ads
News
Loading...

දේවානි නැවතත් කරළියට


“Crudia zelanica සහිත පරිසර පද්ධතිය විනාශ කර හදන අධිවේගය ගම්පහට එපා!,” මේ සටන් පාඨය ලෝකයෙන් තුරන් වී ඇති බවට ලෝක රතු දත්ත නාමාවලියේ පවා සඳහන්ව තිබූ ශ්‍රී ලංකාවට ආවේණික වූ ශාකයක් අධිවේගී මාර්ගයකට බිලි වීමෙන් බේරා ගැනීම සඳහා පරිසරයට ආදරය කරන තනි කාන්තාවක වන ගම්පහ දිසා වන නිලධාරිනී දේවානී ජයතිලක මහත්මිය හුදෙකලාව නගන හඬකි.

මීගමුවේ කඩොලාන රක්ෂිත ආරක්ෂා කර ගැනීම සඳහා අමාත්‍යවරුන් ඉදිරියේ පවා යකඩ ගැහැනියක මෙන් එරෙහිව නැගී සිටි ඇය මේ සුවිශේෂී ශාකය බේරා ගැනීම සඳහා හුදෙකලා සටනක නිරත වී සිටී.

ගසක් රැක ගැනීමට හුදෙකලා සටනක

1998 වසරෙන් පසුව හමු නොවූ මෙම ශාකය 2019 වසරේදී හදිසියේ හමුවීම නිසා මහනුවර අධිවේගී මාර්ගයේ කඩවත සිට මීරිගම දක්වා දිවෙන කොටසේ ඉදිකිරීම් අත්හිටුවීමට පියවර ගැනිණි.

කෙසේ වෙතත්, වසරකට පමණ පසු යළිත් අදාළ අධිවේගී මාර්ග කොටස ඉදිකිරීම සඳහා එම දුර්ලභ ශාකය පිහිටි භූමි ප්‍රදේශය හෙළිපෙහෙළි කරමින් සිටියදී දේවානී ජයතිලක මහත්මිය එම ස්ථානයට පැමිණ එම වැඩ කටයුතු නතර කළාය.

ඇය එහිදී ප්‍රකාශ කළේ, අදාළ ශාකය වෙනත් ස්ථානයක සිටුවීමට තීරණය කර ඇති බවක් පැවසුව ද, එවැනි කටයුත්තක් සඳහා අවශ්‍ය තාක්ෂණය ශ්‍රී ලංකාවේ තිබේ ද යන්න පිළිබඳව සැක සහිත බවය.

එසේ ම එය වෙනත් ස්ථානයක සිටවීමෙන් පසු එය සාර්ථක වනු ඇත් ද යන්න පිළිබඳව ද සැක සහිත බව ඇය පැවසීය.

“මේ වගේ ගහක් වගේ ම මේ වගේ පරිසර පද්ධතියක් නිර්මාණය වෙන්න අවුරුදු කීයක් ගත වෙයි ද? මේක විනාශ කරන්න දෙන්න බැහැ,” දේවානී ජයතිලක මහත්මිය අවධාරණය කළාය.

මොකක් ද මේ ශාකය?

ගම්පහ, දාරළුව දුම්රිය ස්ථානය ආසන්නයේ පිහිටි වන ලැහැබකින් මෙම ශාකය හමුවී තිබේ.

එම ශාක විශේෂය 2006 ජාත්‍යන්තර රතු දත්ත නාමාවලියේ (Red Data List) ලොවින් වඳ වී ගිය (Extinct) ශාක විශේෂයක් ලෙස දක්වා ඇති අතර, 2012 ජාතික රතු දත්ත නාමාවලිය ද (National Red Data list) මෙය වඳ වී ගිය ශාකයක් ලෙස (Extinct) දක්වා තිබේ.

මෙම ශාකය පිළිබඳව ලැබුණු තොරතුරක් මත මුලින් ම හඳුනාගනු ලැබ ඇත්තේ, හිමේෂ් ඩිල්රුවන් ජයසිංහ නමැති පරිසරවේදියාය.

නීතිමය තත්ත්වය

මෙම සුවිශේෂී ශාකය වන සත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනතේ 42 වන වගන්තිය යටතේ තිබෙන viii වන උප – ලේඛනයේ ඇතුළත් ආරක්ෂිත ශාකයක් බව පරිසරවේදී නීතිඥ ජගත් ගුණවර්ධන පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ, එවැනි ශාකයක් විනාශ කිරීම හෝ හානි කිරීම තහනම් බවය.

පරිසරවේදී නයනක රන්වැල්ල පැවසුවේ, ලෝකයට ම ඉතිරි වී ඇති අවසන් කෲඩියා සිලනිකා ශාක දෙක මෙහිදී හමුවී ඇති හෙයින් එම ශාක ආරක්ෂා කිරීමට වහා පියවර ගත යුතු බවය.

අදාළ ශාක සම්බන්ධයෙන් පරීක්ෂණ කටයුතු සිදුකළ, පේරාදෙණියේ පිහිටි ජාතික ශාකාගාරය පැවසුවේ, මෙම ශාකය කෘඩියා සිලනිකා ශාකය බවට තහවුරු වූ බවය.

එම ශාකයේ බීජ රෝපණය කිරීම සාර්ථකව සිදුකර ඇතැයි ද එම ආයතනය පැවසීය.

කෙසේ වෙතත්, දේවානී ජයතිලක මහත්මිය පෙන්වා දෙන්නේ, වෙනත් ස්ථානයක රෝපණය කර කුඩා පැළ සාර්ථකව වැඩේවි ද යන්න පිළිබඳව විශ්වාස කළ නොහැකි බවය.

අනෙක් අතට, ප්‍රමාණයෙන් විශාලව වැඩී ඇති මෙම ශාකය විනාශ කිරීම අපරාධයක් බව ද ඇය අවධාරණය කළාය.
Share on Google Plus

About admin

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 Comments :