ads
News
Loading...

රට මිලිටරිකරණය වෙලාද



ඇයි මේ හැම එකටම හමුදාව? මේ දිනවල ඉතා ජනප්‍රිය ප්‍රශ්නයකි. රාජ්‍ය සේවයේ ඇතැම් තනතුරු සඳහා විශ්‍රාමික හමුදා නිලධාරීන් පත් කිරීම හා රාජ්‍ය යාන්ත්‍රණයේ වැදගත් අංශ සක්‍රියව පවත්වා ගැනීම සඳහා ඔවුන්ගේ මැදිහත් වීම හේතුවෙන් බොහෝ දෙනෙක් මෙම ප්‍රශ්නය නගති. හමුදා නිළධාරීන්ගේ සේවය සම්බන්ධයෙන් ඇතැමෙක් ගුණ වයන අතර තවකෙකු දොස් නගයි. ගැටළුව නම් ගුණ දොස් කියන බොහෝ දෙනා හමුදාව පිලිබඳ හරි හැටි නොදැන එය සිදු කිරීමයි.

ඕනෑම රටක හමුදාවේ විශාලත්වය මනිනු ලබනුයේ ජනගහනයට හෝ ශ්‍රම බළකායට අනුපාතයක් ලෙසිනි. මෙම ලිපියේ හමුදාව යනුවෙන් මා පොදුවේ අදහස් කරනුයේ ත්‍රිවිධ හමුදාව වේ. ශ්‍රී ලංකාව ශ්‍රම බළකාය ට ඇති අනුපාතය අනුව ලෝකයේ විශාලතම හමුදාවලින් 8 වන ස්ථානය ලබාගෙන ඇත. හමුදා සාමාජිකයින්ගේ සංඛ්‍යාව තුන් ලක්ෂයකට ආසන්න අතර එය ශ්‍රම බලකායෙන් 3.7% කි (2017 ලෝක බැංකු දත්ත අනුව).
හමුදා සාමජිකයින් ප්‍රධාන වශයෙන් කොටස් දෙකකි. ත්‍රිවිධ හමුදාව තුළ 10,000 කට ආසන්න ප්‍රමාණයක් අධිකාරි ලත් නිළධාරීන් සිටින අතර අනෙකුත් සාමාජිකයින් සෙසුනිළයින් ලෙස හඳුන්වනු ලබයි. නිළධාරියෙකු හෝ සෙසුනිළයෙකු ලෙස හමුදාවට බැඳීමට නම් වයස අවුරුදු 18 ත් 22 ත් අතර විය යුතුය. සෙසු නිළයෙක් වීම සඳහා අවම වශයෙන් අපොස සාමාන්‍ය පෙළ සමත් විය යුතුය. යුධ සමයේ මෙන් 8 පාස් ආමි කාරයන් දැන් හමුදාවේ නැත. ඔවුන් 8 මෙන්ම 9, 10 ද සාමාන්‍ය පෙළද සමත් වූ රණවිරුවන් වෙති. වයස අවුරුදු 19, 20 වන විට හමුදාවට බැඳෙන ඔවුන් වසර 22 ක් සේවය කර විශ්‍රාම යා යුතුය. එනම් ඔවුන් තම වයස උපරිමය අවුරුදු 43, 44 ක් වන විට සේවය අවසන් කර තරුණයන් ට අවස්ථාව දෙමින් සක්‍රීය සේවයෙන් ඉවත් වේ.

දැන් අපට තවත් ගැටලුවක් පැන නැගෙයි. අවුරුදු 42 න් විශ්‍රාම වැටුප් ලැබීම අපරාධයක් ලෙස පෙනෙයි. බදු ගෙවන ජනතාවගේ මුදල් ගැන අප වද වෙයි. මන්ද රාජ්‍ය සේවයකයෙක් විශ්‍රාම වැටුප් ලැබීමට අවුරුදු 57 ක් සේවය කල යුතු අතර අවුරුදු 60 දක්වා ඉල්ලුම් කර සේවා දිගුවක් ලබාගත හැකිය. නමුත් සත්‍ය වශයෙන්ම ඔබද මමද ඒ ගැන වද විය යුතු නැත. රාජ්‍ය සේවකයෙක් වයස අවුරුදු 20න් සේවයට බැඳුනහොත් ඔහුට වසර 40ක් සේවය කල හැක. මෙම කාලය තුල දවසට පැය 8 බැගින් රාජකාරි කළහොත් සතියකට පැය 40 කි (8x5). වසරේ සති 52 ට පැය 2080 කි (40x52). මෙයින් වසරකට පෝය, අවුරුදු මැයි දින , රාමසාන් , දීපවාලී ආදී නිවාඩු දවස් 20 ක් ලෙස උපකල්පනය කලහොත් අඩු විය යුතු පැය ගණන 160කි (8x20) . ඒ අනුව වසරකට වැඩ කළ හැකි පැය ගණන 1920කි (2080-160). වසර 40 අවසානයේ පැය ගණන 76800 කි (1920x40).
දැන් අප සොල්දාදුවා දෙසට හැරෙමු. ඔහු අවම වශයෙන් දින 23 ක් එක දිගට කඳවුර තුල රාජකාරි කරනු ලබයි. මෙම අවමය බොහෝ විට යතාර්ථයක් නොවන අතර අවම සාමාන්‍යයෙන් දින 30ත් 35ත් අතර කාලයක් තුළ නිවාඩු යාම සිදුවේ. එම කාලය තුල පැය 24 ඕනෑම වෙලාවක පවරන රාජකාරි සිදු කිරීමට ඔහු බැඳී සිටී. සාමාන්‍යයෙන් ඔහු දිනකට පැය 16 ක් පමණ වත් රාජකාරි සිදුකරයි. එවැනි දින 23 කින් පසු ඔහුට දින 7 ක් නිවාඩු ලැබේ. ඔහු ලබාගත හැකි උපරිම නිවාඩු ප්‍රමාණය ලබාගත්තත්, අවම වශයෙන් වසරකට පැය 4416 ක් (23x12x16) රාජකාරි කරයි. එනම් වසර 22 ක් තුල පැය 97152කි. ඊට අමතරව වෘතීය සමිති වැනි නාඩගම් හමුදාවේ නැත. වැඩ වර්ජන ඔවුන්ගේ ශබ්දකෝෂයේ වත් නැත. සරලවම කිවහොත් සෙබලෙකු වසර 22ක් තුළ වැඩ කරන කාලය රාජ්‍ය සේවකයෙකුට සම්පූර්ණ සේවා කාලය තුල එකදු නිවාඩුවක් වත් නොමැතිව වසර 40ක් රාජකාරි කරත් සම්පූර්ණ කිරීමට නොහැක.

සෙසු නිළයින්ට මෙන් නොව අධිකාරි ලත් නිළධාරීන් හට අවුරුදු 55 සපුරාලන තෙක් රාජකාරි කිරීමට අවස්ථාව ලැබේ. නමුත් වෙනත් රාජ්‍ය සේවකයින්ට මෙන් සේවා දිගු ඉල්ලුම් කිරීමට හැකියාවක් නොමැති අතර හමුදාපති වරුන්ට පමණක් ජනාධිපතිතුමන්ගේ අභිමතය පරිදි සේවා දිගු ලැබේ. එනම් හමුදා නිලධාරියෙකු විශ්‍රාම යන්නේද රාජ්‍ය සේවකයෙකුට වඩා වසර 5ක් කලින් සහ තව දුරටත් සේවය කිරීමේ හැකියාව ඉතිරි වී තිබියදීය.
එබැවින් ඔබද මමද ඔවුන්ගේ විශ්‍රාම වැටුප ගැන හෝ ඔවුන් හට ලැබෙන පහසුකම් ගැන වද විය යුතු නැත. අප වද වීමට අවශ්‍ය නම් වද විය යුත්තේ අවුරුදු 5 ක් ජනතාව ගේම මුදල් නාස්ති කර ඉන්පසු විශ්‍රාම වැටුප් ලබන අයවලුන් ගැනය.

"යුද්ධ කරනව වගේ අනෙක් ඒව කරන්න බෑ. වෘත්තීය දැනුම තියෙන්න ඕනෙ". මේ දිනවල තවත් ප්‍රසිද්ධ වැකියකි. මෙය කොතෙක් දුරට සාධාරණ දැයි බැලීමට හමුදාවන් තුළ වෘත්තීය නිළධාරීන් ගේ ප්‍රමාණය විමසා බැලීම වටී. ශ්‍රී ලංකාවේ ත්‍රිවිධ හමුදාව තුල මේ වන විට වෛද්‍යවරුන් 300 කට අධික පිරිසක්, ඉංජිනේරු නිළධාරීන් 300කට අධික පිරිසක්, නීතීවේදීන්, වරලත් ගණකාධිකාරි වරුන් , තොරතුරු තාක්ෂණ නිළධාරීන් විශාල පිරිසක් රාජකාරි කරමින් සිටී. මෙම නිළධාරීන් ගෙන් බහුතරයක් පශ්චාත් උපාධි පාඨමාලා හදාරා ඇති නිළධාරීන් වේ. මෙහි ඇති විශේෂත්වය නම් මෙම සියලු වෘත්තීය නිළධාරීන් ද සොල්දාදුවෙකු වීමට අවශ්‍ය යුධ පුහුණුව ද ලබා තිබීමය. එම යුධ පුහුණුව කළමනාකරණය , නීතිය, නායකත්වය වැනි විවිධ විශයන්ගෙන් සමන්විත වන අතර ඔවුන් ගේ සේවා කාලය තුල අවම වශයෙන් දෙවතාවක් හෝ තුන් වතාවක් වත් විදේශ පුහුණු වීම් වලටද සහභාගි වී ජාත්‍යන්තර අත්දැකීම් ලබා ඇත.
තවද රියදුරන් , ලිපිකරුවන් , සාත්තු සේවකයින්, අරක්කැමියන්, තාක්ෂණ ශිල්පීන් , වැනි ඕනෑම වෘත්තීයක සෙබළුන් හමුදාව සතුව ඇත. සරලව කියතහොත් සුනාමි, ගං වතුර, කොරෝනා පාලනය වැනි අප ඉල්ලන ඕනෑම තොවිලයක් නැටීමට කට්ටඩියන් සහ බෙරකරුවන් හමුදාව සතුව සිටී.

ඉතින් අප රාජ්‍ය තන්ත්‍රය හරිහැටි ක්‍රියාත්මක කරවනු පිණිස සොල්දාදුවගේ මැදිහත්වීම අභියෝගයට ලක්කිරීම සුදුසුද නැද්ද යන්න දෙවරක් සිතා බැලිය යුතු කරුණක් බව විශේෂයෙන් කිව යුතුය. මන්ද රාජ්‍ය සේවය තුල ඔබත් මමත් අඩුම තරමින් පැය 8 තුල අවංකව රාජකාරි කිරීම සිදු නොකළහොත් යම් දිනෙක සොල්දාවෙකු විසින් ඔබේත් මගේත් ස්ථානය ගනු ඇත. එසේ ගතහොත් ඔහු නිසැකවම ඔබට, මට වඩා කාර්‍යක්ෂමව අපගේ රාජකාරිය ඉටුකරනු ඇත. එය මිලිටරිකරණය වීම නොව; ඔබද මම ද අසමත් වීමයි. ඒ ගැන මැසිවිලි නොනඟන්න !!

දුෂ්මන්ත හේවාහැට (BA, MBA)
රාජ්‍ය පරිපාලන නිළධාරී
Share on Google Plus

About admin

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 Comments :