ads
News
Loading...

තරින්දි ගැන අලුත් හෙළිදරව්වක්


මේ දිනවල වැඩිම ප්‍රේක්ෂක පිරිසක් රස විඳින පුලිඟු ටෙලි නාට්‍යයේ පොඩි වෙද හාමිනේ ලෙස සිය රංගන දායකත්වය ලබා දෙන්නේ තරින්දි ප්‍රනාන්දුයි. වඩා හර බර චරිත අතළොස්සක හිමිකාරියක වන තරින්දි පොඩි වෙද හාමිනේ ලෙසින් ඉතා සියුම් ලෙස සිය රංගනය හසුරවමින් සිටිනවා.

පොඩි වෙද නෝනා තරින්දිගේ රංගන දිවියට එක් කළ වෙනස කුමක්ද?

මොකක් හරි චරිතයක් භාරගන්න කොට මට මොකක්ද මේ චරිතය තුළින් කරන්න පුළුවන්, ප්‍රේක්ෂකයාට මොනවගේ පණිවිඩයක්ද මේ තුළින් ගෙන යා හැක්කේ කියල හිතනවා. එකිනෙකට වෙනස් චරිත තමයි මම භාරගන්න කැමති. සමහර අවස්ථාවල ඒකාකාරි චරිත භාරගන්න සිද්ධ වෙලා තියෙනවා. පොඩි වෙද හාමිනේ කියන්නේ මම මෙතෙක් කළ චරිතවලින් වෙනස්ම චරිතයක්. පොඩි වෙද හාමිනේ කියන්නේ විටක ආදරවන්තියක් තවත් විටක වෙද හාමිනේ කෙනෙක් හා අංගම්පොර සටන්කාරිනියක්. ඒ වගේම භූත බලවේගයක් හසුරුවන්නියක්.

නූතන පරපුරට අයත් ඔබ මේ පැරණි දේවල් හැසිරවූයේ කෙසේද?

ඒක මට ලොකු අභියෝගයක්. ඇත්තටම මම කැමැතියි අභියෝග භාරගන්න. මෙහිදී පුලිඟු ටෙලි නාට්‍යයේ අධ්‍යක්ෂවරයා වන බුද්ධික ලොකුකැටිය, කැමරා අධ්‍යක්ෂක නිශාන්ත ප්‍රදීප් වෙද හාමිනේ මොන වගේ කෙනෙක්ද කියලා මට වටහා ගන්න ලොකු සහයක් දැක්වූවා. ඒ හැරුණාම මම අංගම්පොර සටන් කලාවේ මූලික දේ ඉගෙන ගත්තා. පැරණි වෙදකම ගැන ලියවුණ නිර්මාණය වූ පොත්පත් හා ටෙලි නාට්‍ය බැලුවා.

අලුත් ටෙලි නාට්‍ය සංස්කෘතියේ චරිතයක් වෙනුවෙන් ඔය තරම් ගෙදර වැඩ කරන්න කාලය තියෙනවද?

දැන්නම් ගොඩක් වෙලාවට දර්ශන තලයට ගියහම තමයි අපිට පිටපත ලියලා දෙන්නේ. ඒ වුණත් මගේ පුරුද්දක් තියෙනවා පිටපත් රචකයා සමග කතාබහ කරන එක. මන්ද ඔහුගේ හිතේ තමයි චරිතය ලියවිලා තියෙන්නේ. කොහොමටත් මම කරන චරිතය ගැන හොයා බලනවමයි. මොකද මම රඟපාන්න ගොඩක් ආසයි.

බැංකු ක්ෂේත්‍රයෙන් රංගනයට මාරුවෙන්න හිතුවෙ ඇයි?

මම නර්තන ශිල්පිනියක් විදිහට පාහින්පත් තිබ්බෙ හත වසරෙදි. නමුත් මගේ අක්කත් වාණිජ අංශයෙන් ඉගෙන ගත්ත නිසා මමත් පසුව වාණිජ අංශයට එක්වුණා. පසුව මම පාසල් අධ්‍යාපනය අවසන් කරලා මූල්‍ය ආයතනයක අවුරුද්දක් වැඩ කළා. ඊට පස්සේ පෞද්ගලික බැංකු දෙකක අවුරුදු හතරක් සේවය කළා. ඔය අතරෙ තමයි මගේ මව පිළිකා රෝගයෙන් මියගියේ. ඊට පස්සේ මම රැකියාවෙන් අයින් වුණා. බැංකු ක්ෂේත්‍රයේ වැඩ කළාට මගේ පෞද්ගලික තෘප්තිය එතන තිබුණේ නැහැ.

නමුත් රංගනය වෘත්තියක් විදිහට අස්ථාවරයි නේද?

අපි චරිත හරියට කරනව නම්, අපි මේ ගැන හදාරණව නම්. අපේ දක්ෂතාව ඔප මටට්ම් කරගන්නව නම් අපිට කවදාවත් වැඩ නැතිවෙන්නෙ නැහැ. කොහොම හරි හොඳ වැඩ නියම වෙලාවට හම්බ වෙනව කියලා මම හිතනවා. ඉක්මන් වෙලා වෙන දේවල් පස්සෙ ගියොත් වෘත්තියක් විදිහට රංගනයේ ස්ථාවර වෙන්න බැහැ.

තරින්දි සරල මෙගා නාට්‍යවල රඟපාන්නෙ නැත්ද?

එහෙම දෙයක් නැහැ. මම මෙගා නාට්‍යවල වැඩ කරනවා. මම ආවෙත් පැහැසරා නාට්‍යයෙන්. ඒකත් මෙගා නාට්‍යයක්. දෝන කතිරිනා, නේත්‍රා, දංකුඩබංඩා, සඳ හැංගිලා යන මෙගා නාට්‍යවලත් මම වැඩ කළා. නමුත් ඒ හැම එකකම එකිනෙකට වෙනස් චරිත මට ලැබුණා.

මේ ගමනෙදි මග වරද්දන්න ආ අයත් ඔබට හමුවෙලා තියෙනවද?

අනිවාර්‌යෙන්ම. මටත් පෞද්ගලිකව වැරදි යෝජනා ඇවිත් තියෙනව සහ මම ඒවයින් වැළකිලා ඉඳල තියෙනවා. ඒක මේ රංගන ක්ෂේත්‍රයේ විතරක් නෙවෙයි හැම ක්ෂේත්‍රයකම වෙන දෙයක්. විවිධ පුද්ගලයන් අපේ රූපයට කැමැති වෙලා අපිට චරිත දෙන්න ඉදිරිපත් වෙනවා. ඒවට අපිට කොන්දේසි පනවනවා. ඒවා වෘත්තීයමය අය ඉදිරිපත් කරන කොන්දේසි නෙවෙයි. ඒවා මට තේරුම් ගන්න හැකියාවක් තිබුණා. මම ඒවට තරහ ගත්තේ නැහැ. ඒක ඒ අයගේ විදිහ. මේ ලෝකෙ මිනිසුන් අපිට වෙනස් කරන්න බැහැ. අපි වෙනස් වෙන්න ඕන.

ඔබ දන්නා තරමින් යොවුන් නිළියන් ඉතා කෙටි කලකින් සුපිරි ජීවිතවලට උරුමකාරියන් වෙන්නෙ රඟපාල ලැබෙන මුදලින්ද?

මේ ක්ෂේත්‍රයේ අපි කරන වැඩවලින් ඇත්තටම ඒ තත්ත්වයට ළඟාවෙන්න පුළුවන්. හැබැයි ඒකට ටික කාලයක් යනවා. අපි මේකට ආපු ගමන් සතියකින් දෙකකින් දෙමවුපියන්ගේ සල්ලි නැතිව කෙනෙක්ට එහෙම වාහන ගෙවල් දොරවල් හදාගන්න බැහැ. එහෙම නැති නම් ඒකට මැජික් බලයක් තියෙන්න ඕන. නමක් හදාගන්නකම් ලොකු කට්ටක් කන්න වෙනවා. ඊට පස්සෙ අපිට ඔය කියන ජීවන මට්ටම ළඟාකර ගන්න පුළුවන්.

තරින්දිට සම්මාන හෝ ඇගයීම් හිමිවෙලා තියෙනවද?

නැහැ. මේ වෙනතුරු කිසිම සම්මානයකට හෝ කිසිම සම්මාන උළෙලකට මට ආරාධනා ලැබිලා නැහැ. මම එහෙම බලාපොරොත්තු වෙන්නෙත් නැහැ.

ඔබට පනවා ගත්තු සීමාවන් තියෙනවද?

මම ගොඩක් කොටට අඳින්නෙ නැහැ. චිත්‍රපටයක හෝ ටෙලි නාට්‍යයක චරිත කරන්න ආසයි. හැබැයි ඒව මගේ ඇත්ත ජීවිතයට හානියක් නොවෙන චරිත විය යුතුයි. මම ගැහැනු ළමයෙක්. කවද හරි මම විවාහ වෙන්න ඕනෑ. මවක් වෙනවා. ඒ දේවල්වලට හානියක් වෙන චරිත මම කරන්නේ නැහැ.

ධම්මිකා සුරංජි පතිරණ








Share on Google Plus

About admin

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 Comments :