ads
News
Loading...

මනෝගෙ සාහිත ලොව කුරුලු ඇසින්...


මම පොත් මාසෙට දාන පොස්ට් වලදි හැරුණම තාත්තගෙ නම විකුණල කිසි වැඩක් කරල හෝ ඒ පහනින් එළිය බලන්න ගිහින් නෑ.

හිතුමතේට පොත් ලියල මිනිස්සු බණිද්දි අඩුගානෙ ඇහුම්කන් දෙන්න ඕනි. 
      
       සාහිත්‍ය  ලොව පරිවර්තනය සදහා නම් දරාපු සේනාරත්න වීරසිංහ මහතාගෙ පුත්‍ර රත්නය මනෝරම වීරසිංහ වෙනස් විදිහෙ පොතක් ලියල.ඉතින් එයා පොත ගැන කතා කරත්දි තවත්  කතා එලියට ආවා.


  මනෝරම කියන්නේ කාලයක් රචකයෙක්ට වඩා විචාරකයෙක් මම හරිද?
ඔය වචනෙ ටිකක් බර වැඩියි. මොකද මම රචකයෙක් විදියට තමයි ඉන්නෙ. පාසල් කාලෙ ඉදන්ම එක එක දේවල් ලිව්වා. ලිවිල්ල වෙනස් වුණේ 2006-2007 ෆේස්බුක් ආවාත් එක්කයි.  අද විචාරකයො කියන්නෙ යමක් කරන්න බැරි කරන හැමදේම හෙළා දකින අමුතු ජන කොට්ඨාසයක් කියන එක. නමුත් සැබෑ විචාරකයෙක් බොහෝ දේ කියවිය යුතුයි. බොහෝ ඇසූ පිරූතැන් තිබිය යුතුයි. එක සාහිත්‍ය කලා වන්ට සීමාවෙලා බැහැ. දේශපාලනය-ආර්ථිකය-ආගම වගේ සියල්ලම දැනගන්න ඕනි. මට ඒ තත්ත්වෙට එන්න තවත් කලක් යාවි. මොකද මට තේරෙනව මම තාම මදි කියල. හැබැයි ලියන එක පුලුවන් විදියට කරනව. පත්තර වලට ඉදිරියෙ මොනව හෝ ලියාවි. මොකද මට මුලින් පාර හදපු රංජිත් කුමාර සමරකෝන්ගෙ දැඩි ඉල්ලීමක් තියෙව ලියන්න කියල පත්තර වලට අනික  මේක මගේ රස්සාව නෙවෙයි. ජීවිතය...

 කාලයක් තිස්සේ පොත් ලියනවට වඩා කියවීමට දින කැපකලා නේද?
ඔව්. පොත් ලියන්න මට ආසාවක් වත් වුවමනාවක්වත් නෑ. මොකද ඕන තරං ලේඛකයො ඉන්නවා. ඉස්සර පොතක් කරේ ඒකට සුදුසුකම් තිබ්බ අය විතරයි. ඒ නිසා ඒ පොත් අදටත් අපි පාවිච්චි කරනව මුලාශ්‍ර විදියට. පොතක් කරන එක හරි සීරියස්වැඩක්. දැන් මුද්‍රණ තාක්ෂණය දියුණුයි. හැමෝම හිතනව මොනව හරි ලියල පොතක් අච්චු ගහන එක ලේඛකත්වයට මග කියල. නමුත් ඔවුන්ට ඉතිහාසයේ හිමිවන තැන අනාගතය තීරණය කරාවි. හඩු භාෂාවකින් ලියන, අශ්ලීල කතන්දර වලින් ඔලු කුරුවල් කරන අය තමා අද වැඩි.   මම 2004 දි කොළඹ නාලන්ද විදුහල සහ එහි ආදිශිෂ්‍ය සංගමය ගැන ලොකු වැඩක් කරා. එය ආදි සිසුන්ට අනිවාර්ය පොතක් වෙච්චි නිසා පිටපත් තිස් හතළිස් දහසක් මුද්‍රණය වුණා. දැන් බලද්දි ලොකු වැඩක් වුණාට ඒ කාලෙ ඒක ගාණක්වත් නෑ.  අනික හම්බකරන්න නෙවෙයි අපි ලියන්නෙ. මොනව හරි දෙයක් ඉතුරු කරල මැරෙන්න ඕනි නිසා.  ඊට පස්සෙ මගේ පියා එක්ක ‘නුවණක්කාර වසිලිස්සා‘ පරිවර්තනය කරා. එය මුද්‍රණ වාර තුනකින් විතර පස්සෙ නැවත මුද්‍රණය වුණේ නැහැ.  ඊටත් සෑහෙන කාලෙකට පස්සෙ තමයි මේක ලියන්නෙ. හැබැයි ඔබ කීව වගේ මට කියවන්න තියෙන වෙලාවත් නැතිවුණේ ෆේස්බුක් නිසාම තමයි. සතියට පොත් හතරක් විතර කියවපු මම, පහුගිය අවුරුදු 10ට පොත් සියයක්වත් කියවල නැහැ.  අද තියෙන ජීවන ප්‍රශ්න වලට මුහුණ දෙන්න රැකියාවන් සහ අමතර රැකියාවන් කරන්න වෙලා තියෙන නිසා දැන් කියවන්නේ තෝරාගත් දේවල් විතරයි. අනික්වා සියල්ල පැන්ෂන් ගියාම කියවන්න එකතු කරල තියාගෙන ඉන්නවා.


මනෝගේ පියා දක්ෂ පරිවර්තකයෙක්. පරිවර්තනයට හිත නොගියෙ ඇයි?
සේනාරත්න වීරසිංහ
මාර ප්‍රශ්නයක් ඇහුවෙ.. තාත්ත ලංකාවේ දැනට පරිවර්තනයෙ යෙදෙන ජ්‍යෙෂ්ඨතම ලේඛකයා. ඔහු නිර්මාණකරණයට ඇවිත් වසර හතළිහක්. පරිවර්තනයට ඇවිත් වසර තිස්පහකට වැඩියි.  තාත්ත කරන දේවල් මට තවම කරන්න බැහැ. අනික ඒක ආවාට ගියාට කරන්න බැහැ. පාඨකයො රවට්ටල, බොරු ලියල මොනව හරි සෙප්පඩවිජ්ජාවක් දාලා පොත මාකට් කරල ඇගේ ගහන්න තාත්තට වුවමනා නෑ වගේම මටත් වුවමනා නැහැ. ඒ වගේම මම පොත් මාසෙට දාන පොස්ට් වලදි හැරුණම තාත්තගෙ නම විකුණල කිසි වැඩක් කරල හෝ ඒ පහනින් එළිය බලන්න ගිහින් නෑ. මේ මෑතකදි ජ්‍යෙෂ්ඨ සන්නිවේදක, සමන් අතාවුදහෙට්ටි මහත්මයා පොතක් පරිවර්තනය කරන්න බාරදුන්නා.  ඒකත් මේ පොත ලියන්න ගත්තු ගමං තමා දුන්නෙ. ඉතිං මම ඒකත් තව යාලුවෙකුත් අල්ලගෙන පරිවර්තනය කරල දුන්නා. අනේ කියන්න දුකයි,  එතුමා කීවේ ‘මේක ගන්න දෙයක් නෑ‘ කියල! තාත්තටත් එක්ක ලැජ්ජයි කිව්වා. ඉතින් මම වැරැද්ද හොයාගත්තා. ඒක දවසින් හදන්න බැහැ. ඒක නිසා හිමිහිට එකක් කරනවා. අනික මට හදිසියක් නෑ. ඒ හන්දා ලබන අවුරුද්දෙ හෝ ඊලග අවුරුද්දෙ පරිවර්තනයක් කරාවි. හැබැයි මම නිකුත් වෙන පරිවර්තන බොහොමයක්ම කියවනව, මුල් පොත් එක්ක ගලපල ඒවාගෙ වෙනස්කම් අදුරගන්නවා. අඩුපාඩු දකිනවා. ඉතින් තවත් ටිකක් ප්‍රැක්ටිස් කරල වැඩේ පටන් ගන්නවා. තාත්තා ලියන එක නැවැත්තුවහම නං මම මොනව හරි දිගටම කරාවි. එතකල් ෂෝටීස් පැටිස් වගේ මොනව හරි පොඩි දෙයක් ලිය ලිය ඉන්නවා.

වර්තමාන සාහිත්‍යය හා සයිබරය දෙකම එකම තැන දිගහැරෙන්න අරන් ඒක හොද දෙයක්ද?
සයිබර් සාහිත්‍යයය කියන්නෙ ලොකු ඒරියා එකක්. ඒක වෙබ්, බ්ලොග්, සොෂල් මීඩියා යන සියල්ලෙම පැතිරිලාතියෙනවා. ලංකාවේ ඒක ඉස්මතු වෙන්නෙ බ්ලොග් සහ ෆේස්බුක් නිසා එළියට එන නිර්මාණ වලින්. අති දක්ෂ බ්ලොග් රචකයො  ඉන්නවා අපිට ෆුට්බෝඩ් එකේවත් යන්න  බැරි තරං.. අති දක්ෂ ෆේස්බුක් රචකයො ඉන්නවා වෙනස්ම විදියට ලියන සහ හිතන. ඒ විවිධත්වය අවශ්‍යයි. මටත් කාවවත් අනුකරණය කරන්න අවශ්‍ය නෑ. මොකද එහෙම පූජනීය චරිත ලංකාවේ සාහිත්‍ය ක්ෂේත්‍රෙය් නැහැනෙ. ඉතින් හැමෝගෙන්ම අභාසය අරගන්නවා.  දැන් සාහිත්‍යය දුවන්නෙත් සයිබරය උඩ. ගල්කිස්සෙන් එන අන්ඩර් සී ඉන්ටනෙට් කේබල් එක ගැලෙව්වොත් ප්‍රකාශකයොත් කොට උඩ. සයිබර් ලේඛකයොත් අනාථයි. ඒක නිසාතමයි මහපොළවේ සාහිතයයක් කරන්න ඕනි. ගොඩක් අය තමුන්ගෙ ෆ්‍රෙන්ඩ් ලිස්ට් එකේ අයට පොත් විකුණන්න ලියනවා. තවත් අය ජනප්‍රියත්වය පසුපස පමණක් අධිවේගි ගමනක යනව, තවත් අය නිර්මාණ හොරකං කරල තමුන් ගෙ වගේ පළකරනවා. ඕක මහා සමාජ සාහිත්‍යෙයත් තියෙනවා. ඔය දෙකම සමබරව හසුරුවන්න ඕනි නැත්තං ලේබල් වදිනව ආ..මෙයා මේ ‘‘ෆේස්බුක් කාරයෙක්‘‘ න කියල.

ගොඩක් අය පොතක් කරගන්න අමාරු තත්වයක් තියෙන යුගයක් දැන් තියෙන්නෙ.ඒකට හේතුව
පොතක් කරන්න අමාරු එක හේතුවක්නිසා විතරයි. ඒ තමයි පිරිවැය. පොතක් මුද්‍රණයෙදි ටයිප්සෙටර්ගෙ ඉදන් මුද්‍රණාලයටත්, එතනින් ගියාම දොරටවැඩුම් ආදී ප්‍රචාරක උත්සව වලටත් විශාල මුදලක් යට කරන්න වෙනවා. ගොඩ දෙනෙක් ප්‍රකාශන ආයතන ලවා පොත් පළකරන්නේ මේ හේතුව නිසා. නමුත් ඒ හරහා තමුන්ගෙ ශ්‍රමයට නිසි වටිනාකමක් ලැබෙනවද කියන එක ගැටලුවක් මොකද අද ලංකාවේ ප්‍රකාශන ව්‍යාපාරයෙ ගොඩක් අර්බුද තියෙනවා.  නැත්තං දැන් ඕනම කෙනෙක්ට පොතක් පළ කරන්න පුලුවන්. ඒකට උගත්කම,බුද්ධිය, අත්දැකීම්,පරිචය අදාළම නෑ! . රටේ පවතින ආර්ථික පසුබෑම් නිසා තමයි මගේ පොත විශාල වට්ටමක් සහිතව, පොතේ සියලු තොග අවසන් වනතුරු සහන මිලකට ලබාදෙන්නෙ. කඩවල් වලට දාන්න අදහසක් නෑ. මිනිස්සු අද ජීවත් වෙන්නෙත් අමාරුවෙන්.
මිතුරෙක් සමඟ

විචාරයට යත්දි බැනුම් අහපු තැනුත් ඇති
විචාරය කියල දෙයක් මම කරන්න ඇති මීට අවුරුදු හත අටකට කලින්. සාහිත්‍ය කලා ක්ෂේත්‍රෙය් දැවැන්තයො මම හදුනනවා. ප්‍රකාශන ක්ෂේත්‍රවල දැවැන්තයොත් හදුනනවා. ඒ නිසා මම ලොකු අර්බුදයක ඉන්නේ. මොකද මම ලියන ඒවා නිසා බැනුම් අහන්නෙ තාත්තා. මොකද මම අසුවලාගෙ පුතා ලෙස මිස, ස්වාධිනව, ඉන් වියුක්තව දකින්න මේ පරණ පරම්පරාව කැමති නෑ. ඉතින් මම කරන විවේචන වලින් හිතන්නේ මේ ලියන්නෙ මම නෙවෙයි තාත්ත කියල. මට ඉතින් හරි ගැටලුවක්. ඒ නිසා පොත් ගැන විවේචන ලියන්නෑ. වැඩකට නැති එකක් නං ඒක වැඩක් නෑ කියල ලියනවා. ඒ හැරුණම වැදගත් යැයි හිතන පොත් ගැන හදුන්දීම විතරක් කරනවා. සිනමා විචාර කරන්න බැහැ හේතුව වෘත්තිමය වශයෙන් තියෙන සදාචාරාත්මක එකගතාවන් උඩ. ඉතින් දෙයක් කෙළින් හරියට ලියන්න තව ටික දවසක් ඉවසන්න වෙනවා.  බැනුම් අහන එක නං සාමාන්‍ය දෙයක්. මිනිස්සු බනිනවට මම කැමතියි. බනින අඩුපාඩු හදාගන්න මම ආසයි.

මෙි පොත ලියන්න කොච්චර කාලයක් ගියාද?
පොත ලියන්න ගියේ මාසයකුත් සතියයි. උපන් දිනය දවසෙ කරනව කියල හිතුවා. පටන්ගත්තා. අනික මේක සංස්කරණයක්. වෙනත් පොත් විශාල ගණනකින් උපුටන ලද කරුණුත් මවිසින් අමතරව එක්කළ කරුණුත් කියන දෙකම තියෙනවා. උපුටා පළකරපු විස්තර පොතේ අවසානයේ අන්තර්ගත කරල තියෙනවා.  මුලින්ම මේක පිටු හයසීයක් වගේ වෙන තත්ත්වයක් තිබුණා. එහෙම වුණා නං අද මනුස්සයෙක්ට ගන්න බැරි මිලක් මේකට ගෙවන්න වෙනවා. එහෙම වෙලා මේක තවත් පොත් ගෙඩියක් වෙනවට වඩා පොදුවේ හැමෝගෙම අතට යා යුතුය කියල හිතන නිසා, දරුණු සංස්කරණයකට ලක් කළා. අඩුපාඩු තියෙනවා. ඒවා පෙන්නල දෙනවනං තමා මම කැමැති. මොකද මේක අධ්‍යාපනික ගුණාත්මක අතින් ඉහළට ගෙනියන්නත්, සංශෝධිත මුද්‍රණයක් ඉදිරිපත් කරන්නත් මම ලෑස්තියි. මොකද මේක මම ටාගට් කරන්නෙ උස්සපෙළ-විශ්ව විද්‍යාල සිසු පරපුර. නැතුව ප්‍රවීණ විචාරකයන්ට හෝ මහාචාර්යවරුන්ට ලියපු පොතක් නෙවෙයි. 

සමහර රචකයො විචාර ඉවසන්නේ නෑ පිලිතුරු දෙන්නෙ නෑ.ඔබ එය දකින්නෙ
ඒක පෞරුෂයෙ අඩුපාඩුවක් මිත්‍රයා. ගොඩක් අයගේ විචාර කලාව ගැන මම මේකෙ විස්තරාත්මකව ලියල තියෙනවා. මිනිහෙක් අඩුපාඩුවක් පෙන්නුවාම පිළිගන්න නිහතමානී වෙන්න ඕනි. එහෙම නැතුව ඒ මනුස්සයගෙ පුද්ගලික ජීවිතේ ඇරියස් හෝ අඩුපාඩු හොයාගෙන ෆේස්බුක් එකේ මඩ ගහනව කියන එක වෘත්තිමය නැහැ. එහෙම අයට ආයුෂ කෙටියි. අනික අද විචාරකයො කියල හදුන්වාගන්නා අයට තියෙන මානසික රෝග එක්ක බැලුවාම ලේඛකයො තව හොදයි. අනික දැන් ලේඛකයා කියන්නෙ මම කිව්වනෙ.. ? විවේචන ඉවසන්නෑ.. හිතන්නෙ සියල්ල දන්නව කියල. හිතුමතේට පොත් ලියල මිනිස්සු බණිද්දි අඩුගානෙ ඇහුම්කන් දෙන්න ඕනි. මම ඉරිදා ලක්බිම පුවත්පතට ඇතැම්විට ලිපි සපයනවා. එහිදි මංජුසාව අතිරේකයේ සංස්කාරකවරිය කත්‍යානා අමරසිංහ මහත්මිය අඩුපාඩු හදල, මේක  හැදුවෙ මේ නිසා කියල පැහැදිලි කරල දෙනවා. අවසානයේ බැලුවාහම මගේ ලිපිය ගාණට පොලිෂ් වෙලා ඔප  මට්ටම් වෙලා ඇවිත්. හරිම ලස්සනයි. මගේ නම යනව. යටින් සංස්කාරකවරයාගේ හෝ සංස්කාරකවරියගෙ නම නොගියට.!  මම ඒකෙන් ලිවිය යුත්තේ කොහොමද කියල ඉගෙන ගත්තා. ෆේස්බුක් වල ලියන පල්හෑලි මම ජාතික මාධ්‍ය වලට ලියන්නෑ. වතාවක් එවකට සත්හඩ පුවත්පතේ විශේෂාංග කර්තෘ විමල් කැටිපෙආරච්චි මහත්මයා එම පුවත්පතට ලිපි වගයක් සකසන්න කිව්වා. මම ලියපු ලිවිල්ල බලල ‘රහ මදි‘. කියල එතුමා කිව්වා. මොකද ඒ අතිරේකය තරමක් වෙනස් එකක්. ඉතින් මම ඒ අඩුපාඩුව හදාගෙන රහට ලිවිල්ල ෆේස්බුක් වලට සීමා කරල මට පුරුදු විදියට ‘සිළුමිණ‘ ට ලිව්වා. ඒක ඒ පත්තරයට අල්ලල ගියා වසරකය වැඩි කාලයක් තිස්සෙ. ඊලගට ලියන්න හිතං ඉන්න පොත හැමෝටම රහ දැනෙන එකක් වේවි. මොකද රහ අල්ලන නාඩිය මම විමල් මහත්මයගෙන් අල්ලගත්තා. 

මනෝගෙ පොත අපට හමුවන තැන් ටිකක කියමු.
මේ පොත සරලව කීවොත් අච්චාරුවක්. සාහිත්‍ය සලාදයක්.  සිංහල සාහිත්‍ය පරිණාමය, විශ්ව සාහිත්‍යය, පරිවර්තන සාහිත්‍ය, නවකථාව, කෙටිකථාව, කවිය, පෙරදිග විචාරය, අපරදිග විචාරය, දර්ශනවාද, සාහිත්‍ය ශානර, ලොව හොදම නිර්මාණ පරිශීලනයට මගපෙන්වීම ආදිය තියෙනවා. සරලව කීවොත් ව්‍යාකරණය හැර සාහිත්‍යය ගැන තියෙන්න ඕනි යැයි කියල හිතෙන බොහෝ දේ මෙයට සරලව, කෙටියෙන් ඇතුළත් කරල තියෙනවා. තවත් මේකට එකතු විය යුතුයැයි සිතෙන දේවල් තිබේ නම් ඉදිරියෙදි එකතු කරනවා. මුද්‍රිත බැරි වුණත් ඩිජිටල් කෘතියක් විදියට හරි එය සිදුකරනවා. අර මම කලින් කියපු සම්පූර්ණ කෘතිය එහෙම ඩිජිටල් සංස්කරණයක් විදියට ඉදිරිපත් කරල, මේ පොත ගත්තු සියලු දෙනාට නොමිලයේ ලබාදෙනවා.

පොත කියවල ප්‍රතිචාර එවන්න ඔිනැ කොහොමද?
කෙලින්ම කියන්න. 0715 725 756 දුරකථන අංකය විවෘතයි. මගේ විද්‍යුත් තැපෑල mymailmano@gmail.com වෙත අදහස්, යෝජනා, විවේචන, බැනපුවා සියල්ල එවන්න. සියල්ල බාරගන්නවා.
Share on Google Plus

About admin

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 Comments :