ads
News
Loading...

පාට පාට හිත් ගැන අලු පාටින් කතාකරන චාමනී මෙතෙක් නොකියූ කතාව



කිවිදියන්ගේ පහල වීම පුදුමයක් නෙවෙි.ඔවුන් කලින් කලට සමාජය තුල මතුවනව.අද ගොසිප්ලන්තය art one හරහා කතාබහට එක්වන්නේ චාමනී ප්‍රේමතිලක කිවිඳියයි.ඇය මුල්වරට " අළු " කාව්‍ය ග්‍රන්ථය ගැන මෙලෙස සම්මුඛ වුනා.

*.සැප්තැම්බරය ගැන සාහිත්‍ය රසකාමීන්ට තියෙන උනන්දුව වැඩිකරවන්න පුංචි කුතුහලයක් චාමනී ලග තියෙනව.අපිඑතනින්ම කතාව පටන්ගමු

ඔව්. මේ සැප්තැම්බරයෙදි මම අවුරුදු ගාණක් තිස්සෙ ලියපු කවි අතරින් කීපයක් පොතක් විදියට එළි දක්වනවා. කවි කීවට එතැන තියෙන්නෙ නිදහසේ ලියවුනු විවිධාකාරයේ ලියවිලි. නිසඳැස්, සඳැස්, කෙටි කවි, ඉතා කෙටි කවි. තවත් එක කවි පොතක් හෝ පොත් එළි දැක්වීමක් නොවී පොතේ පිට කවරෙ ඉඳන් ලෝන්ච් එක දක්වාම ටිකක් වෙනස් ආරක් ගන්න විදියට තමයි සැලසුම් කරලා තියෙන්නෙ.

*මිනිස් සිත විවරණය කරන්නට කවිය හොදම තැනක්.එතනදි මෙි පොතට අළු යන නම යෙදීම තුලත් සංකල්පමීය වටිනාකමක් තියෙනව නේද?

ඇත්තටම පොතේ කවරෙට අළු කියන වචනය ලිවීමෙදි "ළු" සහ "ලු" යන අකුරු දෙකම යොදාගෙන තියෙනවා. ඔබ කිව්වා වගේ මිනිස් සිත විවරණය කිරීමක් තමයි මගේ පොතින් මම කරන්න උත්සාහ කලේ. මට දැනෙන විදිහට මිනිස් සිතේ හටගන්නා බොහෝ සිතුවිලි කලුත් නොවේ සුදුත් නොවේ අළු පාටයි. අපි සාමාන්‍යයෙන් චරිත හෝ සිද්ධීන් විග්‍රහයෙදි කලු පාට නපුර, නරක යන අර්ථ දෙන ලෙසත් සුදු පාට හොඳ, පිරිසිදු යන අර්ථ දෙන ලෙසත් පාවිච්චි කරනවා. ඒ අර්ථ ඇසුරින් සාමාන්‍ය මිනිසකුගේ සිත දිහා බැලුවොත් කළු සුදු දෙකම මිශ්‍ර වී අළු පැහැයක් තමයි තියෙන්නෙ. ඒ වගේ අළු පැහැ චරිත ගැන, අළු පැහැ සංසිද්ධි ගැන, අළු පැහැ හැඟීම් ගැන තමයි මගෙ පොත ලියවෙලා තියෙන්නෙ. මේ නමට යන්න මාව පොළඹවපු තවත් අර්ථයක් තමයි දැවීමෙන් පසු ඉතිරි වන අළු හෙවත් ගිනිගත් හැඟීම් වල අවශේෂ කියන තේරුම. පොතේ සමහර ලියවිලි වල තියෙන්නෙ ජීවිතය අල්ලාගන්න තියෙන සියළු හේතු නැතිවුනු මිනිස්සු ශෝකයෙන්, වෛරයෙන් පිච්චිලා අළු වුනු මිනිස්සු කොහොමද ඒ අළු මතින් නැගිටින්නෙ කියනෙක. අලු කියන්නෙ ආලෝකය. කොහොමද අළු මතින් ෆීනික්ස් කුරුල්ලා නැගිට්ටා වගේ ආලෝකයත් එක්ක නැගිටින්නෙ කියනෙක.. ඒ වගේම ජීවිතය කෙරෙහි ආශා උපදවන බලාපොරොත්තු, හීන ගැනත් කියවෙන තැන් තියෙනවා.. "ලු" යන්න යොදාගන්න හේතු වුන කාරණාවක් ඒක.

*කවිය කවිඳිය මෙි දේවල් වලට සමාජයෙන් ලැබෙන ප්‍රහර්ෂනාත්මක ඇගයුම ඔබ විදගන්නෙ කෝමද

මට කවිය දැනෙන්නෙ හැඟීම් දැනවීමේ හා ප්‍රකාශ කිරීමේ මාධ්‍යයක් විදියට. අද සමාජය බොහෝ කලබලකාරීයි. මේ කලබලකාරී ගමන යද්දි ප්‍රහර්ෂය, වින්දනය ගෙන දිය හැකි බොහෝ කුඩා දේ මඟ හැරෙනවා. ඉතින් කවියකින් සමාජයට ඒ මඟ හැරෙන ප්‍රහර්ෂය ගෙනදෙන්න පුලුවන් නම් මම හිතන්නෙ ඒ කවිය යම්තාක් දුරකට සාර්ථකයි කියලා.

මම මුලදි කවි ලිව්වෙ අතිශය පෞද්ගලික තැනකින් අල්ලාගෙන හුදෙක් මගේ රස වින්දනයට පමණයි. නමුත් ටිකෙන් ටික විවිධ මාධ්‍ය ඔස්සේ මගේ කවි යම්තාක් දුරට හෝ සමාජගත වෙද්දි කියවන්නන් මගේ කවි ඔවුන්ගේ කරගත්තා. ඔවුන්ගේ අත්දැකීම්, සංවේදනා, අවබෝධතා වපසරිය ඔස්සේ ඔවුන් මගේ අකුරු විවිධාකාරයෙන් විඳින්නත් ඒ පිළිබඳ ගුණ දොස් විවරණයේ යෙදෙන්නත් පෙළඹුනා. ඉතින් මේ අතරින් මට ලැබුනු ප්‍රහර්ෂනාත්මක ඇගයුම් ඉතා වින්දනීයයි. මේ ඇගයීම් මට විශාල ධෛර්‍යයක්, ශක්තියක් ගෙන දුන්නා.



*කවි වලට පෙම්කරන රසිකයන් අතර ඩිජිටල් අවකාශය තුල ඇතැම් තැනක තරඟකාරී බවක් කවිදියන් අතර ඉස්මතු කරවන අය නිර්මාණය වීම ගැන අදහස?

කවිය කියන්නෙ බොහොම සංයමයෙන්, නිස්කාංසුවේ ලිවිය යුතු හා රස විඳිය යුතු මාධ්‍යයක්. නමුත් කවි ලියන්නන් විදියට අපිත් එහි රසිකයනුත් අද ජීවත් වෙන්නෙ ඉතා තරඟකාරී, කලබලකාරී සමාජ වටපිටාවක. අපේ ජීවිතේ කාර්‍ය බහුලත්වය එක්ක අපිට නිර්මාණ බිහි කිරීම සහ රස විඳීම සඳහා කැප කල යුතු කාලය සීමාවෙන නිසා අර මම කියපු සංයමය හා නිස්කාංසුව අපෙන් ගිලිහිලා යනවා. ඉතින් මේ නිසා කවියේ ගුණාත්මක බවත්, රස විඳීමේ පරාසයත් සීමා වෙනවා.

ඒ වගෙම ඔබ මේ ප්‍රශ්නයෙන් ඉදිරිපත් කල විදියට මේ වටපිටාව ඇතුලෙ කවියන් කිවිඳියන් අතර අනවශ්‍ය තරඟකාරී බවක් ඇති කරන්න උත්සාහ දරන අයත් නිර්මාණය වෙනවා. ඔවුන් යම් යම් පෞද්ගලික ඇජෙන්ඩා, ලාභ ප්‍රයෝජන තකා මේ දේ කරනවා වෙන්න පුලුවන්. නමුත් නිර්මාණකරුවන් විදියට අපි දැනගන්න ඕන මේවාට ගොදුරු නොවී සිටීමට සහ අපේ පාඩුවේ පරෙස්සමෙන්, සීරුවෙන් අපේ ගමන යන්නට. එය හුඟක් අසීරු දෙයක්. විශේෂයෙන්ම ඩිජිටල් මාධ්‍යය එක්ක ගනුදෙනු කරන නවක කවියෙක්ට හෝ කිවිඳියක්ට.



* ලිංගිකත්වය වැනි මාතෘකා හරහා සිදුවන කාව්‍යකරණය වැහිවහින වටපිටාවක ඊට ඔබ්බට ගිය කාරණා කතාබහකට තියෙන ඉඩ කඩ ?

ඔව් ලිංගිකත්වය වැනි මාතෘකා සුලබව කවිය හරහා වර්තමානයේදී සාකච්ඡා වෙනවා. නමුත් කවිය කියන්නෙ ලිංගිකත්වය මත පමණක් පදනම් විය යුතු දෙයක් නෙවෙයි. නමුත් ඉන් මම අදහස් කරන්නෙ නැහැ ලිංගිකත්වය කතා නොකල යුතුයි කියල. මම අදහස් කලේ කවිය ඕනෑම මාතෘකාවක් ගැන කතා කිරීමේදී උත්‍ප්‍රේරකයක් ලෙස යොදාගන්න පුලුවන් කියනෙකයි. උදාහරණයක් ලෙස මහගමසේකර ලිංගිකත්වය ගැන වගෙම සමාජයේ උස් මිටි මැනුම්, සහෝදරකම්, මිතුරුදම්, කම්කරු පන්තියේ විප්ලවකාරී අදහස්, දුප්පත් අම්මාගෙ ආදරය වගේ බොහෝ දෑ ගැන ලිව්වා. අද අපි හුඟක් වෙලාවට කවිය සම්බන්ධ කරගන්නෙ ලිංගිකත්වයට හෝ ප්‍රේමයට. නමුත් ඊට වඩා බොහෝ විශාල වපසරියක් කවියට තියෙනවා. අදත් මේ මාතෘකා කතාබහ කරන කවියන්, කිවිඳියන් අතලොස්සක් අප අතර ඉන්නවා. මම හිතන්නෙ අපි සමාජයේ ඒ ඉඩ සාදාගත යුතුයි. ලිංගිකත්වය වැනි මාතෘකා වුවත් බහුලව කතා නොකෙරෙන මානයන් ගෙන් සාකච්ඡාවට ගන්න කවිය යොදාගන්න පුළුවන්.

* දැන් ඔබ ඔබෙි කාව්‍ය සංග්‍රහය එලිදක්වන්න සූදානම්.ඒ ගැනත් කියමු

ඔව්. මගේ නිසඳැස්, සඳැස්, කෙටි කවි රැගත් කුඩා පොත් පිංච "අළු" නමින් සැප්තැම්බර් 12 වෙනි සෙනසුරාදා සවස 4 ට කොළඹ සුදර්ශියේ නුග ගහ යටදී ජනගත වීමට නියමිතයි. සවස 3 සිට 7.30 දක්වා එම අවකාශයේ රැඳෙන්නට, ඔබ සමඟ අදහස් හුවමාරු කරගන්නට මම බලාපොරොත්තු වෙනවා. එදාට දේශන සහිත සාමාන්‍ය පොත් එළි දැක්වීමකින් එපිටට ගිය විවිධ මාධ්‍යයන්ගෙන් ඉදිරිපත් වන මගේ නිර්මාණ සමඟ ඒකාත්මික විය හැකි, ක්‍රියාකාරී ලෙස ඔබටත් සහභාගී විය හැකි නිදහස් ආරකින් ඉදිරිපත් වන වෙනස් වැඩසටහනක් ඔබටත් අත් දකින්න ලැබේවි.


Share on Google Plus

About admin

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 Comments :