ads
News
Loading...

ජෝකර්ව ට්‍රම්ප් ට සමානකිරීම ජෝකර්ට කරන අපහාසයක්


කුසල් කුරුවිට Kusal Kuruwita

විචාරකයින්ට ජෝකර් වර්ගීකරණය කරන්නේ කෙසේදැයි එතරම් පැහැදිළි නැත: එය හුදෙක් විනෝදාස්වාදයක් (වෙනත් බැට්මෑන් චිත්‍රපට මෙන්), ව්‍යාධි ප්‍රචණ්ඩත්වයේ ප්‍රභවය පිළිබඳ ගැඹුරු අධ්‍යයනයක් හෝ සංස්කෘතික න්‍යායේ අභ්‍යාසයක් ද? රැඩිකල් වාමාංශික දෘෂ්ටි කෝණයෙන් මයිකල් මුවර් එය හැඳින්වූයේ 'කාලෝචිත සමාජ විවේචනයක් සහ ඇමරිකාවේ වර්තමාන සමාජ ව්‍යාධීන්ගේ ප්‍රතිවිපාක පිළිබඳ කදිම නිදර්ශනයක්' ලෙසට ය. කෙසේ වෙතත්, ජෝකර් මෙම ඇමරිකාව නිරූපණය කරනවා පමණක් නොව, එය මුවර්ගේ මනසේ ‘පීඩාකාරී ප්‍රශ්නයක් ’ මතු කරයි: යම් දිනක පිටුවහල් කළ අය නැවත සටන් කිරීමට තීරණය කළහොත් කුමක් වේ ද? 
ජෝකර් නිදහස් කිරීමට පෙර, මාධ්‍ය සහ එෆ්බීඅයි අපට අනතුරු ඇඟවූයේ එය ප්‍රචණ්ඩත්වය උසිගැන්විය හැකි බවයි. ප්‍රචණ්ඩ ක්‍රියා සිදුකිරීමට පෙලඹීමක් ඇති කරනවා වෙනුවට, නව ආශාවකට ඔබව සම්බන්ධ කිරීම ගැන ප්‍රේක්ෂකයින් මෙම චිත්‍රපටයට ස්තූතිවන්ත වනු ඇත - මුවර් පෙන්වා දෙන පරිදි ‘ඔබ ඔබව බේරා ගැනීම සඳහා ළඟම ඇති පිටවීම වෙත යෑම වෙනුවට නැගී සිටිමින් සටන් කිරීමට සහ සෑම විටම ඔබ සතුව පැවති අවිහිංසාවාදී බලය කෙරෙහි ඔබේ අවධානය යොමු කරවයි. 
නමුත් එය ඇත්ත වශයෙන්ම එලෙස ක්‍රියාත්මක වේද? ඔහු සඳහන් කරන ‘නව ආශාව’ ජෝකර්ගේ ආශාව නොවේ - චිත්‍රපටයේ අවසානයේ දී අව-වීරයා (anti-hero) බල රහිත වන අතර ඔහුගේ ප්‍රචණ්ඩකාරිත්වය හුදෙක් කෝපයේ බෙලහීන පිපිරීම්, ඔහුගේ මූලික බල රහිත බව ප්‍රකාශ කිරීමකි. විරුද්ධාභාෂය වන්නේ ඔබ සැබවින්ම ප්‍රචණ්ඩකාරී වීම සිදුවන්නේ (පවතින ක්‍රමයට තර්ජනයක් එල්ල කිරීමේ අර්ථයෙන්) භෞතික හිංසනය අතහැර දැමූ විට වීම ය. ජෝකර්ගේ ක්‍රියාව නිෂ්ඵල බව මින් අදහස් නොවේ - චිත්‍රපටයේ පාඩම නම්, පවතින ක්‍රමයට අදාළ මිත්‍යාවන්ගෙන් අපව නිදහස් කර ගැනීම සඳහා මෙම ශුන්‍ය ලක්ෂ්‍යය හරහා ගමන් කළ යුතු බවයි. 
වෙනත් දේ අතර, ජෝකර්ගේ අඳුරු ලෝකයට අප ගිලී යාම මගින් ලිංගික කැමැත්ත වැනි දේශපාලනිකව නිවැරදි (politically correct)  මිත්‍යාවන් සහ සරල කිරීම් වලින් අපට සුවයක් ලබා දෙයි. මේ ලෝකයේ, ලිංගික සම්බන්ධතාවලට එකඟ වන අය සැබවින්ම එකඟ වූවා  යන අදහස බැරෑරුම් ලෙස සැලකිය හැකි එකක් නොවේ. ‘එකඟතා කතිකාව’ යනු විශාල වංචාවකි. ලිංගිකත්වයේ අඳුරු, අසහනය, නිර්දය යථාර්ථය මත සමාජ සාධාරණත්වය පිළිබඳ බුද්ධිමය සමානාත්මතා භාෂාවක් ඇතිරීම බොළඳ වැඩකි. මිනිසුන් තමන්ට අවශ්‍ය දේ නොදනිති, ඔවුන් තමන්ගේ ආශා කරන දේ නිසා වික්ෂිප්තව සිටිති, ඔවුහූ තමන් වෛර කරන දේට ආශා කරති, මවට වෛර කරන අතර මව සමග නිදිවැදීමට ඔවුන්ට අවශ්‍ය ය. ‘එක වුණේ කැමැත්තෙන්, එනිසා ඒක ඕකේ’ යන ප්‍රකාශයට ජෝකර් සිය විකාර සිනහවෙන් පවසනු ඇතැයි අපට පහසුවෙන් සිතාගත හැකිය. 
චිත්‍රපටයෙන් ආතර්ගේ වචන උපුටා දැක්වනවා නම් ‘මට අහිමි වීමට කිසිවක් ඉතිරිව නැත. කිසිම දෙයකට මට තවදුරටත් රිදවිය නොහැකිය. මගේ ජීවිතය කොමඩියකට වඩා වැඩි දෙයක් නොවේ. ’මෙම ශුන්‍ය ලක්ෂ්‍යය යනු වරෙක නිර්ධන පංතියේ ස්ථාවරය ලෙස හැඳින්වූ දේහී වර්තමාන අනුවාදයයි. ට්‍රම්ප් බලයේ සිටින ජෝකර් කෙනෙක් යන අදහස එහි සීමාව සොයා ගන්නේ මෙතැනදීය: ට්‍රම්ප් නියත වශයෙන්ම මෙම ශුන්‍ය ලක්ෂ්‍යය හරහා ගියේ නැත. ඔහු අසභ්‍ය විහිලුකාරයෙකු විය හැකිය, නමුත් ඔහු ජෝකර් චරිතයක් නොවේ - එය ට්‍රම්ප් සමඟ සංසන්දනය කිරීම ජෝකර්ට කරන අපහාසයකි. 
ට්‍රම්ප් ක්‍රියා කරන ආකාරය අසභ්‍ය ය, නමුත් මේ ආකාරයෙන් ඔහු හුදෙක් සදාචාරවිරෝධී බව එනම් නීතියේ විරුද්ධ පක්ෂය හෙළිදරව් කරයි. ට්‍රම්ප් රීති උල්ලංඝනය කරන ආකාරය ගැන පුරසාරම් දෙඩීම ඵලක් නැත, එය හුදෙක් ඔහු දූෂිත ප්‍රභූන් විසින් පීඩාවට ලක්කෙරෙන දැඩි පුද්ගලයකු බවට වන පණිවිඩයේ කොටසක් වන අතර, එම නිසා ඔහුගේ වැරදි ක්‍රියා වොෂිංටන් මඩවගුරේ බලය බිඳ දැමීමට අවශ්‍ය ය බව හගවයි. මරණ දාවකයේ (death drive) නියමයන්ට අනුව මෙම සැලසුම් සහගත හා ඉතා තාර්කික උපායමාර්ගය කියවා ගතහොත්, සියදිවි නසාගැනීමේ මෙහෙයුමක නියැලී සිටින වාමාංශික ලිබරල්වාදීන්, ජනාධිපතිවරයා රට වෙනුවෙන් හොඳ වැඩක් කරන අතරේ නිලධාරිවාදී-නෛතික රැවටීම්වල යෙදී සිටින බවට හැඟීමක් ඇති කරවයි.  
ක්‍රිස්ටෝපර් නොලන්ගේ ද The Dark Knight හී ජෝකර් යනු සත්‍ය නියෝජනය කරන චරිතයකි: ගොතම් නගරයට එරෙහි ඔහුගේ ත්‍රස්ත ප්‍රහාරයේ ඉලක්කය පැහැදිලි ය. බැට්මෑන් තම වෙස්මුහුණ ගලවා ඔහුගේ සැබෑ අනන්‍යතාවය හෙළි කරයි නම් ඒවා නතර වෙනු ඇත. එසේනම්, වෙස්මුහුණට යට ඇති සත්‍යය හෙළි කිරීමට අවශ්‍ය ජෝකර් හට මෙම හෙළිදරව්ව මගින් සමාජ පිළිවෙල විනාශ වන බව ඒත්තු ගැන්වී ඇත්තේ කුමක් නිසා ද? වෙස්මුහුණක් නොමැතිව ඔහු මිනිසෙකු වන්නේ නැත, ඔහු යනු වෙස්මුහුණ නිසා ම හඳුනාගත් මිනිසෙකි, ඔහු යනු ම වෙස්මුහුණකි - ඊට යටින් කිසිවක් නැත, ‘සාමාන්‍ය මිනිහෙක්’ නැත. නොලන්ගේ ජෝකර්ට කිසිදු පසු කතාවක් නොමැති අතර පැහැදිලි අභිප්‍රේරණයක් නොමැත: ඔහු විවිධ පුද්ගලයින්ට ඔහුගේ කැළැල් ගැන විවිධ කථා කියයි, එයින් ඔහු උත්සහ කරන්නේ ඔහු මේ තත්ත්වයට පත්වීමට ගැඹුරට මුල් බැස ඇති කම්පනයක් හේතුවිය යුතුය යන අදහස උපහාසයට ලක් කිරීමයි.

චිත්‍රපටයේ නිශ්චිත මොහොතක ජෝකර් ජෝකර් බවට පත්වන්නේ ඔහු මෙසේ පවසන විට ය: ‘ඔබ දන්නවාද මාව  ඇත්තටම හිනාගස්සන්නේ මොකද්ද කියල? මම හිතුවේ මගේ ජීවිතය ඛේදවාචකයක් කියල. ඒත් දැන් මට තේරෙනවා ඒක ජරා විහිළුවක් කියල. ’මෙම ක්‍රියාව නිසා ජෝකර් සදාචාරාත්මක නොවිය හැකි නමුත් ඔහු ආචාරශීලී ය. ආතර් මෙය පවසන නිශ්චිත මොහොත අප සැලකිල්ලට ගත යුතුය: ඔහුගේ මවගේ ඇඳ අසල සිටගෙන සිටියදී ඔහු ඇයගේ කොට්ටය ගෙන ඇයව මරා දමයි. ඔහුගේ මව කවුද? ‘ඇය නිතරම මට කියන්නේ සිනාසෙමින් ප්‍රීතිමත් මුහුණක් පැළඳ ගන්න කියල. ඇය පවසන්නේ මාව මෙහි දමා ඇත්තේ ප්‍රීතිය හා සිනහව පතුරුවාලීමට කියල. ’ මේ  මාතෘ සුපර් ඊගෝවේ පිරිසිදුම ආකාරය නොවේද? ඇය ඔහුව ආතර් වෙනුවට හැපී(Happy) යැයි හැදින්වීම පුදුමයක් නොවේ. සිනාසීමේ ඇගේ නියෝගය සම්පූර්ණයෙන් පිළිපදිමින් ඔහු තම මවගෙන් නිදහස් වෙයි(ඒ මව ඝාතනය කිරීමෙන්). පාලනය කළ නොහැකි සිනහවක් සඳහා ඔහු දක්වන නැඹුරුව පරස්පර විරෝධී ය: එය වචනානුසාරයෙන්ම extimate ය. එනම් (ලැකානියානු අර්ථයෙන්), එක විට ම අභ්‍යන්තර සහ භාහිරවය යන දෙකම ඇත. ආතර් අවධාරනය කරන්නේ එය ඔහුගේ ආත්මීයත්වයේ හරය බවයි: ‘මගේ සිනහව කොන්දේසියක් බවත්, එය මගේ යම් වැරැද්දක් බවත් ඔබ මට පැවසූවා මතකද? එය එසේ නොවේ. එයයි සැබෑ මම. ’නමුත් එය ඔහුට පාලනය කළ නොහැකි ස්වයංක්‍රීය අර්ධ වස්තුවක් ලෙස ඔහු විසින් අත්විඳින ලද ඔහුගේ පෞරුෂයට බාහිරව පතී. මෙහි ඇති විරුද්ධාභාසය නම්, සම්මත ඊඩිපස් ක්‍රියාවලිය මෙහි දැකිය නොහැකි වීමයි. මාතෘ ආශාවේ ග්‍රහණයෙන් මිදීමට පුද්ගලයෙකුට හැකි වන්නේ පියාගේ නාමකරණය නිසා ය. නමුත් ජෝකර් සමඟ, පීතෘමූලික ක්‍රියාකාරිත්වය කොතැනකවත් දැකිය නොහැකි අතර, එමගින් ඔහුට මව අභිබවා යා හැක්කේ ඇගේ අධිපති විධානය සමඟ ආසක්තවීමෙන් ය. 
චිත්‍රපටයේ අවසානයේ ජෝකර් යනු කිසිදු දේශපාලන වැඩපිළිවෙලක් නොමැති නව ගෝත්‍රික නායකයෙකි,  ඝණාත්මකභාවයක පිපිරීමක් පමණි - මුරේ සමඟ කළ සංවාදයේදී ආතර් ඔහුගේ ක්‍රියාව දේශපාලනික නොවන බව දෙවරක් අවධාරනය කරයි. ඔහුගේ විහිළු වේශ නිරූපණය ගැන සඳහන් කරමින් මුරේ ඔහුගෙන් මෙසේ අසයි: ‘මොකද්ද මේ මුහුණ? මම කිව්වේ, ඔබ විරෝධතාවයක කොටසක්ද? ’ආතර් පිළිතුරු දෙයි:‘ නැහැ, මම ඒ කිසිවක් විශ්වාස කරන්නේ නැහැ. මම හිතුවේ එය මගේ රංගනයට හොඳ යි කියල. ’තවද, පසුව, පසුව:‘ මම දේශපාලනික නෑ. මම උත්සාහ කරන්නේ මිනිසුන්ව හිනස්සන්න. ’

චිත්‍රපටයේ විශ්වයේ කිසිදු සටන්කාමියෙකු  නැත, එය ගෝලීයකරණය වූ ප්‍රචණ්ඩත්වයේ හා දූෂණයේ සමතලා ලෝකයකි. පුණ්‍ය කටයුතු ඒ අයුරින් ම ඉදිරිපත් කරයි: තෙරේසා මවක් එහි සිටියේ නම් වරප්‍රසාද ලත් ධනවතුන්ගේ මානුෂීය විනෝදය වන  Wayne විසින් සංවිධානය කරන ලද පුණ්‍ය කටයුත්තකට ඇය සහභාගී වනු ඇත. කෙසේ වෙතත්, ජෝකර් කැරැල්ලට ධනාත්මක විකල්පයක් නිරූපණය නොකරන බවට නින්දා අපහාසය කිරීම තරම් ජෝකර් පිළිබඳ මෝඩ විවේචනයක් සිතීම දුෂ්කර ය. මෙම රේඛා ඔස්සේ රූගත කරන ලද චිත්‍රපටයක් ගැන සිතා බලන්න: සෞඛ්‍ය ආවරණයක් නොමැති දුප්පතුන්, රැකියා විරහිතයන්, වීදි කල්ලිවලට ගොදුරු වූවන් සහ පොලිස් ම්ලේච්ඡත්වය යනාදිය පිළිබඳ ප්‍රචණ්ඩකාරී නොවන කතාවක්, මහජන මතය බලමුලු ගැන්වීම සඳහා අවිහිංසාවාදී විරෝධතා සහ වැඩ වර්ජන සංවිධානය කිරීම - නව නොවන මාටින් ලූතර් කිංගේ වාර්ගික නොවන අනුවාදයක් සමග. මෙමගින් ප්‍රේක්ෂක ආකර්ෂණය දිනාගැනීමට හේතුවූ එහි විකාරරූපීමය භාවය අහිමි වූ අතිශය නීරස චිත්‍රපටයක් වනු ඇත.
මෙතැන දී අපි කාරණයේ හරය වෙත එළබේ: බලයේ සිටින අය මත කාර්යක්ෂම පීඩනය යෙදීම සඳහා ඉදිරියට යා හැකි එකම මාර්ගය එවැනි අවිහිංසාවාදී විරෝධතා සහ වැඩ වර්ජන බව වාමාංශිකයෙකුට පැහැදිලිව පෙනෙන හෙයින්, අප මෙහි දී ගනුදෙනු කරන්නේ දේශපාලනික තර්කනය සහ වෘතාන්තමය කාර්යක්ෂමතාව අතර සරල පරතරයක් සමඟ ද? එය පැහැදිලිව කිවහොත්, ජෝකර් වැනි කුරිරු පුපුරායෑම් ඵලදායී වන තරමටම හානිකර ය, නමුත් ඒවා සිත්ගන්නාසුලු කතාවක් නිර්මාණය කරයි. මා ඉදිරිපත් කරන උපකල්පනය නම්, ඔබ ජෝකර් පෙනී සිටින ස්වයං විනාශකාරී ශුන්‍ය මට්ටම හරහා යා යුතු බවයි - සැබෑවක් ලෙස නොවුනත් ඔබට එය තර්ජනයක් ලෙස අත්විඳිය හැකිය. පවතින ක්‍රියාවලියෙන් ඉවත් වී සැබවින්ම අලුත් දෙයක් අපේක්ෂා කළ හැක්කේ මේ ආකාරයෙන් පමණි.
නැගෙනහිර යුරෝපීය කොමියුනිස්ට්වාදයේ බිඳ වැටීම පිළිබඳ අර්ථ නිරූපනයේ දී, හබර්මාස් අවසාන වාමාංශික ෆුකුයාමාවාදියෙකු බව බව ඔප්පු කළේ ය. ඔහු පවතින ලිබරල්-ප්‍රජාතන්ත්‍රවාදය පැවතිය හැකි හොඳම දෙය බව නිහව පිළිගත් අතර, එය වඩාත් යුක්ති සහගත කිරීමට අප උත්සාහ කළ යුතු බවත්, එහි මූලික උපකල්පනයන් අභියෝග නොකළ යුතු බවත් ඔහු පිළිගත්තේ ය. නැගෙනහිර යුරෝපයේ කොමියුනිස්ට් විරෝධී උද්ඝෝෂණවල විශාල උනතාවයක් ලෙස බොහෝ වාමාංශිකයින් දුටු දේ ඔහු පිළිගත්තේ මේ නිසා ය: මෙම විරෝධතා පශ්චාත් කොමියුනිස්ට් අනාගතයේ කිසිදු නව දර්ශනයකින් පෙලඹී නැති බව ඔහු පැවසීය. තවද මධ්‍යම නැගෙනහිර යුරෝපීය විප්ලවයන් ඔහු හැඳින්වූයේ 'නිවැරදි කිරීමේ' හෝ 'පිරිමැසුම්' විප්ලවයන් ලෙස ය: ඔවුන්ගේ අරමුණ වූයේ බටහිර යුරෝපීයයන් දැනටමත් සතුකරගෙන ඇති දේ ලබා ගැනීමට මධ්‍යම හා නැගෙනහිර යුරෝපීය සමාජවලට හැකි කරවීමයි, එනම් බටහිර සාමාන්‍යතාවට නැවත එක්වීම ය. කෙසේ වෙතත්, ලෝකයේ විවිධ ප්‍රදේශවල දිගින් දිගටම පවතින විරෝධතා රැල්ල මෙම රාමුවම ප්‍රශ්න කිරීමට නැඹුරු වේ - මේ නිසා ‘ජෝකර්’ වැනි පුද්ගලයින් ඔවුන් සමඟ පැමිණේ.

සමාජ ව්‍යාපාරයක් පවත්නා ක්‍රමයේ මූලධර්ම, එහි අත්තිවාරම් ගැන ප්‍රශ්න කරන විට, ප්‍රචණ්ඩකාරී අතිරික්තයකින් තොරව සාමකාමී විරෝධතා කිරීම කළ නොහැක්කකි. ජෝකර්ගේ අලංකාරය රඳා පවතින්නේ ස්වයං විනාශකාරී ධාවකයේ සිට විමුක්තිදායක දේශපාලන ව්‍යාපෘතියක් සඳහා ‘නව ආශාවක්’ කරා ගමන කරන පියවර කතාමාලාවේ අඩුවක් ලෙස පැවතීමයි: මෙම අඩුව පිරවීම ප්‍රේක්ෂකයින් වන අපගෙන් කරන ඉල්ලීමකි.
Share on Google Plus

About admin

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 Comments :