ads
News
Loading...

විශ්ව සාහිත්‍යය නිර්මාණ වෙත ගෙනෙන ආශිර්වාද ප්‍රකාශකයන්ගෙන් හෙළිදරව්වක්



මේක වසර 20ක මහන්සියේ අස්වැන්න...

ආශිර්වාද තරග කරන්නේ ආශිර්වාද සමගමයි....




විශ්ව සාහිත්‍ය නිර්මාණ ඔබ වෙත ගෙන එන ආශිර්වාද ප්‍රකාශයන් ගැන ක්ෂේත්‍රයේ බොහෝ දෙනා කතාබහ කරන්න පටන් අරගෙන තියෙනව.ඉතින් ගොසිප්ලන්තය අපි එම සමාගමෙි හිමිකාරිනිය හා අධ්‍යක්ෂකවරිය වන මෙලනි අමරතුංග සුන්දර කකාබහකට එක්කරගත්තේ මෙලෙසින්

ආශිර්වාද මෙි දවස්වල සාහිත්‍ය මාසය වෙනුවෙන් ලොකු සූදානමක?

ඔව්, අපි සෑම වසරක ම මෙන් ම මේ වසරේ දී ත් තිබෙන බාධක සියල්ල ම සමගින් ප්‍රදර්ශනය සදහා සූදානම් වෙනවා. නමුත් එය පැවැත්වෙන දිනය තවම තීරණයකට එළඹිලා නෑ.


මෙවර ආශිර්වාද ප්‍රකාශකයන් සුවිශේෂී පොත් ගණනාවක් ඉදිරිපත් කරනවා

ඔව්, මම හිතන්නේ කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය ඉලක්ක කරගෙන පමණක් ම නොවේ. වසර පුරා ම අප විසින් ප්‍රකාශයට පත් කරන්නේ සුවිශේෂී පොත්. පාඨකයින් බොහෝ ආසාවෙන් බලාගෙන සිටින පොත් ඔවුන්ට ලබා දීම තමයි අපේ අරමුණ. විශ්ව සාහිත්‍යයේ අග්‍රස්ථානයේ තිබෙන පොත් වාගේ ම නවතම, ජනප්‍රිය ම කෘති සිංහලයට පරිවර්තනය කර ප්‍රකාශයට පත් කිරීම අප විසින් සිදුකරනවා.
ඒවායිනුත් හොඳම ටික කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය ඉලක්ක කරගෙන ප්‍රකාශයට පත් කෙරෙනවා.

විශ්ව සම්භාවනීය කෘති කියවීමට දැන් පාඨකයා හට තිබෙන උනන්දුව ගැනත් කියමු

ඔව්, ප්‍රකාශයන්ගේ එකමුතුවෙන් පිහිටුවාගන්නා ලද ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය විසින් සංවිධානය කරන ලද ප්‍රදර්ශන හේතුවෙන් ජනතාව අතර පොත් කියවීමේ ප්‍රවනතාව වැඩි වී තිබෙනවා. ඒ වාගේ ම යොවුන් පරපුර සාහිත්‍යය කෙරෙහි ඇති නැඹුරුවත් ඒ හේතුවෙන් ම ධනාත්මක ලෙස වැඩි වී තිබෙනවා. එම වැඩි වීමට සමගාමීව පාඨකයන්ගේ රුචිකත්වයේත් උසස්වීමක් සිදුවී තිබෙනවා. එනිසා ඔවුන් දැන් සොයන්නේ හොඳම දේ. ඒ නිසා යන්තම් යමක් ප්‍රකාශයට පත් කළාට ඒවා කෙරෙහි ඇදී යන පාඨක පිරිස දැන් අඩුයි. දැන් සිටින පාඨකයා බුද්ධිමත්, උසස් රසවින්දනයකින් යුතුයි. ඒ නිසා ඔවුන් සොයන්නේ විශ්ව සම්භාවනාවට පත් කෘති. ඒ වාගේ ම පර්යේෂණාත්මකව ලියැවෙන අලුත් කෘති සඳහා ද හොඳ ප්‍රතිචාරයක් තිබෙනවා.


ත්‍රිත්ව කෘති වශයෙන් වන පොතපත ගැනත මෙවර කතාබහක් තියෙනව.

ඔව්, ඒක ඇත්තටම අපට ලොකු සතුටට කරුණක්. පරිවර්තක වාගේ ම අපගේ මුද්‍රණාල සේවක මඩුල්ලත් ප්‍රකාශන අංශයත් ඒ සඳහා කළ කැපවීම අපමණයි. නමුත් උසස් ම නිමාවකින් මෙන් ම අලංකාර පරිවර්තනයක් පාඨකයා අතට පත් කිරීමට හැකි වීම අපගේ භාග්‍යයක්. ඒ සඳහා වෙහෙස මහන්සි වූ සියලු දෙනාටම ස්තුති කිරීමට මම මෙය අවස්ථාවක් කර ගන්නවා. ඒ වාගේ ම ඒ ආකාරයේ කතා මාලාවන් කීපයකට ම අප මේ වන විට අතගසා තිබෙනවා. ඒ අතරිනුත් චන්ද්‍ර පුරාවෘත කතා මාලවේ පොත් 5කින් දැනට එක් පොතක් පිටවී අවසන්, තවත් පොත් තුනක් පරිවර්තනය කර අවසන්, දැනට මුද්‍රණයට ප්‍රමාද ඒවායේ සංස්කරණ සහ සෝදුපත් බැලීමේ කටයුතු කෙරෙමින් පවතින නිසයි. ශිව ත්‍රිත්වයට අමතරව අමිෂ් ත්‍රිපති මහතා විසින් රචිත රාම්චන්ද්‍ර කතා මාලාවේත් දැනට ප්‍රකාශිත පොත් තුන පරිවර්තන කටයුතු කෙරෙමින් පවතිනවා.

පාඨකයා වෙත පිරිනමන පොත්වල නිමැවුම ගැනත් ආශිර්වාද ප්‍රමිතිගතව හැඩගැහීම ගැනත් ක්ෂේත්‍රයේ ලොකු කතාබහක් තියෙනව

ආශිර්වාද තරග කරන්නේ ආශිර්වාද සමගමයි. අද කරන පොතට වඩා හොඳ පොතක් හෙට දෙන්න අපි වෙර දරනවා. එය අන්තර්ගතය වගේ ම නිමාවටත් අදාලයි. පරිවර්තනය සඳහා පොතපත තෝරාගැනීමේ දී මෙන් ම එය පරිවර්තනය කරන පරිවර්තක ද පොතේ කවරය, නිම වූ පසු පොතේ ආරක්‍ෂාව ද ගැන ද සැලකිලිමත් වෙනවා. ඒ වාගේ ම පොත් ප්‍රවාහනය හා බෙදාහැරීම ද දිනෙන් දින කාර්යාක්‍ෂම කිරීමට පියවර ගැනෙනවා. අන්තර්ගතය මෙන් ම නිමාව උසස් යයි පාඨකයාගෙන් ලැබෙන සහතිකය තමයි අපගේ ජයග්‍රහනයේ මාවත වෙන්නේ.

සාර්ථකත්වය කියන්නෙ මෑතක වෙච්ච මහන්සියක් නෙවෙි.මෙලනි හා චාමින් ගේ මුල් කාලෙ කරපු දේ දැන් ආශිර්වාදයක් වුනු හැටි?

ඔව්, මේක වසර 20ක මහන්සියේ අස්වැන්න. සාර්ථක මෙන් ම අසාර්ථක වූ අවස්ථා එමටයි. අසාර්ථක වූ සෑම අවස්ථාවක ම අපහට එයින් උගත හැකි බොහෝ පාඩම් වූවා. අප විසින් ගන්නා වැරදි තීරණ අවම කර ගැනීමටත්, හොඳ ම දේ තෝරා ගැනීමට ඇති ඉවත්, නාස්තිය ශ-ුන්‍යය කිරීමේ ඉලක්කයත් නිසා මේ තරම් දුර එන්නට අප හට හැකියාව ලැබුණා. අප කරගෙන ආ බොහෝ දේවල් අපි අත්හැරියා. එයට හේතුව ඒවායින් අප බලාපොරොත්තු වූ ප්‍රතිඵල නොලැබීමයි. අපි ඒවා මත්තේ ම එල්ලීගෙන සිටියා නම් මේ ගමන එන්නට වෙන්නේ නෑ. ඒවා ගසාබසා දාලා අලුත් දෙයක් කිරීමට අප දෙදෙනාට ම ඕනෑම අවස්ථාවක හැකියාව තිබෙනවා. ඒක අතීතයෙත් සිදුවුනා අනාගතයේදීත් සිදු වෙනවා. අපි මුලින් ම පරිගනක ආශ්‍රිත ප්‍රකාශන එළිදැක්වූවා. මාසික සඟරාවක් වසර පහක කාලයක් කළා. පරිගනක උපකාරක පන්ති පැවැත්වූවා. ඒවා ඒ දිනවල පළාතේ තිබුණ හොඳම පන්ති වුනා. දැනටත් අපගේ සිසු සිසුවියන් දහස් ගණනක් දෙස් විදෙස් හි පරිගනක ආශ්‍රිත රැකියාවල නියුතුව සිටිනවා. නමුත් ඒවා පසුව පැමිණි පරිගනක පාසල් රැල්ලත් සමග අප නවතා දමනවා. මාසික සඟරාවත් එහෙමයි. ඒ වාගේ ම ෆලෝ මී මාසික ඉංග්‍රීසි සඟරාවට ලිපි සැපයීම ද අප විසින් සිදුකළා. නමුත් ඒවාත් කාලයත් සමග නවතා දැමුවා. දැන් උනත් ප්‍රකාශන ක්ෂේත්‍රයෙන් ඉවත් වී හේනක් කොටාගෙන ඉන්න හිතුනොත් ඒකත් කරන්න බැරිකමක් නෑ. මොකද දෙන්නම කෘෂි ඩිප්ලෝමාධෘරින්. හැබැයි කොයි වැඬේ පටන් ගත්තත් ඒකෙන් අපටත්, රටටත් යහපතක් තමයි කරන්න බලාපොරොත්තු වෙන්නේ.


ඔබෙි දරුවන් ද ලේඛනය හා සම්බන්ධයෙන් තියෙන ඇල්ම කොයිවගේද

මට පුතාලා දෙන්නෙක් සහ දුවලා දෙන්නෙක් ඉන්නවා. ලොකු පුතා ආශිර්වාද පරිගනක හා මෘදුකාංග සම්බන්ධයෙන් තමයි උනන්දු. ඒ වාගේ ම මුද්‍රණ කර්මාන්තය පිළිබඳවත් ඔහුට සාමාන්‍ය දැනීමක් තිබෙනවා. එයත් හොඳ පාඨකයෙක්, නමුත් ඔහු දැනට ප්‍රකාශන ක්ෂේත්‍රයට එතරම් සම්බන්ධ නැහැ. නමුත් ව්‍යාපාර කටයුතුවලට හැකි සෑම විටම සහාය වෙනවා. මගේ දුවලා දෙන්නා දැනට පොත් කීපයක චිත්‍ර නිර්මාණයට දායක වී තිබෙනවා. ඒ වාගේ ම චූටි දුව හිරණ්‍යදා විජේරත්න පොතක් පරිවර්තනය කර ප්‍රකාශයට පත් කර තිබෙනවා. ලොකු දුව පින්සරා පරිවර්තනයට වගේ ම ඉංග්‍රීසි මාධ්‍යයෙන් ලිවීමටත් උනන්දුයි. චූටි පුතා ආර්යන් චිත්‍ර ශිල්පය සඳහා විශේෂ හැකියාවක් දක්වනවා. නමුත් ඔහුගේ නිර්මාන මේ වන විට ප්‍රකාශන සඳහා යොදාගෙන නැහැ. හතර දෙනා ම පොත් කියවන්න නම් කැමතියි. ඒක එයාලා පොඩිකාලේ ඉඳලා ම පවත්වාගෙන ආ පුරුද්දක්. ඔවුන් මොන මොන ක්ෂේත්‍ර තෝරා ගනී දැයි දැන් ම කියන්න බැහැ. ඒ වාගේ ම අපි දෙන්නා ඒ කිසිම කෙනෙක් ට අරක කරන්න මේක කරන්න කියලා බලපෑම් කරන්නේ නෑ. ඔවුන්ට රුචි දේ ඔවුන් කරාවි. අපි කරන්නේ ඔවුන්ට රුචි දේ කිරීම අවශ්‍ය පරිසරය සකසා දීම පමණයි.

පාඨකයන්ට අන්තර්ජාලය හරහා ආශිර්වාද ප්‍රකාශන මිලට ගන්න හැකි ආකාරය
Grantha.lk, bookmark, book rack, viyath books, වගේ ම සරසවි පොත්හලෙන් පවත්වාගෙන යන සයිට් එකෙන් වගේ ම කප්රුක වැනි ආයතන හරහා ද පොත් මිල දී ගන්න පුළුවන්. මේ ආයතන වසර ගණනාවක් පුරා අපගේ පොත් අන්තර්ජාලය හරහා විකිණීම සිදුකරනවා. ඒ වාගේ ම දැනටත් ඔවුන් එය ඉතාමත් සාර්ථකව අපගේ පොත් විකිණීම සිදු කරනවා. ඒ සම්බන්ධයෙන් ඒ සෑම සියලු දෙනාට ම අපගේ ස්තූතිය මේ අවස්ථෘවේ පුදකර සිටිනවා. මෑතක සිට අප ආයතනය මගින් ද අන්තර්ජාලය හරහා පොත් විකිණීම ආරම්භ කර තිබෙනවා. එය හැකි තරම් කාර්යක්‍ෂම කරගෙන යාමට අප හැකි සෑම විටම කටයුතු කරනවා.
අපගේ වෙව් පේජය ඇත්තේ ashirwadabooks.com නමින්






Share on Google Plus

About admin

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 Comments :