ads
News
Loading...

වැඩිහිටි අරමුදලට දයා කරපු දේ


සටහන : මනෝජ් අබෙිදීර

පුදුමාකාර සිද්ධීන්ගෙන් සමන්විත අතීතයකින් පසු, ජීවිතයේ දෙවන ළාමක අවධිය කරා පා තැබීම මහලූවිය බව ප‍්‍රකට සාහිත්‍යධර විලියම් ශේක්ස්පියර් සඳහන් කළේය. එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුව වයස අවුරුදු 60 ඉක්ම වූ ජනසංඛ්‍යාව වයස්ගත ජන සංඛ්‍යාව ලෙස හැඳින්වේ. ජනගහනය වයෝවෘද්ධ වීම ලෝකයට මුහුණ දී ඇති ගැටලූ අතර ප‍්‍රධාන තැනක් හිමිකරගෙන තිබේ. ජනගහනය මහලූවීමේ ලෝක ප‍්‍රවණතාවයේ ප‍්‍රතිඵලයක් වශයෙන් පැන නැගී ඇති සමාජ සහ ආර්ථික ගැටලූ ශ‍්‍රී ලංකාව කෙරෙහිද කාටත් නොදැනීම බලපා තිබේ. මහලූ ජනඝනත්වය සීග‍්‍රයෙන් ඉහළ යන රටක් ලෙස ශ‍්‍රී ලංකාව ද පත්ව සිටියි. 2000 වසරේදී සිට මිලියන 18.9 ක ජනගහනයෙන් සියයට 9.3 ක් හෙවත් 1,760,000ක් පිරිස වයස අවුරුදු 60 ඉක්මවූ හෙවත් මහලූ ජනගහනයය. 2025 වර්ෂෙය් දී මෙම ජනගහනය 18% ක් වනු ඇතැයි ද 2050 වර්ෂෙය් දී 27.6% ක් වනු ඇතැයිද ගණන් බලා තිබේ. 2050 වන විට වයස අවුරුදු 50 ඉක්මවන 50% කින් යුත් ජනගහනයක් ශී‍්‍ර ලංකාවේ සිටිනු ඇතැයිද ගණන් බලා තිබේ. එහෙයිනි ශ‍්‍රී ලංකාවේ වර්තමාන වයෝවෘද්ධයන්ගේ ප‍්‍රමාණය සහ ඉදිරියට ඉස්මතු වෙමින් පවතින ප‍්‍රවණතා කෙරෙහි දැඩි සැලකිල්ලක් යොමු කිරීම අවශ්‍යය.


මෙම දත්ත නොතකන සහ වැඩිහිටියා පිළිබඳව ගෞරවනීයභාවය යන උසස් මානව ලක්ෂණයට නිගා දෙන ඇමැති කෙරුවාවක් පිළිබඳව පසුගිය සතියේ වාර්තා විය. 



රජයක් ලෙස මෙම වැඩිහිටි පරපුර වෙනුවෙන් දැනට සිදුකරනු ලබන එකම සේවාව වන්නේ, මාසිකව රුපියල් දෙදහක දීමනාවක් පමණය. එයින්ද රුපියල් සියයක මුදලක් අරමුදලක් වෙනුවෙන් රජයම කපා ගන්නා බැවින් අසරණ වැඩිහිටියාගේ අතට ලැබෙන්නේ රුපියල් 1990 ක මුදලක් පමණය. රු. 3000 ට අඩු මාසික ආදායමක් ඇති වැඩිහිටි ජනතාවට ගෙවනු ලබන මෙම රු. 2000 ක වැඩිහිටි දීමනාව දැනට ලක්ෂ හතරකට ආසන්න ප‍්‍රමාණයකට ගෙවනු ලැබේ. කොළඹ විශ්වවිද්‍යාලයේ ජනවිකාස විද්‍යාව පිළිබඳ මහාචාර්ය ඉන්ද්‍රලාල් ද සිල්වා විසින් පෙන්වා දෙන ලද පරිදි ශ‍්‍රී ලංකාවේ ජනගහනයෙන් 82%ක් ම විශ‍්‍රාම වැටුපක් නොලබන්නෝ වෙති. පර්යේෂිකා නිශා අරුණතිලක පෙන්වා දෙන පරිදි මේ වන විට ශ‍්‍රී ලංකාවේ වයස අවුරුදු 60 ට වැඩි ජනතාවගෙන් කුමන හෝ ආකාරයක විශ‍්‍රාම වැටුපක් ලබන්නේ 30% ප‍්‍රමාණයකි. එයින් 18% කට දිළිඳු සහනාධාරය ද විශ‍්‍රාම වැටුප ලබන ප‍්‍රමාණය 20% ක් ද වේ. සමාජ බලගැන්වීමේ හා සුබසාධන අමාත්‍යාංශය විසින් පෙන්වා දෙන ලද තවත් වැදගත් කරුණක් වූයේ ශ‍්‍රී ලංකාවේ වැඩිහිටි ජනගහනයෙන් ආර්ථික වශයෙන් සක‍්‍රිය වන්නේ 25.6%ක් පමණක් බවය. සමාජ සවිබලගැන්වීමේ හා සුබසාධන අමාත්‍යාංශයේ සංඛ්‍යාලේඛන අනුව රට පුරා ලියාපදිංචි වැඩිහිටි නිවාස 306 ක් තිබෙන අතර ඒවා තුල 10,000ක් පමණ වැඩිහිටියන් ප‍්‍රමාණයක් සිය මහලූ වයස ගතකරමින් සිටියි.



මේ අපේ රට වැඩිහිටියාගේ තත්ත්වය සහ ආණ්ඩුව විසින් ඔවුනට සලකන ආකාරයය.



ජාතික වැඩිහිටි මහලේකම් කාර්යාලය සඳහා රජය වාර්ෂිකව වෙන්කරනු ලබන මුදල රුපියල් මිලියන හැට අටකට ආසන්නය. වැඩිහිටි දීමනාවෙන් රුපියල් සියයක් කපාගෙන සාදා ඇති අරමුදල මේ වන විට රුපියල් මිලියන 1500 ක් පමණ වන අතර එයින් ද වැඩිහිටියන් උදෙසා යම් මෙහෙවරක රජයට නියැළිය හැකිය. මෙවැනි ප‍්‍රතිපාදන මට්ටමක වැඩිහිටි සැලකීම තිබියදී ලෝක වැඩිහිටි දිනය යෙදෙන ඔක්තෝම්බර් පළමුවෙනිදාට ඒ පිළිබඳ සමරුවක් සංවිධානය කරන්නට ජාතික වැඩිහිටි මහලේකම් කාර්යාලය සූදානම් විය. මාස තුනකට පමණ පෙර මෙම උත්සවය සඳහා සැලසුම් සකස් කරන ලද අතර ඒ සඳහා රුපියල් ලක්ෂ 50 ක පමණ වියදමක් දරා 1500 ක පමණ පිරිසකගේ සහභාගිත්වයෙන් උත්සවය සංවිධානය කිරීමට ජාතික වැඩිහිටි මහලේකම් කාර්යාලය කටයුතු යොදා තිබුණි. ඒ අතර එහි අධ්‍යක්ෂ සමන් උඩවත්ත මහතා වෙත ප‍්‍රාථමික කර්මාන්ත සහ සමාජ සවිබලගැන්වීම් අමාත්‍ය දයා ගමගේ විසින් පවසා තිබුණේ, එම ආරාධිත වැඩිහිටි සංඛ්‍යාව 3000 දක්වා වැඩිකරන ලෙසය. ඒ වන විටත් අදාළ උත්සව සංවිධාන කටයුතු, එම උත්සවය පැවැත්වෙන ප‍්‍රදේශය වන අනුරාධපුරයේ දිසාපතිවරයා වෙත මෙම උත්සවය සංවිධානය සඳහා වන බලතල වැඩිහිටි ලේකම් කාර්යාලයෙන් පවරා තිබුණි. මේ කාලය වන විට ජනාධිපතිවරණයක් ප‍්‍රකශ කිරීම සඳහා අවශ්‍ය සියලූ නෛතික පරිසරය සූදානම් වෙමින් තිබුණි.



ටික දිනකින් ඇමැති දයා ගමගේ විසින් වැඩිහිටි මහා ලේකම් කාර්යාලයට දැනුම් දෙනු ලැබුවේ උත්සවය සඳහා වැඩිහිටියන් පන්දාහක් ගෙන්වන ලෙසය. ඒ සඳහා ප‍්‍රතිපාදන වැඩිහිටි මහ ලේකම් කාර්යාලය සතුව නොතිබූ බැවින් ජනාධිපති කාර්යාලයේ මේ සඳහා ඇති අරමුදලකින්, රුපියල් මිලියන පහක් ලබා ගනිමින් ඇමැති නියෝගය ක‍්‍රියාත්මක කිරීමට අධ්‍යක්ෂ සමන් උඩවත්ත මහතා ක‍්‍රියා කළේය. 



සැප්තැම්බර් මස 18 වෙනිදා ජනාධිපතිවරණය ප‍්‍රකාශයට පත්විය. සැප්තැම්බර් 24 වෙනිදා වන විට, ඇමැති දයා ගමගේ අලූත් නියෝගයක් වැඩිහිටි මහ ලේකම් කාර්යාලයට ලබාදුන්නේය. ලෝක වැඩිහිටි දින උත්සවය සඳහා වැඩිහිටියන් විසිපන්දාහක් ගෙන්වා අදාළ උත්සවය පවත්වන ලෙස ඔහු අධ්‍යක්ෂ වෙත නියෝග කළේය. මෙම පිරිස ගෙන්වා ගැනීම සඳහා බස් රථ තුන්සීය පනහකට ඇනවුම් බාර දෙන ලෙස ද ඇමැතිවරයා සඳහන් කළේය. මැතිවරණ සමයකදී මෙසේ ක‍්‍රියා කරන්නේ ඇයිද යන්න අමුතුවෙන් කිව යුතු නැත. එසේම එහි වගකීමද වැඩිහිටි මහ ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂවරයා වෙත ඇමැති ගමගේ පවරා සිටියේය.



පැමිණෙන පිරිස සඳහා ආහාර පාන, තෑගි භෝග ලෙස ඇඳ ඇතිරිලි ආදිය ද ගෙන්වා උත්සවය පවත්වන ලෙස අමාත්‍යවරයා දන්වා සිටියත් ඒ සඳහා නෛතික ප‍්‍රශ්නයක් සේම මුදල් ප‍්‍රශ්නයක් ද වැඩිහිටි මහ ලේකම් කාර්යාලයට ඇතිවී තිබුණි. ඉකුත් ජනාධිපතිවරණ සමයේදී සිල් රෙදි බෙදාදීම සඳහා ශ‍්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිසමට අයත් රුපියල් මිලියන 600 ක් යොදා ගනිමින් මුදල් සාවද්‍ය, සාපරාධී පරිහරණය කිරීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග සහ විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් අනූෂ පැල්පිට මහතාට එරෙහි නඩු පවරා, ඔවුනට චෝදනා එල්ල කළ යහපාලන නඩය. මේ ජනාධිපතිවරණයේදී වැඩිහිටියන් සිය මැතිවරණ සෙල්ලම සඳහා යොදාගෙන රාජ්‍ය මුදල් අවභාවිතා කිරීම සඳහා සැලසුම් සකස් කරමින් සිටියහ. මෙවැනි මට්ටමේ උත්සවයක් තමනට සංවිධානය කිරීමට නොහැකි බවත්, මැතිවරණයට දින තීන්දු කර ගැනීමට පෙර සඳහන් කළ සැලසුම අනුව තමන් හට උත්සවයක් සංවිධානය කළ හැකි බවත්, අධ්‍යක්ෂ උඩවත්ත මහතා විසින් තොත්ත බබා ඇමැතිවරයා වෙත පැහැදිලි කර දුන්නේ නමුත් ඔහුට උත්සන්නව තිබූ ඡුන්ද උණ හේතුවන් ඒ කිසිවක් ඇසෙන බවක් පෙනුණේ නැත. මේ රටේ වයස අවුරුදු 70 ඉක්ම වූ තෝරා ගත් වැඩිහිටියන්ට සොච්චමකට, පිං පඩිය ලෙස හඳුන්වන රුපියල් 2000 ක මාසික දීමනාවෙන් කපා ගන්නා, රුපියල් 100 මුදලින් සැදුනු අරමුදල සිය මැතිවරණ වුවමනාව වෙනුවෙන් කොල්ල කන්නට දයා ගමගේට තදබල වුවමානවක් තිබෙන බව පෙනුණි.



උත්සවය සඳහා අවශ්‍ය ආවරණ ඉදිකිරීම, නියමිත පරිදි මිල ගණන් කැඳවා, අනුරාධපුර දිසාපතිවරයා විසින් ඒ වන විටත් සිදු කර තිබූ අතර ඒ සඳහා වන මිල වූයේ, රුපියල් 3,359,500කි. විසිපන්දාහක් ගෙන්වීමේ වැඩසටහන ඒ වන විට මැතිවරණ කොමිසම විසින් නවත්වා දමා තිබුණි. සිය විසි පන්දාහේ ඡුන්ද දන්සල් ඉලක්කය සපුරා ගත නොහැකි බව දැනගත් ඇමැතිවරයා මේ වන විට පන්දාහේ ඉලක්කය කරා පසුබා සිටියේය. එසේ වුවත් ඇමැතිවරයාගේ සෙල්ලම් නතර වී තිබුණේ නැත. ඔහු විසින් උත්සවයේ වේදිකා සැරසිලි ඇතුළු ආවරණ ඉදිකිරීම වෙනත් ආයතනයක් වෙත පවරා දෙනු ලැබීය. නියමිත පටිපාටි අනුව කැඳවා තිබූ මිලට වඩා ලක්ෂ නවයක් පමණ, ඇමැතිවරයාගේ රුචිකත්වය ඇති ආයතනය අය කළ අතර, වැසි ඇද වැටී මඩ ගොඩක ඉදිකරන ලද, ආවරණයක් තුළ උත්සවය පැවැත්වුණි. 



සිය ඉලක්කය අල කරගත් ඇමැතිවරයා ඉන් පසු ජාතික වැඩිහිටි මහලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ එස්. ඞී. උඩවත්ත මහතා අදාළ තනතුරෙන් ඉවත් කිරීම සඳහා ලියුම ගසන ලද්දේ, අධ්‍යක්ෂවරයා වෙත එම තනතුරේ රැඳී සිටීමට බලයක් නැති බව සඳහන් කරමිනි. අධ්‍යක්ෂ සමන් උඩවත්ත මහතා මේ පිළිබඳව මැතිවරණ කොමිසමට පැමිණිල්ලක් කිරීමේ ප‍්‍රතිඵලයක් ලෙස, කොමිසම විසින් සමන් උඩවත්ත මහතාගේ සේවය අත්හිටුවීම අත්හිටුවන ලදී. 



මේ අසරණයන්ගේ පිං පඩියෙන් ඇමැතිවරුන් රඟන හැටිය. සිය ඡුන්ද ක‍්‍රියාදාමය උදෙසා මහජන මුදල් නාස්ති කරන අන්දමය. අන්තිමට වැඬේ අනාගෙන, නාගන්නා අන්දමය. 



2030 වන විට ලක්ෂ 47 ක් වන වැඩිහිටි ජනගහනයට අවශ්‍ය සමාජ ආරක්ෂණය සැපයීම සඳහා අවශ්‍ය පද්ධති ඇති කිරීම පිණිස ශ‍්‍රී ලංකාව දැන් සිටම ප‍්‍රතිපත්ති සංවිධානය සහ සංවර්ධනය කළ යුතු බව එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලේ ශ‍්‍රී ලංකා නියෝජිත රිට්සු නකේන් මහත්මිය පවසා තිබුණි. එසේ තිබියදී අදාළ විෂය භාර ඇමැතිවරයා ඒ සඳහා ක‍්‍රියා කරන අන්දම එසේය.
Share on Google Plus

About admin

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 Comments :