ads
News
Loading...

අහම්බෙන් සෙට්⁣වෙලා නෑ



රොෂාන් රවීන්ද්‍ර කියන්නේ අපේ නාට්‍ය කලාව තුළ මුණ ගැහෙන විරල රංග පෞරුෂයකින් හෙබි අපූර්වතම රංගන ශිල්පියෙක්. තමන්ට ලැබුණු චරිත තුළින් ප්‍රේක්ෂක ආදරය නොඅඩුව දිනා ගත් ඔහු මේ දිනවල සිදු කරන්නේ තිරෙන් පිටුපස කාර්යභාරයක්. ඒ තමන් ලැබූ අත්දැකීම් සමඟින් “තණමල්විල කොල්ලෙක්” නාට්‍යය අධ්‍යක්ෂණය කරමින්.

මේ දවස්වල වැඩකටයුතු මොනවද?

විශේෂයක් නැහැ “තණමල්විල කොල්ලෙක්” නාට්‍ය කළා. ඒ දිහා බලා ගෙන ඉන්නවා.

කොහොමද ලැබෙන ප්‍රතිචාර ?

ඉතා හොඳයි.

අපි පොඩ්ඩක් මතක් කළොත් පළමු නිර්මාණ කාර්යය ගැන?

පළමුවෙන්ම මම කළේ ආනන්ද අබේනායක මහතාගේ ‘සංසාරේ පියසටහන්‘ කතා මාලාවෙහි එක් කොටසක් අධ්‍යක්ෂණය කිරීම. ඒ අධ්‍යක්ෂණය තුළ මම ‘රයිගම්‘ සම්මාන උළෙලේදී ඇගැයීමට පවා ලක්වුණා. ‘තණමල්විල කොල්ලෙක්’ මගේ දෙවන අධ්‍යක්ෂණය.

ඉදිරියටත් මෙවැනි නිර්මාණ අධ්‍යක්ෂණය කරන තැන ද ඔබ ඉන්නේ ?

අනිවාර්යයෙන්ම. ඉදිරියටත් මීට වඩා වෙනස් ආකාරයේ අත්දැකීමක් ලබා දෙන අදහසක ඉන්නේ. මේ යන විදියත් එක්ක අපේ හිතේ තියෙන හැම දෙයක්ම එළියට ගන්න බැහැ… මොකද ප්‍රේක්ෂකයාට හොඳ දෙයක් දෙන්න ඕනෑ කියන තැන මම හැමදාම ඉන්නේ. ඉතින් යම් විදියකින් ‘තණමල්විල කොල්ලෙක්’ හරහා මම මේක පටන් ගත්තා. ඊළඟ එක මීටත් වඩා හොඳ දෙයක් කරන තැන ඉන්නේ.

ඉදිරි නිර්මාණයක් ගැනත් හිතල ද ඉන්නේ?

ඉදිරි නිර්මාණය ගැන අදහසක් තියෙනවා. ඊටත් වඩා මම බලන් ඉන්නේ ‘තණමල්විල කොල්ලෙක්’, හරි අදහසකින් ප්‍රේක්ෂකයෝ ගත්ත ද කියන එක දිහා. තවම භාගයක්වත් විකාශය වෙලා නැහැනේ. ඊට පස්සේ තමා ඊළඟ අදහසට යන්න ඉන්නේ. මුලින්ම ප්‍රේක්ෂකයෝ දකින්න ඕනෑ. නිකම්ම නිකම් චිත්‍රපටියක රඟපාලා මිනිස්සු ඉස්සරහ හීරෝ කෙනෙක් වෙන්න නෙවෙයි. මම කරපු නිර්මාණයේ යථාර්ථය මිනිස්සු දකින්න ඕනෑ. එතැනයි මගේ සතුට තියෙන්නේ.

මිනිස්සු අතරට නාට්‍ය ගෙනියන්න මොනවගේ දේවල් ද වෙනස් වෙන්න ඕනෑ, මොනවද තියෙන අර්බුද ?

ආර්ට් එක කියන්නේ මොකක් ද ආර්ට් එක මිනිස්සුන්ට ලබා දෙන්න ඕනේ කොහොමද කියන එක කලාකරුවෙක් විදියට මම දකින විදිහ හුඟක් වෙලාවට ආටිස්ට්ලා හැටියට හුඟක් අය දකිනවා හරි අඩුයි. ඒ කියන්නේ මම මගේ වීරත්වය රැකගෙන මම මගේ කෑල්ල රැකගැනීම නෙවෙයි මම කරගෙන ආවේ. මගේ ඉතිහාසය පුරාවටම මම නිර්මාණ තලයකදී මිනිස්සු එක්ක ගනුදෙනු කළේ. කෙනෙක්ට මාව පේන්න පුළුවන් නැති බැරියාව කියවනවා කියලා. හැබැයි රොෂාන් රවින්ද්‍ර හැමවෙලේම උත්සාහ කළේ ආටිස්ට්ලා තියෙන ගැටලු ගැන කතා කරන්න. මම හැම තිස්සෙම දැක්කා මේ තුළ තියෙන අර්බුදය. ඒ අර්බුදයට විසඳුමක් හොයන්න තමා මම “තණමල්විල කොල්ලෙක්” නිර්මාණය කරන්නෙත්. අර්බුද එකක් නෙවෙයි රැසක් තියෙනවා මේ ඇතුළේ. එකක් ආටිස්ට්වත් දන්නේ නැහැ තමන්ගේ යුතුකම සහ අවශ්‍යතාවය කොහොමද සපුරා ගන්නේ කියලා.

‘තණමල්විල කොල්ලෙක්’ හි චරිත ගැන බොහෝ දෙනා කතා වෙනවා, මේ චරිත තේරීම ගැනත් යමක් කිව්වොත් ?

ඉතා හොඳ ප්‍රතිචාර සෑම චරිතයකටම ලැබෙනවා. ඒ තමා මම මේ ක්ෂේත්‍රය තුළ ලබා ගත්ත අත්දැකීම. එහෙම නැතුව ඒ ඒ චරිත අහම්බෙන් සෙට් වෙලා නෙවෙයි. සෙට් කරලා තියෙන්නේ.

සම්පූර්ණ කොටස් කීයක් ද ?

කොටස් 45ක් 47 කින් අවසන් වෙනවා.

මෙගා නාට්‍ය ගැන මොකක් ද අදහස ?
මම හිතන්නේ නාට්‍යයක් වුණාම කොටස් 50න් 60න් ඉවර වෙන්න ඕනෑ කියලා. ප්‍රේක්ෂකයන්ගේ අවධානය ලබා ගන්න පුළුවන් තරම් තමා තිබිය යුත්තේ. කොටස් 100ක් 200ක් විතර යන නාට්‍ය කරන්න ඕනෑ කියන අය ඇති. මම එතැන නැහැ.

ආදරණීය වස්සානයේ කසුන් හරහා අසීමිත ආදරයක් ලැබුවනේ, සිනමාව වෙනුවෙන් යමක් කරන්න අදහසක් නැද්ද?

ලංකාවේ සිනමාවක් නැහැනේ. ලෝක සිනමාව එක්ක ගත්තම අපි ඉන්නේ කොතැනද. කාලයත් එක්ක එක එක්කෙනා හිතං ඉන්නවා වීරයා මම තමයි කියලා. නමුත් අපේ රට ලෝක සිනමාවත් එක්ක ගත්තම අංශුවක් තරම්වත් නැහැ.

ඒ හිඩැසට දෙයක් කරන්න බැරිද?

ටෙලි නිර්මාණයක් කරන්න අපි කන කට්ටම තමා චිත්‍රපටියක් කරන්නත් තියෙන්නේ. අතේ තියෙන බජට් එකට කතන්දරයක් කරනවාට වඩා අපේ තියෙන කතාන්දරය කරගන්න බජට් එකක් තියෙන කාලයකට මේ රට පත් වුණුදාට අපිට චිත්‍රපටියක් කරන්න පුළුවන්. අපේ මාධ්‍ය චිත්‍රපටි තමයි. නමුත් මේ වෙලාවේ ටෙලිවිෂන් එක වටේ තමා ගොඩක් අය ඉන්නේ. හෙට මට පුළුවන් වුණොත් මට අවශ්‍ය කරන බජට් එක ඇතුළේ චිත්‍රපටියක් කරන්න මම චිත්‍රපටියක් කරනවා. මම ඒකට පසුතැවෙන්නේ නැහැ. මම හැබැයි මගේ නිෂ්පාදකවරයාට වග කියන්න ඕනෑ. ඒ වගකීම අරගෙන තමා මම නිර්මාණයක් කරන්නේ.

අනූෂා රණසිංහ


සිරිසුමන හිමි ගැන ඇත්ත කතාව මෙතැනින්

Share on Google Plus

About admin

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 Comments :