ads
News
Loading...

චෙක් ගනුදෙනු බලාගෙනයි



අද අප සමාජයේ බොහෝ දෙනා රැකියාවක හෝ ව්‍යාපාරයක නියැලී සිටිති. රැකියාවක් සොයාගැනීමට නොහැකි නම් හෝ තමන් කරගෙන රැකියාව පිළිබඳ තෘප්තිමත් නොවන බොහෝ දෙනා ව්‍යාපාරයක් කිරීමට අත ගසති. එයිනුත් වැඩි දෙනා කරනුයේ කඩ සාප්පුවක් දමා ගැනීමයි. සිල්ලර කඩයක්, පොත් සාප්පුවක්, රෙදි සාප්පුවක් ආදී ලෙස විවිධ කඩ කෙරුවාව දැන් අතීතයේ තිබුණාට වඩා වැඩි වැඩියෙන් කෙරෙයි. පාර දිගේ තිබෙන එළවළු කඩ ගණන ගතහොත් ඒවායෙන් බඩු මිල දී ගැනීමට එතරම් පාරිභෝගිකයන් සිටී දැයි සැකයක් පවා ඇති වේ. මේ ආකාරයට හතු පිපෙන්නාක් මෙන් කඩ විවෘත වීමට මීට දශක තුන හතරකට පෙර තිබුණේ නැත. ඒ කාලයේ එවැනි කඩයක්, සාප්පුවක් විවෘත කිරීම සඳහා බොහෝ මිල මුදල් අවශ්‍ය විය. කඩ කාමරයක් ගැනීමට, අවශ්‍ය රාක්ක සහ වෙනත් උපකරණ මිල දී ගැනීමට, කඩයේ විකිණීමට අවශ්‍ය භාණ්ඩ ගැනීමට මුදල් අත තිබිය යුතු විය. ඒ සඳහා උරුමයෙන් ලැබුණු මුදලක් හෝ රැකියාවක් කර හරි හම්බ කර ඉතිරි කරගත් මුදලක් ආයෝජනය කිරීම සිදු විය. එසේ මූල ධනයක් නොමැති නම් ඒ කාලයේ එවන් ව්‍යාපාරයක් ඇරඹීම සිහිනයක් පමණක් විය. නමුත් දැන් තත්වය සපුරාම වෙනස් වී ඇත. ණයට බඩු දෙන්නට ඕනෑ තරම් ආයතන සූදානම් ය. ජංගම ගිණුමක් විවෘත කිරීමෙන් පසු චෙක් පොත අතට ලැබුණු වහා කඩ හිමියා දිගට හරහට බඩු මිල දී ගෙන මාස කීපයක් ඉදිරියට දින දමා චෙක්පතක් නිකුත් කරයි. ව්‍යාපාරය අරඹා මාසයක් දෙකක් යන විට කඩයෙන් මුදල් ලැබෙද්දී ඒවා පවුලේ එදිනෙදා වැඩවලට මෙන් ම මුදල් අත ගැවසීම හේතුවෙන් විනෝද ගමන් යෑම, සාද පැවැත්වීම ආදී මෙකී නොකී කාරනා සඳහා ඒවා වියදම් කරයි. මාස කීපයක් ඉක්ම යත් ම දෙන ලද චෙක්පත් සඳහා මුදල් බැංකුවට දැමීමට කඩහිමියා අපොහොසත් වේ. එවිට චෙක්පත අගරු වන අතර, අගරු චෙක්පත රැගෙන අලෙවි නියෝජිතයා කඩයට ආ පසු තවත් ඉදිරියට සති කීපයක් දින දමා චෙක්පතක් දෙන්නේ කිසිම අසීරුවකින් තොරවය. නමුත් මේ ආකාරයට චෙක් පත් දිගින් දිගටම අගරු වීම හේතුවෙන් කඩයට භාණ්ඩ හා සේවා සැපයීමට සැපයුම්කරුවෝ කැමති නොවෙති. ඊළඟට වෙන්නේ කඩය වසා දැමීමයි. මේ ආකාරයට මාස තුන හතරේ බිස්නස් හැම තැනකම දකින්නට ලැබේ. මේ මාසයේ දකින නාම පුවරුව තවත් හය මසකින් දැකිය නොහැකිය. එතන වෙනත් අයෙක් තවත් ව්‍යාපාරයක් අරඹා ඇත. මෙය මේ ආකාරයට මාරුවෙන් මාරුවට සිදු වේ. සැපයුම්කරුට අගරු චෙක්පත් සඳහා මුදල් අය කර ගැනීමට නීතියේ පිහිට පැතීමට සිදුවේ. නමුත් එවැනි දේ සඳහා සැපයුම් කරුවන් හට කාලය ගත කරන්නට නොමැති හේතුව නිසා සහ නීතියෙන් ඔවුන්ට සහනයක් නොලැබෙන කල ඒවා බොල් ණය ගිනුමට බැර වෙන අතර බොල් ණය වැඩි වෙත් ම සැපයුම්කරුවන්ගේ ව්‍යාපාරය බංකොලොත් වේ. ණයට බඩු නොදෙන ආයතනවලින් බඩු ගැනීම ප්‍රතික්‍ෂේප කරන බැවින් සැපයුම්කරුවන් සියල්ලෝම ණයට දීමට සැදී පැහැදී සිටිය යුතුය.
ලංකාවේ මෑතකදී ඇති වූ ව්‍යාපාරික රැල්ල හේතුවෙන් ඉහලින් ම බැට කන්නේ ව්‍යවසායකයින් ය. අත්පිට මුදලට සිදුවන ගනුදෙනු කාලයත් සමග බොහෝ සේ අඩු වී ඇත. එසේ ම චෙක්පත් අගරුවීම සම්බන්ධයෙන් දැඩි නීති නොමැති වීම හේතුවෙන් චෙක් පතක් අගරු වීම සාමාන්‍යකරනය වී ඇත. මෙයින් විශාලම හානිය වන්නේ ව්‍යවසායකයින්ට බැවින් මේ තත්වය වෙනස් කිරීමට කාලය පැමිණ ඇත. බැංකු සමග හොඳින් ගනුදෙනු කරන ව්‍යාපාරිකයන්ගේ චෙක්පත් ගිනුමේ මුදල් නැතිව වුවද ශාඛා කලමනාකරුගේ වගකීමෙන් එම චෙක්පත් සඳහා මුදල් ගෙවීම සිදු කරන අවස්ථා ඕනෑ තරම් ඇත. බැංකුව සමග විශ්වාසවන්තව කටයුතු කරන්නේ නම් හදිසි අවස්ථාවකදී අදාල ගිනුමේ මුදල් නොතිබුණත් චෙක්පතක් අගරු වන්නේ නැත. නමුත් විශ්වාසවන්ත නොවන ගනුදෙනුකරුවන් සඳහා බැංකු කළමනාකරුවන් අවදානමක් ගන්නේ නැත. එසේ හෙයින් සිදුවන ගනුදෙනු සියල්ලක් ම දෙන්නන් සල්ලිවලට නැතුව අත්පිට මුදලට සිදුකරන්නේ නම් හතුපිපෙන්නාක් මෙන් ඇති වී නැතිව යන ව්‍යාපාර යම් කිසි පාලනයකට නතු වන අතර ම සැපයුම්කරුවන් අපහසුතාවට පත්වෙන්නේ ද නැත. ව්‍යවසායකයින් සහ සේවා සහ භාණ්ඩ සපයන ආයතන බොහෝ විට බංකොලොත් වන්නේ ඉහත කී ආකාරයේ ව්‍යාපාරිකයන් නිසාය. එසේ ම බොහෝ කඩසාප්පුවල (95%) අත්පිට මුදලට පමණක් භාණ්ඩ විකුණන නිසා ඔවුන්ට හට භාණ්ඩ විකිණීමෙන් පසු මුදල් අතට ලැබෙන අතර ම ඔවුන් එම මුදල් හරිහැටි කලමනාකරණය නොකර වගකීම් විරහිතව වියදම් කිරීම හේතුවෙන් ගනුදෙනු හරියාකාරව කර ගැනීමට අපොහොසත් වේ.
එම හේතු නිසා පුද්ගලයාගේ පසුබිම හොඳින් සොයා බැලීමෙන් පසු ජංගම ගිනුමක් විවෘත කිරීමටත්, චෙක් පොත් නිකුත් කිරීමෙන් පසු මුදල් පරිහරනය පිළිබඳ ඔවුන්ට දේශනාවක් දී ව්‍යාපාරයෙන් අතට ලැබෙන මුළු මුදල ලාභය නොවන බවත් ලාභය වන්නේ සියලු බිල්පත් සඳහා මුදල් ගෙවීමෙන් පසු ඉතිරිවෙන මුදල බවත් ඔවුන්ට වටහා දීම කළ යුතුය. එසේ නොවුනහොත් සෝබනයට ජීවත් වන වැඩි පිරිසක් සහ බංකොළොත් වූ ව්‍යවසායකන් පිරිසක් රටට ඉතිරිවෙනු ඇත.
මේ ආකාරයට චෙක්පත් අගරු කරමින් මුදල් නොගෙවා පැහැර හරින ගිනුම් හිමියන් සඳහා දැඩි නීති ක්‍රියාත්මක කරන්නට අපගේ ජනාධිපතිතුමනි ඔබගේ අවධානය යොමු කරන්න.
Share on Google Plus

About admin

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 Comments :