ads
News
Loading...

මුදිත එක්ක කෝපි බොමු ද


 
කාල⁣යකට කලින් කොපි විත් ලහිරු ඇන්ඩි මුදිත වැඩසටහන ගොඩක් ජනප්‍රිය වුන මතක ඇති.ඉතින් ස්වර්ණවාහිනී අලුත් වැඩසටහනක් පටන් ගන්න යනව.ඒකෙ නම කොෆි ස්ටුඩියෝ.මුදිත තමයි මෙි වැඩෙිට මුලපුරල තියෙන්නෙ.අපි මුදිතට වැඩෙිට ගොසිප්ලන්තය තුලින් සුබපතනව.

පහළින් මුදිත එක්ක කරපු සංවාදයක්( උපුටාගැනීමක්)

🖌🖌🖌
 කවුද මේ "මුදිත විජේසුන්දර" කියල කියන්නෙ? ඔබේ පවුලේ කෙනෙක් ගෙන්, සමීප මිතුරෙක් ගෙන්, ඔබ ආයතනයේ වැඩ කරන කෙනෙක් ගෙන් ඇහුවොත් මොන වගේ පිළිතුරක් දෙයි කියල ඔබ හිතනවද?

 "ඒක හරිම සාපේක්ෂ කාරණාවක්. උගත්, බුද්ධිමත්, නිර්භීත කෙනෙක් කියන තැන ඉඳන් නූගත්, කපටි, බියගුලු කෙනෙක් කියන තැන දක්වා පිටස්තර කෙනෙක්ට මාව වර්ගීකරණය කරන්න පුලුවන්. ඒක වෙන්නේ මම ඇසුරු කරන කෙනා, ඇසුරු කරන විදිය, ඇසුරු කරන සිදුවීම්, ඇසුරු කරන ස්ථානය වගේ දේවල් එක්ක. ඒ නිසා බොහෝ දෙනෙක්ට තේරුම් ගන්න අපහසු කෙනෙක් විදියට දැනෙන්න පුලුවන්. නමුත් ඒ අතරේ, සියල්ල සාධාරණව සිදුවිය යුතුයි කියන අසාධාරණ සිතුවිල්ලේ සිටින කොන්දක් සහිත මිනිසෙක් ඔබට මුණ ගැසේවී..."


හැමෝම වගේ සාර්ථකත්වය ගැන කතා කරන නිසා මම ඔබෙන් අහන්න කැමති මොකක්ද
මේ අසාර්ථකත්වය කියන්නෙ කියල....ඔබ ජීවිතයේ අසාර්ථකත්වය අර්ථකතනය කරන්නෙ කොහොමද? මොකක්ද මේ සම්බන්ධයෙන් ඔබේ තියන පැහැදිලි කිරීම?

මුදිත විජේසුන්දර : "මම අසාර්ථකත්වය විදියට දකින්නේ ඉලක්ක වලට ලඟා වීමට නොහැකිවීමයි. ජීවිතයේ යම් යම් කාරණා වලදී එහි අවසාන ප්‍රතිඵලය පිලිබඳව අප කිසියම් රාමුවක් ඇති කර ගන්නවා. ඇතැම් විට එය හොඳම දේ විය නොහැකියි. නමුත් හොඳම දේ සොයාගෙන යන ගමනේදී විවිධ සංධිස්ථාන කරා නිශ්චිත කාලයකදී ලඟා විය යුතු වනවා. ඇතැම් විට වැරදීම්, අතපසුවීම්, ප්‍රමාදවීම්, කලකිරීම්, අහිමිවීම් වැනි පරිබාහිර හේතූන් නිසා අදාල කාලයේදී අපට ලඟාවන්නට නොහැකි වනවා. එයයි අසාර්ථකත්වය"


හොඳ නිර්මාණවේදියෙක් බිහි වෙන්නෙ නිදහස් චින්තනයක් තුළින් කියල කියනව..මේකට ඔබ එකඟද? කලා කෘතියක් හැමවෙලාවෙම කිසියම් වස්තු බීජයකට යටත් වෙලා තමයි නිර්මාණය වෙන්නෙ... එහෙනම් ඔය කියන නිදහස් චින්තනය ඔය කියන තරම්ම වැදගත්ද හොඳ කලා නිර්මාණයක් බිහි වෙන්න? මොකක්ද ඔබේ පැහැදිළි කිරීම?

 "නිදහස් චින්තනය, නිර්මානකරුවෙකුට අවැසි වන එක් සාධකයක් පමණයි..... එම නිසා නිදහස් චින්තනය තුලින් පමණක් මහා නිර්මාණ බිහිවන්නේ නැහැ. නමුත් අදාල නිර්මාණයට නිදහස් චින්තනය තුළ අප කොයිතරම් දේවල් එකතු කරනවාද කියන කාරණය මත නිර්මාණය සාර්ථකද අසාර්ථකද යන්න තීරණය කළ හැකියි....
ඒක තවත් සරලව කිව්වොත්, අපි කලා නිර්මාණ විදියට හඳුනා ගන්නේ නර්තනය, සංගීතය, රංගනය, සිතුවම් යනාදියේ සංකලනයක්....මේ කුමන ක්ෂේත්‍රයේදී වුනත් ඔබ සඳහන් කරන වස්තු බීජය දෙස වෙනස් මානයකින්, වෙනස් ඇසකින් සාම්ප්‍රදායික රාමුවෙන් බැහැරව දකින්න හැකි කෙනා සාර්ථක නිර්මාණයක අයිතිකරු බවට පත්වෙනවා... මේ කියන වෙනස් විදියට දකින්න නම් නිර්මාණකරුවෙකුට හොඳ පරිකල්පන ශක්තියක් තිබිය යුතු වනවා....
ඒ පරිකල්පන ශක්තිය ඇති කර ගැනීමට නිදහස් චින්තනය අවැසියි...."

දැන් කාලේ නළු නිළියන් සැබෑ ජීවිතයෙත් රඟපානව කියල චෝදනාවක් තියනව...ඇත්තද මේක? සැබෑ කලාකරුවෙකුට පෞද්ගලික ජීවිතයක් ගැන හිතන්න වෙලාවක් නෑ...
එහෙම තියෙන්න අවශ්‍යතාවයකුත් නෑ... කියල ඉතා ප්‍රසිද්ධ බොලිවුඩ් රංගන ශිල්පියෙක්
මාධ්‍යට කියල තියනව.....මොකද ඔබ මේ ගැන හිතන්නෙ?

"බොලිවුඩ් රංගන ශිල්පියෙක්ට එහෙම ප්‍රකාශයක් කරන්න පුලුවන්....
මොකද ඔහු නියෝජනය කරන්නේ එරට දැවැන්ත කර්මාන්තයක් නිසා.... නමුත් ඊට සාපේක්ෂව ලංකාවේ ටෙලි, සිනමා ක්ෂේත්‍රය තියෙන්නේ ඉතාම ප්‍රාථමික මට්ටමක. සරලම උදාහරණයක් තමයි, ඉන්දියාවේ සල්මන් ඛාන් චිත්‍රපටයක් වෙනුවෙන්
අය කරන මුදල ලංකාවේ මුදලින් රුපියල් කෝටි 180ක්. නමුත් ලංකාවේ දැනට වැඩිම අය කිරීමක් කරන රංගන ශිල්පියාගේ ගනන රුපියල් ලක්ෂ 20කට ආසන්න මුදලක්. එවන් මුදලක් හෝ ලබා ගැනීමට සමත්ව සිටින්නේ ලංකාවේ අතේ ඇඟිලි ගනනටත් වඩා අඩු ශිල්පීන් ප්‍රමාණයක්. සෙසු බොහෝ ශිල්පීන්ට කරන ගෙවීම් ඉතා කනගාටුදායකයි.....
එය එසේ වුවද නළු නිළියන් යනු සමාජයේ ආකර්ශනීය චරිත වේ. ඔවුන් නළු නිළියන් විදියට ලබන ආදායම , සමාජ ආකර්ශනීය බව පවත්වාගෙන යාමට ප්‍රමාණවත් නොවෙන්න පුළුවන්. එහිදී ඔවුන්ට පෞද්ගලික ජීවිතය තුළත් යම් රඟපෑමක් කරන්නට සිදුවෙන්න පුළුවන්....එය වර්තමාන නළු නිළියන්ගේ වැරැද්දක් නොව අසරණකමයි. නමුත් එය නිෂ්පාදකවරුන්ගේ අසරණකම නෙවෙයි... ඔවුන් හිතාමතා කරන වැරැද්දක්....."

 ඔබ ඉන්න ක්ෂේත්‍රයේ විවේචනයන්, අපහාස, මඩ ගැසීම් ඉතා බහුලයි. මේවට ඔබටත් මුහුණ දෙන්න වෙනව ඇති. අසාධාරණ විවේචනයන් ඉදිරියේ ඔබ කටයුතු කරන්නෙ කොහොමද?

"මාධ්‍ය ක්ෂේත්‍රය තුළ ගෙවෙන්නේ මගේ 18 වෙනි අවුරුද්ද. ඔබ කියපු කාරණා කැපිලි කෙටිලි හොඳින්ම අත්විඳින කාලයක් මේක. ක්ෂේත්‍රයට පැමිනි මුල් කාලයේ දී එවැනි දෙයක් අහන්න, අත්විඳින්න ලැබුනාම හිතට පොඩි තිගැස්මක් ආවා....
ඒක ආධුනික බව නිසා වෙන්න ඇති. මැද භාගයේ දී එවැනි දේවල් වලට හා ඒවා කරන මිනිස්සුන්ට එරෙහිව විවිධ ක්‍රම වලින් ප්‍රතිචාර දැක්වූවා.... නමුත් වර්තමානයේ දී මම බොහොම නිහඬයි. බෞද්ධ දර්ශනය අනුව මගේ ගමන විවිධ ක්‍රම වලින් නැවැත්වූ අයටත් දැනට නවත්තන්න උත්සහා කරන අයටත් අදාළ කර්මයට මුහුණ දෙන්න වෙනවා...... එදාට මම ඒ දිහා බලලා සතුටු වෙන්නේ නෑ. උපේක්ෂා සහගතව ඉන්නවා..."

"ආසියාතික රටවල ගැහැනුන්ගෙ කඳුළු වලට හොඳ ඉල්ලුමක් තියනව" මේක ඔබ ක්ෂේත්‍රයේ ඉන්න කෙනෙක් විදිහට අහල ඇති. ඇත්තද මේ කථාව? දැන් රූපවාහිනී නාලිකාවල විකාශනය වන Indian, Korean Films අලෙවි කරන්නෙ ගැහැනියකගේ චිත්ත සංවේගයද? මේක කරන එක හොඳද? ඔබේ අදහස මොන වගේද?

මුදිත විජේසුන්දර : "ආසියාතික මිනිසුන් කියන්නේ ඉතාම සංවේදී සහ හැඟීම්බර මිනිස් කොට්ඨාශයක්. එය කාන්තාවන්ට පමණක් සීමාවූ කාරණයක් නෙවෙයි. පිරිමිනුත් එලෙසමයි..... ඔවුන් සතුටේදී උපරිමයෙන් සතුටු වන්නා සේම දුකේදී ඉතාමත් දුක්වන පිරිසක්.... මේ කාරණාව මැනවින් වටහාගත් ටෙලිවිෂන්කරුවන් දුක මාකට් කිරීමට පෙලඹීම අරුමයක් නෙවෙයි..... ඔවුන්ගේ එම උත්සහාය අද වෙද්දි අපේ රට තුළ නම් ඉතාමත් සාර්ථක වී තිබෙනවා..... රූපවාහිනි සමීක්ෂණ දත්ත වාර්තා ඊට සාක්ෂි සපයනවා. වර්තමානයේ රූපවාහිනි නාලිකා අතර ප්‍රේක්ෂක ග්‍රහණයට සහ ආදායම් තර කර ගැනීමට ඇත්තේ දැඩි තරඟයක්. ඉතින් එවැනි වට පිටාවක් තුළ මම එය හොඳයි කීවත් නරකයි කීවත්
මගේ පිළිතුරෙන් ලොකු බලපෑමක් ඇතිවෙන්නේ නැහැ. හේතුව නාලිකාවන් ඒදෙස බලන කෝණය සහ ඔබේ ප්‍රශ්නය තුළින් බලන කෝණය, අහසට පොළොව මෙන් දුරස්ථ නිසා. නමුත් මාගේ විචාර පරාසය තුළ හොඳ හා නරක දෙපසම සම සමව පෙනෙනවා....."

තමන්ගේ නිර්මාණ වෙනුවෙන් අසාධාරණ මූල්‍ය කේවල් කිරීමක් ඉදිරියේ ආදුනික නිර්මාණකරුවෙකු මොනවද කරන්න ඕන? මොනවගේ තීරණද ගන්න ඕන ඔබ හිතන විදිහට?

" ඒක බොහෝ විට පැන නැගෙන ප්‍රායෝගික ප්‍රශ්නයක්. අද ලෝකයේ බහුවිධ දේවල් තීරණය වන්නේ මුදල් මත. එවන් වට පිටාවක තමන්ම ආයෝජනය
කර තමන්ම නිර්මාණය කරන නිෂ්පාදනයකදී ඒ ගැටලුව දැඩිව බලපාන්නේ නැහැ.....
හේතුව නිර්මානාත්මක සහ මූල්‍යමය වපසරිය පිලිබඳව තමන්ට වැටහීමක් ඇති නිසා.....
නමුත් අපගේ නිර්මාණයකට වෙනත් පාර්ශවයක් වටිනාකමක් දෙන මොහොතකදී අදාළ මුදල තුල අප නිර්මාණයේ මූලික අවශ්‍යතා ඉටු කල ගත යුතුයි.... දෙවනුව එහි නිර්මාණාත්මක අගය උසස් කිරීම සඳහා අවැසි දෑ වෙනුවෙන් ආයෝජනය කලයුතුයි.
තෙවනුව ලාභ ලැබීම පිලිබඳව විමසා බැලිය යුතුයි.... මෙම තත්වයද ආධුනික නිර්මාණකරුවෙකුට එකවර ක්‍රියාත්මක නොකල හැකි අතර ක්ෂේත්‍රය පිලිබඳව යම් ආකාරයක අත්දැකීම් ප්‍රමාණයක් ඔහු සතුවිය යුතුය.....


"හෙන්‍රි ෆෝඩ්" හදපු කාර් එකේ "Reversing gear" එකක් තිබුනෙ නෑ.... "Reversing gear" එකක් හදන්න මහන්සි වෙවී හිටියනම් තාමත් කාර් එකක් ලෝකෙට නැති වෙන්න තිබුන..... කියල අන්තර්ජාලයේ ප්‍රසිද්ධ කථාවක් තියනව.......ඔබ හිතන විදිහට කලාව සහ ඔබ නියැලෙන ක්ෂේත්‍රය ගැන කතා කරන කොට නිර්මාණකරුවෙක් Reverse Gear එක හදලමද කාර් එක එලියට ගන්න ඕන?

මුදිත විජේසුන්දර : "එතැන පොදු අදහස, යම් දෙයක පරිපූර්ණභාවයයි.... නමුත් රිවර්ස් ගියර් එකේ කතාව කලාවට මුසු කර ගන්නවා නම් ටිකක් පරිස්සමින් ඒ දේ කරන්න ඕනී....
හේතුව නිර්මාණකරුවෙක් තමන්ගේ නිර්මාණය මිනිසුන් අතරට එළි දක්වන්නේ එය සියලු අංගයන්ගෙන් සම්පූර්ණයි කියන හැඟීම ආවට පස්සේ..... නමුත් එය ප්‍රේක්ෂකයින් හා විචාරකයින් දකින විදියට යම් යම් ලක්ෂණ වලින් පරිපූර්ණ නොවී තියෙන්නට පුලුවන්..... එහෙම බලද්දී Henry Ford රිවර්ස් ගියර් එකත් එක්කම මෝටර් රථය එළි දැක්වුවත් වාහනය පදින කෙනා රිවර්ස් කරන වේගය, එහි ශබ්දය, කම්පනය ආදියේ අඩු පාඩු දකිනවා නම් එය සම්පූර්ණ නිමැවුමක් වෙන්නේ නෑ..... ඒනිසා පරිපූර්නභාවය කියන දේ සාපේක්ෂයි......

බොහෝ ක්ෂේත්‍රවල විශේෂයෙන්ම කලා ක්ෂේත්‍රයේ මාධ්‍ය ක්ෂේත්‍රයේ මේ ප්‍රවීණ යැයි කියන පිරිසක් ඉන්නව...ක්ෂේත්‍රයේ කලක් හිටියාම ප්‍රවීණත්වය තමන්ට නිරායාසයෙන් ආරූඪ කරගන්න පිරිසකුත් ඉන්නව....බොහොමයක් ප්‍රවීණයන් තරුණ පිරිස දිහා බලන්නෙ දක්ෂතාවයන් අඩු, දවසින් දෙකෙන් තරු වෙන්න හදන, මුදල් පසු පස පමණක්ම හඹා යන පිරිසක් විදිහට...තරුණයන් 70 දශකයට බැන බැන ඉන්නව..ඇත්තටම මොකක්ද මේ ප්‍රවීණත්වය කියල කියන්නෙ? මොකක්ද මේ ගැටුම? ඇයි මෙහෙම වෙන්නෙ? මේක මෙහෙම විය යුතුද? අවංකවම ඔය කියන 70 දශකයද හැමදේකම ස්වර්ණමය යුගය? මොකක්ද ඔබේ පැහැදිළි කිරීම?

"ප්‍රවීණත්වය විදියට මම දකින්නේ යම් කාර්යයක පළපුරුද්ද තුලින් ගොඩනැගෙන දක්ෂකමයි.... එතැනදී වයස කියන්නේ ඉලක්කමක් විතරයි.... ඒනිසා කෙනෙක් දැඩි කැපවීම, හැකියාව නිසා පොඩි වයසකදීම ප්‍රවීණත්වය ලබා ගන්නවා විය හැකියි. නමුත් සතත අභයාසයේ නොයෙදෙන කෙනෙක් කොයිතරම් වයස ගියත් ප්‍රවීණත්වය ලබාගන්නේ නෑ.... ඔබ සඳහන් කරන ගැටුම තිබෙන්නේ සුලුතරයක් අතරේ පමණයි. ඒකට හේතුව මම පෙර කිවූ විදියට ප්‍රවීණත්වයට පත්නොවූ වැඩිහිටියන් යම්කිසි කුහක මානසිකත්වයකින් තරුණ පරපුර දෙස බැලීමට හුරුවී තිබෙනවා..... එතැනදී මතුවෙන අදහස් හා මතවාද ගැටුමක් විදියට සමාජයට දර්ශනය වෙනවා.... නමුත් සැබෑ ප්‍රවීණ වැඩිහිටියෙක් මේ කාරනාවේ දී ඉතා නම්‍යශීලීයි....70 දශකය ගැන කතා කරද්දී රසක් ඇති නිර්මාණ රැසක් රටට දායාද වුනු කාලයක් තමයි ඒ.... එවකට ලංකාවේ ප්‍රචලිතව තිබෙන්නේ සිනමාව හා ගුවන් විදුලිය පමනයි.... ඒ තුලත් අවස්තාව හිමිවුනේ ඉතා
සීමිත පිරිසකට පමණයි. නමුත් 80 දකයේදී රූපවාහිනි ආගමනය සිදුවනවා.....
ඊටත් පස්සේ අන්තර්ජාලය පැතිර යනවා..... ඒ ඔස්සේ රටට ලැබෙන නිර්මාණ හා නිර්මාණකරුවන්ගේ ප්‍රමාණය සිඝ්‍ර ලෙස ඉහල යනවා.... එතකොට නිර්මාණයකට ලැබෙන ආයු කාලය ඉතාමත් කෙටි වෙනවා..... එදා ගුවන් විදුලි නාලිකා තිබුනේ එකයි..... අද 50කට ආසන්න ගනනක් තියෙනවා..... රූපවාහිනි නාලිකා 20ක් පමන. මේ සියල්ලෙන්ම දිනකට නිර්මාණ සිය ගනනක් එළි දැක්වෙනවා..... ඉතින් ඒ සියල්ලටම ඉඩ ලබාදෙන්නට අපේ මතක ශක්තිය ප්‍රමාණවත් වෙන්නේ නෑ.... ඒ නිසා 70 දශකය ස්වර්ණමය කියලා කියන්න පුලුවන්......"

 අවසාන වශයෙන් ඔබට ආදරේ කරන පිරිසක් ඇති..ඔබෙන් යමක් ඉගන ගන්න ආසාවෙන් ඉන්න අය ඇති...තරුණයෙකුට ජීවිතය ජය ගන්න ඔබ යෝජනා කරන වෙනස් වැඩ පිළිවෙලක් අළුත් දෙයක් තියනවද? ඔවුන් වෙනුවෙන් මුදිත විජේසුන්දර ට මොනව හරි කියන්න තියනවද? මේ කතා-බහට එකතු වුනාට ඔබට බෙහෙවින් ස්තූතියි. ඉදිරියේ ඔබේ වැඩ කටයුතු සාර්ථක වෙන්න සෙනෙහසින් සුබ පතනව. ස්තූතියි...

 "අප කොයිතරම් කැමතිවුවත් අප හැමෝටම කලාව කල නොහැකියි.....
අනෙකුත් ක්ෂේත්‍ර වලට වුනත් මේ කාරනය පොදුයි..... ඒ නිසා ජීවිතයේ තරුණ වයස එලඹෙත්ම තමන්ගේ හැකියාව කුමන මාවතට දැයි අවබෝධ කරගෙන සිටිය යුතුයි....
ඒ අනුව අදාළ කේෂේත්‍රයට අනුකූල උසස් අධ්‍යාපනය හා පළපුරුද්ද ලබා ගැනීමට තරුණ
අවධිය පාවිච්චි කල යුතුයි.... බොහෝ දෙනෙකු තම හැකියාව තේරුම් නොගැනීමත් වැරදි
කේෂේත්‍ර තෝරා ගැනීමත් නිසා තමයි අසාර්ථකත්වය තම ජීවිත වලට ලඟා කරගන්නේ....
ඒ නිසා එවන් තත්වයක් ඇති කර නොගැනීමට තම තමන් වග බලාගත යුතුයි......"
වික්ටර් කිව්ව කතාවක්  මෙතැනින් කියවන්න.
Share on Google Plus

About admin

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 Comments :