ads
News
Loading...

අලුත් වුන දෝන කැමරා නීති මෙන්න


මේ දවස් වල මගෙන් හැමෝම අහන පොදු ප්‍රශ්ණයකට තමා මේ උත්තර දෙන්න හදන්නෙ. ඒ ශ්‍රී ලංකාවේ ඩ්‍රෝන් සම්බන්ද නීති සහ ඩ්‍රෝන් යැවීම තහනම් කර ඇති ප්‍රදේශ ගැනයි.

මම මේ ගැන ලොකු අධ්‍යනයක් කරල තමා මේ ලිපිය ලියන්නෙ.

ඉස්සෙල්ලම මම කියන්නම් රටේ උතුරු පළාතේ සිට දකුණු පළාත දක්වා ඩ්‍රෝන් යැවීම දැඩි ලෙස තහනම් කර ඇති ප්‍රදේශ.

01. යාපනය ගුවන්තොටුපළ සහ ඒ අවට කිලෝමීටර් 8ක් දක්වා වපසරියක පිහිටි ගුවන් කළාපය. මෙහි කන්කසන්තුරේ, චූනාක්කම්, අච්චුවේලි, තෙලිප්පලායි, මනිපායි ආදී ප්‍රදේශ දක්වා අඩි 500ක් වන තුරු ගුවන් මෙහෙයුම් සිදිවිය හැකි බැවින් ඩ්‍රෝන් යැවීම සීමා කර ඇත.

02. වව්නියාව ගුවන්තොටුපළ හා ඒ අවට කිලෝමීටර් 8ක් දක්වා ගුවන් කළාපය. මෙහිදී මාමඩුව, සාස්ත්‍රීකුලම්, ඖසදපිටිය, කාට්කුලම්, ඇටඹස්කඩ ආදී ප්‍රදේශ දක්වා අඩි 500ක් වනතුරු ගුවන් මෙහෙයුම් සිදුවිය හැකි බැවින් ඩ්‍රෝන් යැවීම සීමා කර ඇත.

03. ත්‍රීකුණාමලය ප්‍රදේශයේ චයිනා බේ ගුවන්තොටුපළ, ත්‍රීකුණාමලය වරාය සහ ඒ දක්වා කිලෝමීටර් 8ක් දක්වා වූ ගුවන් කළාපය. මෙහි එක් කොනකින් ඇලස් ගාර්ඩන්, කන්නියා, තාමරවිල්ලු හා ඒ සීමාව ඉක්මවූ කළාප වල අඩි 500 දක්වා ගුවන් මෙහෙයුම් සිදුවිය හැකි බැවින් ඩ්‍රොන් යැවීම සීමා කර ඇත.

04.අනුරාධපුර ගුවන්තොටුපළ සහ ඒ අවට කීලොමීටර් 8ක් දක්වා ගුවන් කළාපය. මෙහි දේවානම්පියතිස්සපුර, පොතනේගම, ශ්‍රාවස්තිපුර, තුරුවිල, නාච්චදූව, ගල්කුලම, තිරප්පනේ, මිහින්තලයේ දක්වා ප්‍රදේශ වල ඩ්‍රෝන් යැවීම සීමා කර ඇත.

05. නොරොච්චෝලේ සිට, පුත්තලම දක්වා ගුවන් සීමා අඩි 500ක් විය හැකි බවත් ඒ නිසා එක් කොනකින් නොරොච්චෝලෙද අනෙක් කොනේ පුත්තලමද, අනෙක් කොනේ විල්පත්තු උද්‍යානය දක්වා කොටසක්ද ඩ්‍රෝන් යැවීම සීමා කර ඇත. ( වනෝද්‍යාන වල ඩ්‍රෝන් යැවීම සපුරා තහනම්ය, ඒ ගැන මන් වෙනම පහතින් ලියන්නම්).

06. දඹුල්ල සී ප්ලේන් බේස් එක සහ සීගිරිය ගුවන්තොටුපළ නිසා ඒ අවට කිලෝමීටර් 8ක් දක්වා ගුවන් කලාපය. මීට අමතර දඹුල්ලෙන් කණ්ඩලම නැගෙනහිර, නාරංගස්වැව, බුලනාවැව, තල්කිරියාගම, මොරගොල්ලෑව, යක්කුරුගල දක්වා ප්‍රදේශ ඩ්‍රෝන් යැවීම සීමා කර ඇත. සීගිරියෙන් කණ්ඩලම, මින්නේරියේ වනෝද්‍යානය, හබරණ, පලුගස්වැව, බෙල්ලන්කඩවල දක්වා ප්‍රදේශ වල ඩ්‍රෝන් යැවීම සීමා කර ඇත.

07. හිඟුරක්ගොඩ ගුවන්තොටුපල හා ඒ අවට කිලෝමීටර් 8ක් ගුවන් සීමාව. මීට අමතරව ඒ අවට රජ ඇල, ගිරිතලේ, පුලතිසිගම, විහාරගම, මහ කිරිමැටිය, කැනල් 14, කදුරුවෙල, අංගමැඩිල්ල ජාතික වනෝද්‍යානය දක්වා ප්‍රදේශයේ ඩ්‍රෝන් යැවීම සීමා කර ඇත.

08. පාසිකුඩා හෙලිකොප්ටර් අංගනය නිසා එහි සිට කිලෝමීටර් 8ක් දක්වා වූ ප්‍රදේශය. මීට අමතරව වාලච්චේනේ ප්‍රදේශය හා ඒ අවට කළපුව මෙන්ම මුහුදු සීමාවෙන් යම් ප්‍රදේශයක ඩ්‍රෝන් යැවීම සීමා කර ඇත.

09. මඩකළපුව ගුවන්තොටුපළ සහ ඒ අවට කිලෝමීටර් 8ක් දක්වා ප්‍රදේශය. මීට අමතරව කාත්තන්කුඩි, බෆලෝ අයිලන්ඩ් සහ ඒ අවට මුහුදු ප්‍රදේශයෙන් යම් සීමාවක් ඩ්‍රෝන් සඳහා සීමා කර ඇත.

10. නුවර ලෝක නාගරික කලාපයක් නිසා නුවර නගරයද, නුවර පොල්ගොල්ල සී ප්ලේන් බේස් එක නිසා ඒ හා ඒ අවට කිලෝමීටර් 8ක් දක්වා ප්‍රදේශය. මෙහි පන්ගොල්ලමඩ, මක්කානිගම, මැණික් හින්න, පල්ලෙකැලේ, හන්තාන රේන්ජ් එක, ගන්නෝරුව සහ බරිගම දක්වා ඩ්‍රෝන් යැවීම සීමා කර ඇත.

11. වික්ටොරියා සී ප්ලේන් බේස් එක නිසා ඒ හා ඒ අවට කිලෝමීටර් 8ක් දක්වා ගුවන් සීමාව. මීට අමතරව හරගම, කිරිවනමඩිත්ත, හඟුරන්කෙත, බඹරබැද්ද, මීරියගොල්ල, තෙල්දෙණිය දක්වා සීමාවක ඩ්‍රෝන් යැවීම සීමා කර ඇත.

12. අම්පාර ගුවන්තොටුපළ හා කොණ්ඩවත්තවාන සී ප්ලේන් බේස් එක හා ඒ අවට කිලෝමීටර් 8ක ගුවන් සීමාව. මීට අමතරව බොක්කෙබැද්ද, ගල් ඔය ජාතික උද්‍යානය, හිඟුරාන, රුහුණුගම හා අම්පාර නගරයේ යම් ප්‍රදේශයක් ඩ්‍රෝන් සඳහා සීමා කර ඇත.

13. කටුනායක, ශ්‍රී ලංකාවේ ඉතා වැදගත් ගුවන් සීමාවක් වන්නේ මෙයයි. මෙහි වපසරිය ඉතා ඈත ප්‍රදේශයකට යයි. මෙහි ප්‍රධාන ලෙස කටුනායක, සීදුව, මීගමුව හා කොච්චිකඩේ අතර වාරණ සීමාවක් ඇති අතර ඩ්‍රෝන් සීමා කෙරූ ප්‍රදේශ වන්නේ එක් කොනකින් වේයන්ගොඩ දක්වා ප්‍රදේශය, අනෙක් කොනේ නාත්තන්ඩිය දක්වා ප්‍රදේශය, තවත් කොණකින් කුරුණෑගල දිස්ත්‍රික්කයේ කටුපොත දක්වා ප්‍රදේශය, සහ වත්තලින් කොළඹ දක්වා සීමාව මේ සඳහා අදාල වේ.

තවද රත්මලාන ගුවන්තොටුපළ සහ කටුනායක ගුවන්තොටුපළ අතර නිතර ගුවන් මගි සම්බන්දතා ඇති නිසා මීගොඩ, බණ්ඩාරගම සහ වාද්දුව වන තුරු මෙම ඩ්‍රෝන් සීමාව පිහිටයි. මෙහිදී මෙම ප්‍රධාන ගුවන්තොටුපළවල් දෙක නිසා කොළඹ ප්‍රදේශය සඳහාම මෙම ඩ්‍රෝන් සීමා පැනව ඇත. මම කොළඹ ගැන වෙනම පහතින් කතා කරන්නම්.

14. ආරුගම්බේ සී ප්ලේන් බේස් එක නිසා එම බේස් එකේ සිට කිලෝමීටර් අටක් දක්වා ප්‍රදේශය. මීට අමතරව එක් කොනකින් සෙන්ගමුව ප්‍රදේශයද, අනෙක් කොනෙක් පානම ආසන්නයද ඩ්‍රෝන් සඳහා සීමා පනව ඇත. මෙහි අනෙක් කොන වන්නේ මුහුදු සීමාවයි.

15. දියතලාව හා ඒ අවට ගුවන් සීමාව නිසා එක් කොනකින් බණ්ඩාරවෙල දක්වා, අනෙක් කොනින් එරබැද්ද ෆොරස්ට් එක දක්වාත් තවත් කොනකින් අලුත්වෙල දක්වාත් ඩ්‍රෝන් සඳහා සීමා කර ඇත.

16. කළුතර කටුකුරුන්ද ගුවන්තොටුපළ නිසා එම ගුවන්තොටුපළ සහ බෙන්තොට සී ප්ලේන් බේස් එක හා ඒ අවට කිලෝමීටර් 8ක ගුවන් සීමාව. මීට අමතරව එක් කොනකින් ඉඳුරුව, අනෙක් කොනින් අලුත්ගම යම් ප්‍රදේශයක්, සහ ඉහල කොනෙන් පොතුපිටිය දක්වා සීමාවක් සඳහා ඩ්‍රෝන් යැවීම සීමා කර ඇත.

17. මත්තල රාජපක්ෂ ගුවන්තොටුපළ, වීරවිල ගුවන්තොටුපළ හා ඒ අවට කිලෝමීටර් 8ක ගුවන් සීමාව. මීට අමතරව ඩ්‍රෝන් සීමා කර ඇති ප්‍රදේශ වන්නේ. එක් කොනකින් සූරියවැව, අනෙක් කොනින් හම්බන්තොට නගරය, අනෙක් කොනින් යාල පලටුපාන දක්වා ප්‍රදේශය, අනෙක් කොන් වලින් වැඩිහිටි කන්ද සහ තණමල්විලයි.

18. තංගල්ල ප්‍රදේශයේ මාවැල්ල සී ප්ලේන් බේස් එක නිසා ඒ අවට කිලෝමීටර් 8ක ගුවන් කලාපය. මීට අමතරව එක් කොනකින් කුඩාවැල්ල, අනෙක් කොනින් රැකව, අනෙක් කොනින් බැඳිගම, අනෙක් කොනින් කඹුස්සවෙල දක්වා ගුවන් සීමාවේ ඩ්‍රෝන් යැවීම සීමා කර ඇත.

19. ගාල්ල කොග්ගල ගුවන්තොටුපළ හා ඒ අවට කිලෝමීටර් 8ක් දක්වා ප්‍රදේශය. මෙහි එක් කොනකින් මිදිගම, අනෙක් කොනින් කෝදාගොඩ, උණවටුන ආසන්න ප්‍රදේශය සහ මුහුදු සීමාවෙන් යම් කොටසක් ඩ්‍රෝන් සඳහා සීමා කර ඇත.

හරි මන් මේ කිවුවේ ඩ්‍රෝන් සඳහා සීමා පනව ඇති ලංකාවේ නොයෙක් ප්‍රදේශ සහ ස්ථාන ගැනයි. මේවා ගුවන් ගමන් නිසා ප්‍රධාන වශයෙන් සීමා පනව ඇති තැන් මීට වඩා ශ්‍රී ලංකාවේ නොයෙක් ස්ථාන තියනව ඩ්‍රෝන් සඳහා වාරණය කරපු. මන් දැන් කියන්නම් අපිට බලපාන පොදු නීති කීපයක් ගැන.

01. විශාල පිරිසක් සිටින ස්ථානයක් උඩින් ඩ්‍රෝන් පියාසැරිය තහනම්.

02. හිරු උදාවට පෙර සහ හිරු බැස යාමෙන් පසු ඩ්‍රෝන් යැවීම තහනම්.

03. අනෙක් අයගේ පුද්ගලිකත්වයට හානි කිරීම තහනම්.

04. රාජ්‍ය ආයතන, හමුදා කෑම්ප්, පුරාවිද්‍යා ස්ථාන, කමියුනිකේශන් ටවර්, විදුලි කම්බි, අධිවේගී මාර්ග, ජාතික වනෝද්‍යාන, රේල් මාර්ග, ආගමික ස්ථාන උඩින් ඩ්‍රෝන් පියාසැරිය තහනම්.

05. නාගරික කලාප තුළ අධික වේගවත්ව ඩ්‍රෝන් පියාසැරිය තහනම්.

ශ්‍රී ලංකාවේ තවත් ප්‍රදේශ තියනව මානුශීය කාරණා උදෙසා ඩ්‍රෝන් යැවීම වාරණය කරපු උදා-: සීගිරිය, ආරුක්කු නවයේ පාලම වැනි. ගොඩක් වෙලාවට ඒවා දෙන්නෙ නැත්තෙ ඩ්‍රෝන් සද්දෙට බඹරු ඇවිස්සෙන නිසා. ඒත් අදාල ආයතන වල අවසරයක් ඇතුව ගුවන් සීමාව වෙනස් කරල මේව වල දර්ශන ගන්න පුලුවන් වෙයි.

මන් මේ උඩ කියපු ඕනිම දෙයක් සිවිල් ගුවන් සේවා අධිකාරියේ, ආරක්ෂක අමාත්‍යාංශයෙන් සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ පූර්ණ අවසරය මත සහ පුරාවිද්‍යා ස්ථානයක්නම් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ, වනජීවී කලාපයක්නම් වනජීවී දෙපාර්තමේන්තුවේ අවසරයක් ඇතුව අවශ්‍ය කාරණය මත ඔවුන්ගේ උපදෙස් අනුව කරගන්න පුලුවන්.

සෑම ඩ්‍රෝන් හිමිකරුවෙක්ම සිවිල් ගුවන් සේවා අධිකාරියේ කාණ්ඩ 4 ට යටත් වෙන අතර එහි තමන්ට අයිති කාණ්ඩය ඔස්සේ ලියාපදිංචි කරගැනීම අනිවාර්යයි.

A type – 25Kg වැඩි යානා
B type – 1Kg ත් 25Kg ත් අතර යානා
C type – 200g ත් 1Kg ත් අතර යානා
D type – 200g අඩු යානා

A type

මේ කාණ්ඩයේ ඩ්‍රෝන් වෙනත් රටවල භාවිතා කරනු ලබන්නේ කෘෂිකාර්මික කටයුතු සඳහාය. දියර කෘමිනාෂක බෙහෙත් වර්ග ඉසිමට යොදාගනු ලබයි. B type ඩ්‍රෝන් යානාවක් සිවිල් ගුවන් සේවා අධිකාරියේ ලියාපදිංචි කරන ආකාරයෙන්ම මේ කාණ්ඩයේ ඩ්‍රෝන් ලියා පදිංචිය මෙන් ම භාවිතා කරන්නාද ලියාපදිංචි විය යුතුය.

B type
1Kg ත් 25Kg ත් අතර මෙම කාණ්ඩයට Prosumer කාණ්ඩයේ සියලූම ඩ්‍රෝන් යානා අයත් වනවා ඇත. මේ වර්ගයේ සියලූම ඩ්‍රෝන් වල කැමරාවක් අන්නර් ගතවන අතර. ඒ නිසාම සිවිල් ගුවන් සේවා අධිකාරියේ ඩ්‍රෝන් යානාව ලියාපදිංචි කිරිම මෙන්ම. එය හසුරුවන පුද්ගලයාද ලියා පදිංචි වීම අනිවාර්ය වේ.

C type
මෙම කාණ්ඩයේ ඩ්‍රෝන් වල ද කැමරාවක් අන්තර් ගත නොවේ නම් සිවිල් ගුවන් සේවා අධිකාරියෙන් භාවිතයේදි අවසර අවශ්‍ය නොවන අතර සිවිල් ගුවන් සේවා අධිකාරිය මගින් සහතික කරනු ලැබු අලෙවි නියෝජිතයෙකු මාර්ගයෙන් එම අලෙවි නියෝජිතයෙකු නිර්දේශ කරනු ලබන නිර්ණායකයන් මත භාවිතා කළ හැකිය. නමුත් කැමරාවක් අන්තර් ගත නම් ඔබ අනිවාර්යෙන්ම සිවිල් ගුවන් සේවා අධිකාරිය‍ෙහි ඩ්‍රෝන් යානය මෙන්ම, එය හසුරුවන පුද්ගලයාද ලියාපදිංචි විය යුතුය.

D type
මෙම කාණ්ඩයෙව් ඩ්‍රෝන් යානා අයත් වන්නේ විනෝදාස්වාදය උදෙසා පදවන ඩ්‍රෝන් ලෙසය එහෙත් මෙහි කැමරාවක් ඇත්නම් සිවිල් ගුවන් සේවා අධිකාරියේ ලියාපදිංචි වීම අනිවාර්ය වේ. නුදුරු අනාගතයේදි බරින් අඩු එහෙත් අදටටත් වඩා පහසුකම් ඇති ඩ්‍රෝන් යානා වෙළඳපළට ඒමට ඇති ඉඩ නිසා මෙම නීතිය අනාගතයේදී යාවත්කාලීන වීමට වැඩි ඉඩක් ඇත.

මීට අමතරව ඩ්‍රෝන් යානව ගුවන් ගත කිරීමට පෙර ප්‍රොපලර්ස් නිවරදිද, බැටරි ප්‍රමාණය සහ වෙනත් Errors තිබෙනවාදැයි පරික්ෂා කල යුතුයි. නියමුවන් දෙදෙනෙකු එක් තැනක සිට එක වර ඩ්‍රෝන් දෙකක් ගුවන් ගත කිරීම තහනම් අතර සෑමවිටම තම ඩ්‍රෝන් යානය තමාගේ ඇසට පේන දුරින් ක්‍රියා කල යුතුයි.

* තමන් සතුව ඇති ඩ්‍රෝන් යානය පිළිබඳව මනා දැනුමක් තිබිය යුතුයි.

* මීට අමතරව ඩ්‍රෝන් එක හසුරවන පුද්ගලයා මනා සෞඛ්‍ය හා ශාරීරික වශයෙන් පිරිපුන් අයෙක් විය යුතුයි.

* ඩ්‍රෝන් යානය පදවන අවස්ථාවේ මධ්‍යසාර වැනි දෙයක් නොගෙන සිටිය යුතුයි.

මීට අමතරව Drone යානය Insurance කර තිබිය යුතුයි. ඒ ඩ්‍රෝන් යානයට අනතුරක් වූවහොත් එය පියවා ගැනීමට නොව ඩ්‍රෝන් යානයෙන් පුද්ගලයෙකුට හෝ දේපළකට හානියක් සිදු වූවොත් එය පියවීටය.

ඩ්‍රෝන් එක අපි කොහේ හරි යවන්න කලින් සිවිල් ගුවන් සේවා අධිකාරියෙන් අවසර ගත්තම අපිට දෙනව නීති ටිකක් ඒ අනුව කටයුතු කරහම කිසි ගැටලුවක් නෑ. අපි CAA එකෙන් අවසර අරන් අදාල තැනට ගියහම ඒ තැනින් Drone එක යවන්න නොදුන්න අවස්ථාත් තියනව. ඒව වලදි සද්ද නැතුව එනව ඇරෙන්න වෙන කරන්න දෙයක් නෑ.

ඩ්‍රෝන් නීති කඩකරන ඕනිම අයෙක්ව "2010 අංක 10 දරණ සිවිල් ගුවන් සේවා පනතේ 103 වන වගන්තියට අනුව එය පිළිපැදීමට අපොහොසත් වන ඕනිම පුද්ගලයෙක්ව දඩයකට යටත් කිරීමට හෝ සිරදඬුවමකට යටත් කිරීමට අධිකරණයට හැක"

සටහන - තිළිණ කළුතොටගේ 😊
Thilina Kaluthotage Photography 📷


Share on Google Plus

About admin

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 Comments :