ads
News
Loading...

විවාහය ගැන හිතලවත් නෑ

         

ගිය වසරේ ජනප්‍රියම ටෙලි තරුව ලෙස කිරුළු පැලඳීමෙන් ඉක්බිතිව නයෝමි තක්ෂිලාගේ හෙට දවස පිළිබඳ විමසිලිමත් වූ රසික රසිකාවියන්ට ඇය කදිම පිළිතුරක් දී තිබෙනවා. ඒ තමයි රන්තිලිවැවෙහි මුතුමැණිකා. මුතුමැණිකා නිසා නයෝමිගේ ජනප්‍රියත්වය තවත් ඉහළ යමින් තිබෙන මේ කාලයේ නයෝමි මුතුමැණිකා හා තමා අතර ඇති පෑහීම් හා නොපෑහීම් ගැන කිව්වෙ මෙහෙමයි.

නයෝමි මුතුමැණිකා ගැන හිතන්නෙ කොහොමද?

රන්තිලිවැවේ මුතුමැණිකා කියන චරිතය මට ලැබුණ එක මම හිතන්නේ ජීවිතයේ ලැබුණ වාසනාවක් කියලා. මොකද මට ලැබුණ අනිත් චරිතත් එක්ක වෙනස්ම වැඩක් මේක. මෙගා නාට්‍යයකුත් නෙවෙයි. ප්‍රවීණයො පිරිසක් මාත් එක්ක රඟපාන්න හිටියා. ඒ නිසා රන්තිලිවැව රූගත කිරීම් කරන අවස්ථාවෙම මට තේරුණා මේකට හොඳ ප්‍රතිචාර ලැබෙන නිර්මාණයක් වෙයි කියලා.

මුතුමැණිකා වැනි ගැමි පරිසරය හා ගැමි ලිය නිරූපණය නයෝමිට පහසුයිද?

මගේ ගම අනුරාධපුරය නෙල්ලිකුලම. අපේ ගමේ වැඩියෙන් ඉන්නේ ගොවිතැන ජීවිකාව කරගත් ගැමියො. පොඩිකාලෙ ඉඳන්ම අම්මලගේ ගොවිතැන් වැඩට මම උදව් කළා. ඇළේ දොළේ වැවේ අපි සෙල්ලම් කළා. මට ලැබුණ බොහෝ චරිත ප්‍රතිනිර්මාණය කිරීමට මට ඒ හුරුව පිටුබලයක් වුණා. හැබැයි රන්තිලිවැවේ වගේ ඔරු පැදලා නම් ඒ තරම් පුරුද්දක් නැහැ.

ජනප්‍රිය නිළිය වුණහම නයෝමිට වෙනස් වෙන්න වුණාද?

පුද්ගලිකව මම කියන කෙනාගේ ගතිගුණවල නම් වෙනසක් වුණේ නැහැ. අපේ ගෙදරින් එහෙම ටිකක් සැලකිල්ල වැඩි වුණා තමයි.

රංගනයටත් ජනප්‍රියත්වයේ සම්මානය බලපෑවද?

ලොකු වෙනසක් වුණේ නැහැ. නමුත් වෙනසක් නැත්තෙත් නැහැ. ඊට පස්සෙ ගොඩක් වැඩ ආවා. ඒත් මගේ කාල වේලාව මදිකම නිසා ඒ වැඩ ලොකුවට භාරගන්න බැරිවුණා.

මෙලෙස ඉටු වුණේ මේ ගමනේ ප්‍රධාන බලාපොරොත්තුවක්ද?

මේ ක්ෂේත්‍රයට එද්දි ජනප්‍රිය නිළිය වෙන්න පොඩි ආසාවක් තිබ්බා. ඒත් වැඩිම ආසාව තිබුණේ හොඳම නිළිය වෙන්නයි. ඒ බලාපොරොත්තුව තවම තියෙනවා.

මුතුමැණිකා ඒ පැතුම ඉටුකරයි කියා හිතනවද?

එහෙම නම් හිතන්නෙ නැහැ. මොකද මම තවම ආව විතරයිනේ. රංගනයෙන් සියයට එකයි මම තවම ඉගෙනගෙන තියෙන්නේ. මට වඩා ප්‍රවීණ අය තව ඉන්නවනේ.

නයෝමිට නිර්මාණ හා චරිතවල වර්ගීකරණයක් තියෙනවද?

මට මොන විදිහේ චරිතයක් ලැබුණත් මම ඒක ගැන හොයල බලනවා. නිකං නමට දෙබස් ටික කියල එන එක නම් කරන්නේ නැහැ. මම සල්ලිවලට විතරක්ම රඟපාන කෙනෙක් නෙ​ෙවයි. මට හැම චරිතයක්ම වැදගත්. අනික නිර්මාණයක හොඳ, ඉහළ පහළ දාන්න එහි රඟපාන නළු නිළියන්ට පුළුවන්. අපි රඟපාන විදිහ ඒකට බලපානවා.

ගම හා නගරය අත්වින්ද ඔබට අනුව ජීවත් වෙන්න වඩා අමාරු තැන ගමද නගරයද?

ඇත්තට කටුක නගරයේ ජීවත් වෙද්දි හොඳ සූක්ෂම මොළයක් තියෙන්න ඕනෑ. ගමේ ජීවිතය මට පහසුයි. ගමට ගියහම ඒක තමන්ගෙ තැන කියන එක දැනෙනවා.

නයෝමිට ගමේ ගෙවුණ කාලය සරලයි සෞම්‍යයිද?

අපේ පවුල ගමේ ඉතාම සාමාන්‍ය විදිහට ජීවත් වුණ පවුලක්. අපිට ලොකුවට ආර්ථික දුෂ්කරතා හෝ වෙනත් ගැටලු තිබුණෙ නැහැ. මුලින්ම ගමේ ඉස්කොලෙට ගියා. පස්සෙ උසස් පෙළ කරන්න අනුරාධපුර ස්වර්ණමාලි බාලිකාවට ඇතුළත් වුණා. පස්සෙ කොළඹ ඇවිත් අධ්‍යාපනයයි රංගනයයි පටන් ගත්ත කාලෙ දුෂ්කරතා තිබුණා.

නයෝමි තවම කොළඹ ගෙවන්නේ බෝඩිම් දිවියමද?

මම මගේ ලොකු අම්මා එක්කයි කොළඹ ඉන්නේ.

ගමට ඇවිත් අම්මගේ තාත්තගේ ගොවිතැන් වැඩවලට උදව් වෙන්න තවමත් නයෝමිට පුළුවන්ද?

කොච්චර වැඩ තිබුණත් නෙල්ලිකුළම මගේ ගමට එන්න මම කාලය හොයාගන්නවා. අපේ අම්මයි තාත්තයි ගොවිතැන් කරපු අය වුණාට දැන්නම් ගොවිතැන් කරනවා අඩුයි.

අනාගතයේ නයෝමිට ස්ථිර නවාතැන හැදෙන්නෙ ගමේද නගරයෙද?

ඒක තවම තීරණය වෙලා නැහැ.

ඉදිරි කාලයේ ඉටුකර ගන්න හිතත පැතුම් මොනවද?

මම ළඟදිම ගුරු වෘත්තියට යන්න අදහස් කරගෙන ඉන්නවා. නමුත් කලාවට පුංචි කාලෙ ඉඳන් ආසාවක් තිබුණා​. ඒ නිසා මම මේක නතර කරන්නේ නැහැ.

විවාහයටත් සූදානම් වෙමින්ද ඉන්නෙ?

ඒ ගැන හිතලා නැහැ. මං හිතනවා ඒක තව දුරටත් හිතලා බුද්ධිමත්ව ගන්න ඕන තීරණයක් කියලා.

නයෝමි දැන් පෙම්වතියක්ද?

නැහැ.

රටේ වගේම ගමේත් නයෝමි ජනප්‍රියයි කියන්නෙ ඇත්තද?

එදා ඉඳන්ම ගමේ අය මට ගොඩක් ආදරෙයි. ජනප්‍රිය වෙන්න, වෙන්න ඒ ආදරය එදාටත් වඩා අද ලැබෙනවා. ඉස්සර ගමේ ඉස්කෝලෙ පන්සලේ කෙරෙන හැම වැඩකටම මම සහභාගි වුණා. නැටුම්, නාට්‍ය, භක්ති ගීත පෙරහර ඔය හැම සමාජ කටයුත්කදිම මම හිටියා. ඒ නිසා ගමේ අය මට ගොඩක් ආදරෙයි.

ඉහළ යන ජනප්‍රියත්වය නිසා දේශපාලනයට එන්න ඇරයුමක් ලැබුණොත්?

එවැනි ඇරයුමක් භාරගන්න අදහසක් නැහැ. මොකද දේශපාලනයට එන්න මගේ කිසිම බලාපොරොත්තුවක් නැති නිසා.

නයෝමි විශේෂ බලාපොරොත්තු තබා සිටින ඉදිරි නිර්මාණ මොනවද?

සිනමා නිර්මාණ දෙකක රඟපාලා තියෙනවා. කොරෝනා නිසා මේ නිර්මාණ ප්‍රදර්ශනය කල්ගියා. ඒ අතර අගෝස්තු 10 ඉඳන් තවත් චිත්‍රපටයක වැඩ කරන්න ඉන්නේ. ඒ වගේම රන්තිලිවැව, නීලපබළු රූගතකිරීම් යෙදිලා තියෙනවා.

ධම්මිකා සුරංජි පතිරණ

Share on Google Plus

About admin

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 Comments :