක් විදියට.
ඇයි ගාල්ලට මෙහෙම වෙන්නේ.
සුද්දා පාලනය කරපු වසර 400කට වැඩි කාලයකින් පස්සේ අපේ කට්ටිය අවුරුදු 72ක් රට පාලනය කළා.
නමුත් තාමත් ගාල්ලේ පාරවල් යටවෙන එක වළක්වන්න අපිට බැරි වුණා.
ඇයි මෙහෙම වෙන්නේ.
ගාල්ලේ භූවිෂමතාව ගැන පරිසරය ගැන පරිසරයේ වෙනස්කම් ගැන නිතර අවබෝධයෙන් සහ අවධානයෙන් ඉන්න කෙනෙක් හැටියට මට කියන්න ලොකු කතාවක් තියෙනවා. මේක ඇතැම් අයට නීරස දෙයක් වේවි. ඇතැම් අයට බොහොම සතුටුදායක දෙයක් වේවි. නමුත් අපි මේ ගැන කතිකාවක් ඇතිකළ යුතුයි. ඇතැම් විට මම වැරදි ඇති.
ගාල්ල නගරය පිහිටා තිබෙන්නේ මදක් මුහුදු මට්ටමට වඩා පහළින්. ඒ නිසා ගාල්ල නගරයේ ජලය මුහුදට ස්වභාවිකව ගලා යන්නේ නැහැ. ඒක තමයි ප්‍රධානම හේතුව.
කළුවැල්ල පහුකරලා මහමෝදර පැත්තට යනවිට අපිට පුංචි නැග්මක් සහිත කන්දක් හමුවෙනවා. වක්වැල්ල පාර දංගෙදර පාර ඔස්සේ රට ඇතුලට යන විට පුංචි උසක් තියෙනවා. මාතර පැත්තටත් මුහුදට සමාන්තරව දිවෙන මාතර කන්ද නමින් පැරණි ව්‍යවහාරයේ තියෙන කුඩා කඳුවැටියක් තියෙනවා. ඉතින් ගාල්ල නගරය බේසමක් වගේ.
පැරණි සිතියම් අනුව වර්තමාන ගාල්ල බස්නැවතුම වටා ප්‍රදේශයේ සිට කොටුව දක්වාම ප්‍රදේශය තනිකර මඩ වගුරක්. මඩ වගුරක් කියන්නේ වැසි ජලය හොඳින් සංචිත කරන තැනක්.
සුද්දාගේ කාලේ මේ ප‍්‍රදේශය ගොඩකරලා. ඒ නිසා ජූල් ගහ පැත්තේ ඉඳලා, මිනුවන්ගොඩ, බිංගේ කන්ද පැත්තේ ඉඳලා එන වතුර පිරුණු මඩ වගුරට දැන් වතුර පිරෙන්න විදියක් නැහැ. ඒවා එකතු වෙනවා.
වර්තමාන වක්වැල්ල පාර තිබෙන ප්‍රදේශය ඔස්සේ තමයි කුඹල්වැල්ල පැත්තේ ඉඳලා ආපු ඇළ මාර්ගයත් ඒ වටා සැකසී තිබුණු වගුරු ප්‍රදේශය තිබුණේ. ඒ ඇල මාර්ගය මුහුදට ගලා බැස්සේ සමනල පාලම අසළින්. අදත් ඒ වගේමයි. නමුත් ඇල දෙපැත්තේ තිබූ මඩ වගුරු ප්‍රදේශය ගොඩකරලා නිවාස හදලා. සංඝමිත්ත විද්‍යාලයේ පිට්ටනිය කුඹුරක් හෝ වගුරු ප්‍රදේශයක්. මේවායේ එකතුවෙච්චි වතුර තාමත් වැස්සට ඒ ප්‍රදේශයට එකතුවෙනවා. ඉතින් ඒවා එකතුවෙන්නේ මහ පාරට. වතුර බැහැලා යන්න විදියක් නැහැ.
නගරයේ තියෙන ඩික්සන් කන්දේ වතුර එකතුවෙන්නේ එක බෑවුමක් ඔස්සේ කෙලින්ම නගරයට, අනෙක් බෑවුමෙන් පෙට්ටිගලවත්ත ප්‍රදේශයට, නගරයට එකතුවෙන බැසයන්න තිබූ මාර්ග සියල්ල වසා දමා ඉදිකිරීම් කරලා. ඒ විතරක් නෙවෙයි වෙනදා වගේ වතුර පොළාවට උරාගන්නේ නැහැ. හැමතැනම කොන්ක්‍රීට් හා තාර කාපට් නිසා. කෙලින්ම වතුර කාණු දිගේ එනවා මේ දැවැන්ත ජල කඳ බහින්නේ නැහැ.
නගරයට එකතුවෙන වතුර බැසයන්න වත්මන් මාළු වෙළඳ සැළ අසළින් මුහුදට ගලා ගියපු පැරණි ඇළ මාර්ගයක් තිබුණා. දැන් තියෙන්නේ එහි නෂ්ඨාවශේෂ විතරයි. ඇළ මාර්ගය නැහැ. ඒ ඇළ තිබුණානම් මේ ප්‍රශ්නය මේ තරම් ඔඩු දුවන්නේ නැහැ. පහුගිය කාලේ නගර සභාවෙන් මුහුද අසළ ඇළේ කොටසනම් සකස් කළා. නමුත් මුල මැද නැතිව අග කොටස හදලා වැඩක් නැහැ.
පෙට්ටිගල වත්තට එකතුවෙන වතුර බැහැලා යන්න තමයි මෝඩ් කියන සුද්දා පෙට්ටිගලවත්ත හරහා ගල් අතුරපු ඇල මාර්ගයක් සකස් කළේ. ඒ ඇල මාර්ගයේ එන වතුර මොරගොඩ ඇලට දාන්න පොම්පාගාරයක් මාගාල්ලේ තිබුණා. අදටත් ගොඩනැගිල්ල තිබුණත් පොම්පාගාරය වැඩ කරන්නේ නැහැ. ඒ නිසා ඒ වතුර බැස යන්නෙත් නැහැ. අද (20) නගර සභාවෙන් කඩි මුඩියේ මේ ඇලේ පාලමේ හිරවුණු රොඩු බොඩු ඉවත් කළා. නමුත් ඒක ප්‍රමාණවත් නැහැ.
තවත් ප්‍රශ්න ගොඩක් තිබෙනවා. ඒවා අපේ මිනිස්සු නිර්මාණය කරපු ප්‍රශ්න. අපේ ගෙදර ඉදලා ගාල්ලට එද්දී තිබුණු කුඹුරු යායවල් ගොඩක් අද දක්නට නැහැ. ඒවා ගොඩකරලා නිවාස සහ ව්‍යාපාරික ස්ථාන හදලා. මට මතකයි හපුගල හන්දියේ කුඹුරු යාය. හපුගල හන්දියට පෙර සහ පසු ඒවා ගොඩකරලා. ඇටඹගහ හන්දියේ අක්කර ගණනක් ගොඩකරලා අවසන්, ඊට පස්සේ කලේගානට පෙර තිබූ ප්‍රදේශය අපි පොඩි කාලේම ගොඩකළා. ජූල් ගහ හන්දියේ කුඹුර ගොකළා.
ඒ විතරක් ද කහදූවවත්තේ සිට බෙලිගහ පසුකර දංගෙදර දක්වාම මොරගොඩ ඇල දෙපස තිබූ පහත් බිම් අද දක්නට නැහැ. ඒ තැන් ගොඩකරලා. ඉතින් වතුර ගලා යන්නේ කොහෙට ද ? පාරවල්වල වතුර එකතුවීම අහන්නත් දෙයක් ද ? මේවාට චෝදනා කරන්නේ පාලකයන්ට විතර ද ? එහෙම කරාම ප්‍රමාණවත් ද ?
දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවට සෑම වතාවකම ඉදිරිපත්වන යෝජනා කිහිපයක් තිබෙනවා. ඒ පුරන්වූ කුඹුරු වෙනත් වගාවන් සඳහා යොදා ගැනීමට අවසර ඉල්ලීම්. මේ මොනවටද යොදා ගන්නේ. කියන්නේ නම් එළවළු හා පොල් වගාවට කියලා. එහෙම අවසර අරගෙන කුඹුරු ගොඩකරලා ගෙවල් හදනවා. ඉතින් පොඩි වැස්සකට නගරය යටවෙනවා.
පහුගිය කාලේ ගාල්ලේ ගංවතුර වළක්වන්න ව්‍යාපෘතියක් ආරම්භ කළා. මොරගොඩ ඇල සංවර්ධන ව්‍යාපෘතිය. මේ ව්‍යාපෘතිය ආරම්භ කළේ 2010 – 2015 රජයෙන්. පළාත් සභාව සමග එකතුවෙලා කෝටි ගණක් මුදල් වැය කරලා ඇතිකරපු ව්‍යාපෘතියේ අපේක්ෂාව මොකක්ද කියලා මම නම් දන්නේ නැහැ. ඒ අයට අවශ්‍ය වුණේ මොරගොඩ ඇල දෙපැත්තේ බැමි බැඳලා ඇල සුද්ද කරලා ගංවතුර නවත්වන්න.
නමුත් මම මේ ව්‍යාපෘති වාර්තාව දැක්කා. ඒ වාර්තාව අනුව ගාල්ල නගරයේ වැසි ජලය පිරීම වළක්වන්න බැහැ. ඒ කියන්නේ තවමත් ගාල්ල නගරයට එකතුවන වැසි ජලය ඉක්මණින් මුහුදට යැවීමට කිසිදු වැඩපිළිවෙලක් නැහැ.
අද ගාල්ල නගරය විතරක් නෙවෙයි ගාල්ලේ පැරණි නගරය වූ කොටුව ඇතුළෙත් උසාවිය ඉදිරිපිට ප්‍රදේශය වතුරෙන් යටවුණා. පැරණි නගර සභා ශාලාව වූ වත්මන් මහේස්ත්‍රාත් අධිකරණයට පවා ජලය දැම්මා. අධිකරණ කටයුතුවලටත් බාධා එල්ලවුණා. අපි හිතාගෙන හිටියා ඕලන්ද කාරයන් කොටුවේ ඇතිකරල තිබෙන අභ්‍යන්තර කාණු පද්ධතිය නිසා කවදාවත් ගාල්ල කොටුවේ වැසි ජලය එකතුවෙන එකක් නැහැ කියලා. නමුත් ඒ ගැනත් දැන් අලුතෙන් හිතන්න වෙලා.
‍මේ සෑම දෙයකටම වගකිව යුතු වන්නේ අක්‍රමවත් ලෙස ඉදිකිරීම් සිදුකරන්න අවසර දෙන පාලකයන් සහ පහත් බිම් ගොඩකරමින් තමන්ගේ ඉදිකිරීම් කරන අපේම මිනිස්සු.
මතක තියාගන්න.
ගංවතුර කියන්නේ ගඟක් පිටාර ගැලීමෙන් ජලය පැමිණීම. ගාල්ලේ සිදුවෙන්නේ එහෙම දෙයක් නෙවෙයි.
ගාල්ලේ සිදුවෙන්නේ වැස්ස නිසා එකතුවන ජලය හරිහැටි බැස නොයාම.
දක්ෂ සැළසුම් කරුවන් ඉන්නවානම්, ඒ සඳහා පිළියම් සෙවිය යුතුයි. තවත් සති දෙක තුනකින් මේ ප්‍රශ්නය අමතක කරලා දාන්නේ නැතිව අපි මේ වෙලාවෙවත් ගාල්ලේ වතුර බැස යන්න විධිමත් වැඩපිළිවෙලක් සකස් කරන්න කතිවාතක් ඇතිකරමු.
අපි ඒ සඳහා පෙරමුණ ගනිමු. අනවසර ගොඩකිරීම් දුටු තැන නීතිය ක්‍රියාත්මක කරන්න පාලකයන්ට බල කරමු.
මේ සටහන සංවාදයට විවෘතයි.



උසාවිය අසළ ඡායාරූපය
Samantha Udugampola

ලියමන
Sajeewa Wijeweera

Share on Google Plus

About admin

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 Comments :