ads
News
Loading...

සිරිපාදෙදි ගුරුවරයා කරපු කැත වැඩක්

 තරංග රත්නවීර
 නුවරඑළිය නාලක රත්නායක
‘ටියුෂන්’ ගුරුවරයෙක් සිසුවියන් දෙදෙනකු සිරීපාදය වැන්දවීමට කැඳවාගෙන ගොස් තිබිණි. පසුගිය 03 වැනිදා රාත‍්‍රියේ සමනළ කඳු මුදුනට යන ගල් පඩි නඟින අතරේ ගඟුල ප‍්‍රදේශයේදී ඒ තලස්තෑනි ගුරුවරයාට අසාමාන්‍ය ලෙස මහන්සියක් දැනෙන බව සිසුවියන්ට පවසා ඇත. පපුවේ අමාරුවක් හැදීගෙන එන්නේ ද යන ආරූඪ බියකින් සලිත වූ ගුරුවරයා සිසුවියන් දෙදෙනා ද කැටුව නැවත නල්ලතන්නියට පැමිණ විවේක ගැනීමට ලැඟුම්හලකට ගොස් තිබිණි.
 අපි සිරිපාදේ වඳින්න යන්න ආවේ... ටික දුරක් යනකොට පපුවේ මහන්සියක් ආවා. විවේක ගන්න හිතාගෙන ආවේ. මේ මගේ දුවලා දෙන්නා. අපිට කාමරයක් දෙනවද? තලස්තෑනි ‘ටියුෂන් මාස්ටර්’ ලැගුම්හලේ කළමනාකරුට දිග හෑල්ලක් කියා කාමරයක් ඉල්ලා සිටියේය. කිසිදු විපරම් කිරීමකින් තොරව ඉල්ලන ඕනෑම කෙනෙකුට කාමර පහසුකම් ලබාදෙන ලැගුම්හල් කළමනාකරු තාත්තාට සහ දුවලා දෙදෙනාට කාමරයක් ලෑස්ති කර දුන්නේය. 
 නල්ලතන්නිය පොලිසිය ඉදිරිපිට පිහිටා ඇති එම ලැගුම්හල ද විදේශීය සංචාරකයන් පවා නවාතැන් ගන්නා සුඛෝපභෝගී පහසුකම්වලින් යුත් ලැගුම්හලකි. එමෙන්ම සිරීපාදය වඳින්න යන අතරතුර ‘මහන්සිය’ හැදී පැමිණි තාත්තාට සහ දුවලා දෙදෙනාට එම ලැගුම්හලේ කාමරයක් ලබාදී තිබුණේ රුපියල් හාරදහසකටය. කන් පෙති වැහෙන්න තොප්පි පැළඳගෙන, සීතල නොදැනෙන කබා ඇඟලාගෙන බෑග් මලූ උස්සාගෙන පැමිණ සිටි දුවලා දෙදෙනා සහ තාත්තා කඩි මුඩියේ කාමරයට ඇතුළු වී දොරඟුළු ලා ගත්තාහ.
 රැ ජාමයේ පැමිණ කාමරයක නවාතැන් ගත් තලස්තෑනි තාත්තා සහ හැඩකාර, හුරුබුහුටි සම පෙනුමැති දියණියන් සම්බන්ධයෙන් ලැගුම්හලේ කළමනාකරුට සැකයක් පහළ නොවුණ ද, පොලිසිය ඉදිරිපිට ත‍්‍රිරෝද රථ ගාලේ සිටි ත‍්‍රිරෝද රථ රියැදුරෙකුගේ සිතේ එම තිදෙනා සම්බන්ධයෙන් සැකයක් මතු විය. වහා ක‍්‍රියාත්මක වූ ත‍්‍රිරෝද රථකරු නල්ලතන්නිය පොලිසියේ උප පොලිස් පරීක්‍ෂක එම්. ඒ. රත්නායක මහතාට සිද්ධිය දැනුම් දුන්නේය. තොරතුරු ලද සැණින් ක‍්‍රියාත්මක වූ උප පොලිස් පරීක්‍ෂකවරයා තවත් පොලිස් නිලධාරීන් කිහිපදෙනෙක් සමඟ එම ලැගුම්හලට ගොස් එහි නවාතැන් ගෙන සිටි සැකසහිත තාත්තා සහ දුවලා දෙදෙනාගෙන් ප‍්‍රශ්න කරන්නට විය.
 ‘‘අපි සිරිපාදය වදින්න යන්න ගියේ. මඟදි අසාමාන්‍ය විදිහට ඇඟට අමාරු ගතියක් දැනෙන්න ගත්තා. උඩට නඟින්න බය හිතුණා. ඒ නිසා ගමන නතර කළා. අද රෑ මේ හෝටලයේ නතර වුණේ දැන් ගමට යන්න බස් නැති නිසයි. හෙට උදේ පාන්දර 4 යි ගානට තියෙන පළමු බස් එකේ අපි ගෙදර යනවා. එක කාමරයක් ගත්තේ අතේ සල්ලි මදි නිසයි...’’ පොලිස් නිලධාරීන්ගේ ප‍්‍රශ්න කිරීම් හමුවේ දුවලාගේ තාත්තා හුරතල් ගිරවෙක් සේ කියවන්නට විය.
 මහන්සිය හැදී ලැගුම්හලක නතර වී සිටි තාත්තා සහ දුවලා දෙදෙනාගේ පදිංචි ගම වත්තේගමය. නුවරටත් එපිටය. නල්ලතන්නියේ සිට කිලෝමීටර් එකසිය පනහකට වැඩිය. ඒ ගමට යෑමට මහා ?ට බස් නැති බව හැබෑව. එහෙත් පොලිස් නිලධාරීන්ගේ ප‍්‍රශ්න කිරීම හමුවේ බලලා මල්ලෙන් එළියටම පැන්නේය.
 ළාමක දැරියන් දෙදෙනකු සමඟ සිරීපාදය වඳින්න ගිය තලස්තෑනියා වත්තේගම ප‍්‍රදේශයේ අමතර පන්ති පවත්වාගෙන යන ඉංග‍්‍රිසී ගුරුවරයෙකි. ඔහුට වයස අවුරුදු හතළිස්පහකි. එමෙන්ම ඔහු විවාහකයෙකි. ඔහු සමඟ සිරිපාදේ යෑමට පැමිණ සිටි ගැහැනු ළමයි දෙදෙනා එම ගුරුවරයාගෙන් ඉංග‍්‍රිසී ඉගෙනගැනීමට පැමිණි ගෝලයන් දෙදෙනෙකි. එමෙන්ම ඒ ගැහැනු ළමයි දෙදෙනා මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිට ප‍්‍රතිඵල බලාපොරොත්තුවෙන් සිටින සිසුවියන් දෙදෙනෙකි. දෙදෙනාගේම වයස අවුරුදු දහසයකි. 
 ‘‘සර් අපිට ටි‍්‍රප් එකක් යමු කියලා කතා කළා. සේරම ළමයි පහළොවක් විතර යනවා කියලා කිව්වා. අපිත් එක්ක සර්ගේ වයිෆ් යනවා කිව්වා. ඒ නිසා බය නැතිව අපි ගෙවල්වලටත් කියලා අවසර අරගෙන සිරිපාදේ නඟින්න ලෑස්ති වෙලා බඩුත් අරගෙන ආවා. ටික දුරක් එනකොට තමයි දැනගත්තේ අපි දෙන්නයි, සරුයි විතරයි ටි‍්‍රප් එක යන්නේ කියලා. ගෙවල්වලටත් කියලා ආපු නිසා බය නැතිව අපි ආවා...’’ පොලිස් නිලධාරීන්ගේ ප‍්‍රශ්න කිරීම් හමුවේ බිරන්තට්ටු වූ සිසුවියන් දෙදෙනා ද කිසිවක් නොසඟවා සියල්ල විස්තර කළහ.
 පොලිස් පරීක්‍ෂණ හමුවේ එම සිසුවියන් දෙදෙනාගේ මවුපියන් ද පවසා ඇත්තේ ‘ටියුෂන්’ ගුරුවරයා, ඔහුගේ බිරිඳ සහ ගැහැනු ළමයි පහළොවක් යන බව පැවසූ නිසා බිය සැකයකින් තොරව වන්දනා ගමන යෑමට තම දරුවන්ට අවසර දුන් බවය. මීට පෙරත් තම දරුවන් එම ගුරුවරයා සමඟ විනෝද ගමන් ගොස් ඇති බැවින් මෙවර ගමන ගැන කිසිදු සැකයක් ඇති නොවූ බව ද එම මවුපියන් පොලිස් පරීක්‍ෂණ හමුවේ අනාවරණය කර ඇත.
 තම ඉංග‍්‍රිසී ගුරුවරයා සමඟ කාමරයක තනි වූ පාසල් සිසුවියන් දෙදෙනා පොලිස් භාරයට ගෙන වෛද්‍ය පරීක්‍ෂණයකට භාජනය කළ බවත් එම සිසුවියන් දෙදෙනාට එදා දවස තුළදී කිසිදු අතවරයක් සිදු වී නැති බවත් නල්ලතන්නිය පොලිසියේ උප පොලිස් පරීක්‍ෂක එම්. ඒ. රත්නායක මහතා අප සමඟ පැවසීය. එහෙත් සිරිපාදය නැඟීම වෙහෙසකර ගමනක් බව දැන දැනත් එවැනි ගමනක් යෑමට පැමිණ, රෑ ජාමයේ මගට ගිහින් හැරිලා ඇවිත් සිසුවියන් දෙදෙනකු සමඟ හෝටල් කාමරයක නතරවීම සැකසහිත සිද්ධියක් බව ද පොලිස් පරීක්‍ෂකවරයා පැවසීය. එමෙන්ම මෙවර සිරිපාද වාරයේදී මෙවැනි සිද්ධියක් වාර්තා වූ පළමු අවස්ථාව ද මේ බව පොලිස් පරීක්‍ෂවරයා වැඩිදුරටත් අප සමඟ පැවසීය. 
 එහෙත් වයසෙ තරමට උස, මහත පෙනුමැති ගැහැනු ළමයි දෙදෙනාගෙන්, එක් අයකුට අලූතින්ම යට ඇඳුම් පවා ඉංගී‍්‍රසි සර් අරගෙන දී ඇත. තම ගෝලයන්ගේ එවැනි අඩුපාඩු පවා සම්පූර්ණ කරදීමට උණුවන හදවතක් ඇති ‘වත්තේගම ඉංග‍්‍රීසි සර්’ මීට පෙර ද මේ ළමයි දෙදෙනා ඇතුළුව තවත් ගැහැනු ළමයි කිහිපදෙනෙක් සමඟ සීගිරි ගලත් තරණය කර ඇති බව පොලිස් පරීක්‍ෂණ හමුවේ අනාවරණය වී ඇත. පෙළගැසෙන කතාවට අනුව වත්තේගම ඉංග‍්‍රීසී සර් ගැහැනු ළමයින්ට ඇත්තේ පුදුමාකාර ළෙන්ගතුකමකි. ඉංග‍්‍රීසි අධ්‍යාපනය ලබා දෙනවාට අමතරව ඓතිහාසික සිද්ධස්ථාන වන්දනා කිරීමට මෙන්ම නැරඹීමට තම සිසුවියන් කැටුව යෑමට ද ඒ ගුරුවරයා අමතක කර නැත. මේ ගුරුවරයා සම්බන්ධයෙන් අපට ඇති ගැටලූව නම් මේ යන විනෝද ගමන්වලට තම පන්තිවල ඉංග‍්‍රීසි ඉගෙනගන්නා පිරිමි ළමයි සම්බන්ධ කර නොගැනීමය. එමෙන්ම ඔහු ‘ටියුෂන්’ පන්ති කරනවාට අමතරව දේවමෙහෙයන් ද පවත්වන බව අනාවරණය වෙමින් තිබේ. පෙළගැසෙන කතාවට අනුව ආදරණීය පියා ‘ටියුෂන් මාස්ටර්’ සුපිරි ගුරෙකි. කෙස් පැහුණත් ජාන ගති ඇර ගැනීමට නොහැකි මෙවැනි පුද්ගලයන් මුළු මහත් සමාජයටම පිළිලයකි. මෙවැනි තිරිසන් පිළිල මෙරට ටියුෂන් ව්‍යාපාරය තුළ බහුලව තිබේ. අමතර පන්ති ගුරුවරු පමණක් නොවේ, පාසල් ගුරුවරු අතර ද මෙවැනි නැහැදිච්ච ගුරුවරු නැතුවාම නොවේ.
 මීගමුව පාසලක සිසුවියන් තිදෙනකුට මත් පෙති බොන්න දී එක් සිසුවියකට අතවර කළ නොසණ්ඩාල, තිරිසන් ‘පාසල් ගුරුවරයෙක්’ ගැන පසුගිය සතියක ‘දිවයින ඉරිදා සංග‍්‍රහයෙ’හි අපි සටහන් තැබුවෙමු. ඒ සිද්ධිය වී වැඩි කාලයක් ගත වූයේ නැත. වත්තේගම ‘අපත ටියුෂන් ගුරෙක්’ සිසුවියන් දෙදෙනෙකු එකම කාමරයක තියාගෙන රැයක් පහන් කිරීමට සූදානම් වන විට නල්ලතන්නිය පොලිසියට කොටුවීමේ කාලකණ්ණි සිද්ධියක් වාර්තා විය. වන්දනාවේ ගිය ගැහැනු ළමයි දෙදෙනාගේ යට ඇඳුම් ගැන පවා සැලකිලිමත් වී තිබූ එම ‘ටියුෂන් තාත්තා’ සමඟ රැය පහන් කිරීමට ඉඩහසර ලැබුණේ නම් කුමක්වේද යන්න අපි නොදනිමු. එමෙන්ම තමන්ගේ අතිශය පෞද්ගලික අවශ්‍යතා පවා ගුරුවරයාට පැවසීමට තරම් සමීප ඇසුරක් පවත්වාගෙන ගොස් ඇති පාසල් සිසුවියන් දෙදෙනා සහ ගුරුවරයා අතර ඇති බැඳීම සුළු පටු බැඳීමක් නොවන බවද අපගේ හැඟීමය. අපට වැටහෙන කාරණය නම් එක අතකින් අත්පුඩි ගැසීමට නොහැකිය. පෙළගැසෙන කතාවේ සිසුවියන් දෙදෙනා මේ කාමාතුර ටියුෂන් ගුරාට බිලි වීමට ගොස් ඇත්තේ සිය කැමැත්තෙනි.
 එමෙන්ම ව්‍යසනයක්වීමට පෙර එය වැළක්වීම පොලිසියේ රාජකාරියකි. එම වගකීම නිසි ලෙස ඉටු කළ නල්ලතන්නිය පොලිසියට මල් මිටක් පිළිගැන්විය යුතුය. එසේ නොවෙන්න සීතල නල්ලතන්නියේ හෝටල් කාමරයක ආගන්තුක පිරිමියෙක් සමඟ තනි වූ හුරුබුහුටි සිසුවියන් දෙදෙනාට ජීවිතයේ අමිහිරි අත්දැකීමක් උරුමවීමට තිබූ ඉඩ හසර ඉතා වැඩිය. එමෙන්ම ආගන්තුක පිරිමියෙක් සමඟ තම දියණියන් තනිපංගලමේ රැයක් පහන් කිරීමේ වන්දනා ගමන් යවන මවුපියන්ට අං ඇතිදැයි හිස අතගා බැලීම වත්තේගම ප‍්‍රදේශවාසීන්ගේ යුතුකමකි. එමෙන්ම මේ අමන ටියුෂන් ගුරුවරු සහිත මෙරට ටියුෂන් වෙළෙඳපොළේ ‘කුණු කෑලි’ ඉවත් කර, උතුම් ගුරු වෘත්තියට මුවා වී මල් කැකුළු සුණුවිසුණු කරන තිරිසන් ‘ටියුෂන්’ ගුරුවරුන්ට අමතක නොවන පාඩමක් කියා දීමට වගකිවයුතු ආයතන වැඩපිළිවෙළක් සකස් කිරීමට කඩිනම් විය යුතු බවද අපි මතක් කර සිටිමු.
Share on Google Plus

About admin

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 Comments :