ads
News
Loading...

රෝගී සැමියව සුව කරගන්න මහපාරේ බත් පැකැට් විකුණන සරන රුසියන් කත මෙන්න



මාලබේ සිට කඩුවෙල දෙසට ගමන් කරන විට වැලිවිට මංසන්ධියේ ඇති ස්ලිට් ආයතනය ඉදිරිපිට පදික වේදිකාවේ බත් පැකට් අලෙවි කරන තරුණ යුවළක් දැකිය හැකිය. විශාල කුඩයක ආවරණය යට බත් විකුණන මෙම යුවළ වෙනත් බත් වෙළෙන්ඳන්ට වඩා වෙනස්ය. තරුණයා ශ්‍රී ලාංකිකයෙකි. තරැණිය රුසියානු කාන්තාවකි. ඔවුන් අලෙවි කරන්නේ රුසියානු බිරියානිය. එහි විශේෂත්වය වන්නේ ඔවුන්ගෙන් හැර දකුණු ආසියාවේ කිසිම ස්ථානයකින් එම විශේෂිත බිරියානි ලබාගත නොහැකි වීමය.
මෙම ව්‍යාපාරය ආරම්භ කොට ගත වී ඇත්තේ සති තුනක් පමණි. බත් පැකට් 20කින් පමණ ඇරඹි ව්‍යාපාරය මේ වන විට දිනකට බත් පැකට් 70ක් පමණ අලෙවි වන තරමට ජනප්‍රියය. බොහෝ පිරිස් ඔවුන්ගේ බිරියානි මිලට ගැනීමට පැමිණෙන හෙයින් පැය දෙක තුනකින් කෑම අවසන්ය. අප කතා කරන්නේ ඔවුන්ගේ බිරියානි ව්‍යාපාරය ගැන නොවේ. ඒ පසුපස සැඟව ඇති ඛේදනීය කතාව පිළිබඳවය.
තරුණයා මනීෂය. ඔහු ආචාර්ය උපාධිධරයෙකි. එම ආචාර්ය උපාධිය ශබ්ද පරිපාලන ඉංජිනේරැවරයකු ලෙසිනි. එම ක්ෂේත්‍රයෙන් ආචාර්ය උපාධියක් ඇති මෙරට සිටින එකම පුද්ගලයා මනීෂය. ශ්‍රී ලංකාවේ පළමු වරට වන් එෆ් එම් ශ්‍රී ලංකා නමින් වෙබ් ගුවන් විදුලි නාළිකාවක් ආරම්භ කළේ ඔහුය. ඔහු යටතේ 40කට ආසන්න පිරිසක් සේවය කළෝය.
තරුණිය ස්වෙත්ලානා ව්ලැදිමිව්රෝනා ප්‍රොස්කූර්යාකෝවාය. ඇගේ පියා රැසියානු රාජ්‍ය නිලධාරියෙකි. රුසියාවේ ෆින්ලන්ත සීමාවේ මුරමන්ස් නගරයේ වාසය කළ ඇය වෘත්තියෙන් ගණකාධිකාරිනියකි. වසර 13ක් පමණ රැසියාවේ වාසය කළ මනීෂට ස්වෙත්ලානා හමු වූයේ එහිදීය. ඔවුන් අතර පැවතියේ හුදු මිතුදමක් පමණි. අධ්‍යාපන කටයුතු අවසන් කළ මනීෂ ලංකාවට පැමිණි අතර 2015 දී ස්වෙත්ලානා ද ශ්‍රී ලංකාවේ සංචාරයක් සඳහා පැමිණියාය. සංචාරය අවසන් කොට යළි සිය රට බලා යන්නට ගිය ස්වෙත්ලානාට තම ගුවන් යානය මගහැරිණි. ඇයට තවත් මාසයක කාලයක් ශ්‍රී ලංකාවේ රැඳී සිටින්නට සිදු විය. එම මාසය පුරාවට තම මිතුරිය රැකබලා ගත්තේ මනීෂය.

යළි රැසියාවට ගිය තරැණියට තම ශ්‍රී ලාංකික මිතුරා අමතක කළ නොහැකි විය. දෙදෙනා අතර පැවැති මිතුදම ආදරයක් බවට පත්විය. වසරකට පසු ඇය තම රුකියාවෙන් ඉවත්ව යළි ශ්‍රී ලංකාවට ආවේ මනීෂ හා විවාහ වීමටය. 2016 මාර්තුවේ දෙදෙනා විවාහ වූහ. සුන්දර සිහින දකිමින් නව දිවියක් ඇරඹූ ඔවුන්ගේ ලෝකය බිඳ වැටෙන්නට ගත වූයේ වසරක පමණ කාලයකි.
කලක සිට දියවැඩියාවෙන් පීඩා විඳි මනීෂගේ පාදයක් හිටි හැටියේ ඉදිමී දණහිස පිටුපස තුවාලයක් ඇති විය. එයට කොළඹ ජාතික රෝහලේ දී ශල්‍යකර්මයක් සිදු කෙරිණි.. සිව් මසක් රෝහලේ සිටි ඔහුට තුවාල සුවවීම සඳහා ප්‍රතිජීවක ඖෂධ සහ වේදනා නාශක විශාල ප්‍රමාණයක් ලබා දී තිබිණි. ජීවිතය ගලවා ගැනීම සඳහා ලබා දුන් එම ඖෂධ මනීෂගේ දෙනෙත, හෘදය සහ වකුගඩුවලට දරුණු ලෙස බලපෑවේය. එහි ප්‍රතිඵලය වූයේ දෙනෙත නොපෙනී යෑමත්, හෘදය රෝගියකු බවට පත්වීමත් වකුගඩු අක්‍රීය වීමත්ය.
‘‘2016 සැප්තැම්බර් මාසෙ කකුල ඉදිමෙන්න ගත්තා. විශේෂඥ වෛද්‍යවරුන් රැසකට කකුල පෙන්නුවත් කිසිම වෛද්‍යවරයකුට රෝගය හඳුනාගන්න බැරි වුණා. පෞද්ගලික රෝහලක නේවාසිකව ඉඳලා පරීක්‍ෂණ කරලා බැලුවා. ඔවුන්ටත් හොයාගන්න බැරි වුණා. පසුව කොළඹ ජාතික රෝහලට ගියා. මහ රෝහලට ඇතුළත් වෙලා පැය දෙකක් යනකොට මාව ඔපරේෂන් කළා. එක කකුලක දණහිස ළඟින් නරක් වෙන්න ඇවිත්. තව දවස් දෙක තුනක් හිටියා නම් කකුල කපන්න වෙනවා කියලා වෛද්‍යවරැන් මට කිව්වා. මාස හතරකට පස්සෙ තමයි මම රෝහලෙන් ගෙදර ආවේ.
මේ වන විට ඔහුගේ එක ඇසක් සම්පූර්ණයෙන්ම නොපෙනේ. අනෙක් ඇසින් දැකිය හැක්කේ ඡායාව පමණි. හෘදය ද නිරෝගී නැත. වකුගඩුවල ක්‍රියාකාරීත්වය පවතින්නේ  18% ක් පමණි. එහි ප්‍රතිඵලය වූයේ මනීෂ ආබාධිත තත්ත්වයට පත් වීමය. 
‘‘රෝහලෙන් ගෙදර ඇවිත් මාසයක් විතර ගතවෙනකොට ඇස් දෙකම නොපෙනී ගියා. කකුල් දෙක ඉදිමිලා ඇවිදින්න බැරි වුණා. ප්‍රතිකාර ගන්න කොළඹ ජාතික රෝහලට ඇතුළත් වුණාමයි දැනගත්තේ වකුගඩු නරක් වෙලා කියලා. වකුගඩු අක්‍රීය වෙලා ඇස් පෙනීම නැති වූයේ කකුලේ තුවාලය වේළෙන්න දීපු බෙහෙත්වල බලපෑමෙන් කියලා වෛද්‍යවරු කිව්වා.
ස්වෙත්ලානා තම රෝගී සැමියා කිසිවිටෙක අත්හැරියේ නැත. ඇය ඔහු අසලම රැඳෙමින් ඇප උපස්ථාන කරමින් රැකබලා ගත්තාය. ඔහුට කැව්වේ පෙව්වේ, ඇවිද යාමට වාරැව දුන්නේ ඇයය.
ස්වෙත්ලානා කිසි දෙයක් ලෙහෙසියෙන් අතහරින කෙනෙක් නෙමෙයි. පිළිවෙළට වැඩ කරන කෙනෙක්. මම රෝගී වුණාම ඇයට කිව්වා මාව අතහැරලා එයාගේ රටට ගිහින් එයාගේ රැකියාව කරගෙන හොඳින් ඉන්න කියලා. එයා එක මොහොතක්වත් මාව තනි කළේ නැහැ. මට ඇවිදගන්න බැරිව ඉන්නකොට හැම දෙයක්ම කළේ ඇයයි. මනීෂ ස්වෙත්ලානා පිළිබඳ කතා කළේ ඉමහත් ආදරයෙනි.
මනීෂගේ වෛද්‍ය ප්‍රතිකාර සඳහා සියලු බරපැන දැරැවේ ඔහුගේ මව්පියන්ය. ඖෂධ සඳහා මසකට ලක්ෂ එකහමාරක් පමණ අවශ්‍ය වන අතර, මව්පියන්ගේ විශ්‍රාම වැටුප සම්පූර්ණයෙන්ම එයට වැය කෙරිණි. මනීෂගේ අසනීප තත්ත්වය දැනගත් ස්වෙත්ලානාගේ පියා කිසි දිනෙක නොදුටු තම බෑණාට ප්‍රතිකාර සඳහා ලක්ෂ හැටක මුදලක් එවීය.
මව්පියන්ට තවදුරටත් බරක් නොවිය යුතු යැයි සිතූ මනීෂට අවශ්‍ය වූයේ කිසිවකුට අතනොපා ස්වෝත්සාහයෙන් යමක් උපයාගෙන තම රෝගයට ප්‍රතිකාර ගැනීමය. තමාට යන්තම් ඇවිදීමට හැකි වූ විගස තම බිරිය සමඟ බිරියානි ව්‍යාපාරයක් ආරම්භ කළේ එහෙයිනි. මනීෂ දක්ෂ කෝකියෙකි. ආහාර කපා සකසා දෙන්නේ ස්වෙත්ලානාය. ඒවා පිසින්නේ මනීෂය. යාන්තම් පෙනෙන ඇසින් හා ඉවෙන් ඔහු එම කාර්යයේ නිරත වෙයි. ආහාර පැකට් කිරීම සිදුවන්නේ ස්වෙත්ලානා අතිනි. ආහාර ප්‍රවාහනයට ඔවුන්ගේම වාහනයක් නොමැත. ඔහු සතු වාහන සියල්ල විකිණී ගොසිනි. මාලබේ සිට ත්‍රිරෝද රථයකින් ආහාර පාර්සල් රුගෙන වැලිවිට හන්දියේ ස්ලිට් ආයතනය ඉදිරිපිටට පැමිණෙන මනීෂ සහ ස්වෙත්ලානා පදික වේදිකාවේ තම ව්‍යාපාරය කරගෙන යති.
මනීෂගේ ශෝචනීය කතාව ප්‍රචලිත වූයේ ෆේස්බුක් පිටුවක පළ වූ පුංචි සටහනකි. අප එම ස්ථානයේ සිටින විටත් විවිධ පිරිස් පැමිණ ඔවුනට මුදලින් හා වෙනත් අයුරින් ආධාර කරනු දැකිය හැකි විය. මා ඔහුගේ බැංකු ගිණුම් අංකය ඉල්ලූ අවස්ථාවේ මනීෂ කීවේ තමා කිසිවකුගෙන් මුදල් ඉල්ලා නොසිටින බවයි. උපකාර කිරීමට කැමති කෙනකුට ඔහුගේ දුරකතන අංකය ලබා දෙන්නැයි මගෙන් ඉල්ලා සිටියේය.
ෆේස්බුක් එකේ මා ගැන ප්‍රචාරය වුණාම බොහෝ දෙනෙක් ඇවිත් මට මුදලින් උපකාර කළා. මට අවශ්‍ය කාටවත් කරදරයක් නොවී උපයා ගන්න මුදලකින් ජීවත් වීමටත් ප්‍රතිකාර ගැනීමටත් අවශ්‍ය මුදල් සොයා ගැනීමයි. මා වෙනුවෙන් ඇවිත් බිරියානි එකක් කාල යන්න. මට කරන ලොකුම උපකාරය එයයි මනීෂ කීවේය.
මනීෂගේ දුරකතන අංකය 0771221768 ය. ඔහුට උපකාර කිරීමට කැමති අයකුට මෙම අංකයෙන් ඔහු ඇමතිය හැකිය.
 ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා
ඡායාරූප:- සුමුදු හේවාපතිරණ

     




Share on Google Plus

About admin

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 Comments :