ads
News
Loading...

ප්‍රසංග වෙිදිකාවෙි සොඳුරු විජ්ජාකරුවා කලකට පසු හෙළිදරව් කරන රහස



ප්‍රසංග වේදිකාවෙන් ගෘහස්ථ වේදිකාවට සංක්‍රමණය වූ නලින්, පහුගිය දවසක කරපු කතාබහක් අපි අරගෙන එනවා

කොරෝනාවලින් පසු ලබන සතියේ ප්‍රසංග වේදිකාවට පිවිසෙන නලින්, නිර්මාණකරුවන්ගේ අයිතිය පිළිබඳවද කතා කිරීමට පෙළඹී තිබෙනවා.
මේ නලින් සමග කරපු කතාබහක්…

මේ දවස්වල මොකද කරන්නේ?

තාමත් ගෙදරට වෙලා ඉන්නවා. ලෝකෙම ඇතිවෙලා තියෙන ප්‍රශ්නයක් නිසා කිසිම කෙනෙක්ට ඇඟිල්ල දික් කරන්න බැහැ. අපේ සීමාවේ ඉඳගෙන ඉවසීමෙන් බලාගෙන ඉන්නවා.

ප්‍රසංග වේදිකාවට වැදුණු තවත් දරුණු ප්‍රහාරයක් නේද?

අනිත් වෘත්තීන්වල ඇති අවදානම නිරාකරණය වුණත් අපි තාමත් අවදානමේ. ඔළුව උස්ස ගන්න බැරි තරමට ආර්ථිකය වැටිලා. මොනවා කරන්නද…

ප්‍රසංග වේදිකාව ආරම්භ වෙන්නේ නැද්ද?

දැනට තියෙන තත්ත්වය අනුව පළමුවැනි ප්‍රසංගයට සූදානම් වෙනවා. සැප්තැම්බර් 19 මීගමුව කඩොල්කැලේ ක්‍රීඩාංගණයේදී තමා ප්‍රසංගය තියෙන්නේ. ඔක්තෝබර් 4 හැව්ලොක් ක්‍රීඩාංගණයේත් දැවැන්ත ප්‍රසංගයක් සූදානම් වෙනවා. ප්‍රේක්ෂකයෝ ලෑස්ති නම් අපිත් ලෑස්තියි.

අවසන් වරට වේදිකාවට නැගපු දවස මතකද?

මාර්තු 14 වැනිදා ඔස්ට්‍රේලියාවේ සිඩ්නිවල ප්‍රසංගයක් කළා. ප්‍රසංගය නිමා කරලා අවසාන තත්පරේ තමා ලංකාවට ආවේ. එදා තව සුළු මොහොතක් ප්‍රමාද වුණා නම් තාමත් ඔස්ට්‍රේලියාවේ.

හලාවත පැත්තෙවත් යන්නේ නැතිලු නේද?

වැඩවලට පහසු නිසා මීගමුවට ආවා. හලාවත ගේ තාමත් වහලා දාලා. මැයි මාසේ ගිහින් ආවට පස්සේ හලාවත ගියේ නැහැ. කොහොමත් ගේ නිරෝධායන කටයුතුවලට දීලා තිබුණේ.

ඔබ සමාජ සත්කාරයට ලැදියි නේද?

එහෙම දෙයක් නැහැ… අවශ්‍ය තැනට, අවශ්‍ය උදව්ව කරනවා. එච්චරයි. හලාවත ගේ ගැන අහපු නිසයි ඕක මතක් වුණේ. එහෙම නැතිව කරපු දේවල් කියන්න යන්නේ නැහැ.

අලුත් නිර්මාණ කළාද?

කීපයක් කළා. නමුත් මේ එළියට දාන්න කාලේ නෙවේ.

මිනිස්සු ආතතියෙන් ඉන්න කාලෙ නේද අලුත් නිර්මාණ එළියට දාන්න ඕන?

අපේ ගී ප්‍රසංග තුළින් තමා එළියට එන්නේ. මාධ්‍ය පසුපස ගීත අරගෙන යන්නේ නැහැ. ප්‍රසංග වටා ප්‍රේක්ෂකයෝ රැස් වෙන්නේ කොයි මොහොතෙද, ගීත එළියට දානවා.

අලුත් නිර්මාණ යූටියුබ් හරහා එළියට එනවා. අලුත් තරු පරණ අයගේ ගීත කියලා මිලියන ගණන් යූටියුබ් ප්‍රතිචාර ගන්නවා. පරණ ගායකයාට අසාධාරණයක් වෙන්නේ නැද්ද?

බුද්ධිමය දේපොළ යටතේ මෙහෙම කරන්න බැහැ. කවුද කතා කරන්නේ? මේ කාරණාව මාධ්‍යයවත් නිර්මාණකරුවාවත් අවබෝධ කරගෙන නැහැ. වහාම තීන්දුවක් ගත යුතුමයි.

මොකක්ද නලින් මෙහි නීතිය?

පරණ ගීතයක් අලුත් කෙනෙක් ගායනා කළාට කමක් නැහැ. අපිත් ඒක කරනවා. හැබැයි එම ගීතය යූටියුබ් හෝ සමාජ මාධ්‍ය තුළින් ප්‍රචාරය කරලා මුදලක් හොයනවා නම් අනිවාර්යයෙන්ම කර්තෘභාගය ගෙවිය යුතුමයි.

මේ අය නීති දන්නේ නැද්ද?

දන්නවා, හැබැයි නොදන්නවා වගේ ඉන්නවා. ඒක දඩමීමා කරගෙන අන්තර්ජාලයේ අය අනිත් අයගේ ශ්‍රමය කොල්ල කනවා.

ඔබත් ප්‍රසංගවල අනුන්ගේ ගීත ගායනා කරනවා නේද?

උපහාර උත්සවයක හැර ටිකට් එකක් ගහලා මුදලක් හොයන හැම ප්‍රසංගයකම මම ගයන අනුන්ගේ ගීතවලට කර්තෘ භාගය ගෙවනවා. කවුරු නොකළත් නලින් පෙරේරා ඒක කරනවා.

ඉදිරියේදී මෙයට විරුද්ධව ක්‍රියාත්මක වෙන්නේ නැද්ද?

අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක වෙනවා. ලංකාවේ කිසිම නාළිකාවක් කර්තෘ භාග ගෙවන්නේ නැහැ. නාළිකාවකට ගීත නැතුව ජනප්‍රිය වෙන්න බැහැ. හැමෝටම අපි රතු එළි පත්තු කරලා තියෙන්නේ.

ගීත​යේ නියම අයිතිය කාටද තියෙන්නේ?

නිර්මාණකරුවාට. සමහරු කියනවා මේ ගීතය ලියාගන්න සල්ලි දුන්න නිසා පස්සේ දෙන්න ඕනේ නැහැ කියලා. එහෙම දෙයක් නැහැ. ගීතයේ අයිතිය සම්පූර්ණයෙන්ම නිර්මාණකරුවා සතුයි.

කවුද ඔබේ සමකාලීනයෝ..?

අමල් පෙරේරා, නාමල් උඩුගම, මධුමාධව අරවින්ද, අතුල අධිකාරි වගේ අය තමා මගේ සමකාලීනයෝ.

අවුරුදු තිහක් විතර ඔබ ප්‍රසංග වේදිකාවේ ඉන්නවා. මේරියන්ස් බෑන්ඩ් එකේ අය දැන් විසිරිලා. මේ අය ඔබේ සතුරෝද?

මේරියන්ස් විසිරිලා නැහැ. තාමත් හොඳට ප්‍රසංග වේදිකාවේ වැජඹෙනවා. අන්ප්ලග් හඳුන්වලා දුන්නේ මේරියන්ස්. මට තරහකාරයෝ නැහැ. මගෙත් එක්ක තරහා වුණාට කරන්න දෙයක් නැහැ.

ඔබ තරමක් දරුණු නායකයෙක් කියලා කියනවා…

වැරදි මතයක්. මම නීතියට වැඩ කරන කෙනෙක්. බෑන්ඩ් එක ඇතුළේ නීති පද්ධතියක් තියෙනවා. මම ඇතුළුව ඒක හැමෝටම පොදුයි. නීති කඩන අයට කණ්ඩායමේ ඉන්න අවසර නැහැ. නීතියක් තිබුණ නිසා තමයි මේරියන්ස් තාමත් අංක එකේ ඉන්නේ.

නීතිය, විනය ගැන කතා කරන ඔබ ප්‍රසංග වේදිකාවේ දෙපිට කැපෙන කතා කියනවා. මේවා සදාචාරාත්මකද?

මේරියන්ස් කුණුහරප කියන්නේ නැහැ. එළිමහන් වේදිකාවේ ඉන්නකොට යම් යම් දේවල් කියලා කෑගැහුවා. සමහර විට ඒ මොහොතේ රසිකයන්ගේ හැසිරීමත් ඒකට බලපානවා. මේ දේ අවබෝධ කරගෙන තමයි අපි එළිමහන් වේදිකාව අත්හැරලා වෙනම ප්‍රසංග කලාවකට ආවේ.

දැන් සංවරයි කියලද කියන්නේ?

මේරියන්ස්ලා කවදත් සංවරයි. අම්මා, තාත්තා දෙන්නම ඇවිත් දුවගේ වෙඩින් එක අපිට දෙන්නේ ඒ විශ්වාසය නිසා. මම හිතන්නේ අපි ප්‍රසංග වේදිකාව උඩු යටිකුරු කළා.

ඔබ හරිම අවංකයි නේද..?

මම, මට අවංකයි. එතකොට මුළු ලෝකෙටම මා අවංක වෙනවා.

වැරදි කරලම නැද්ද?

මට කියන්න මේ ලෝකේ වැරදි නොකරපු කෙනෙක් ඉන්නවද කියලා… හැබැයි වැරදුණ තැන තමා මම ජීවිතේ වෙනස් කරගත්තේ. වැරැද්ද එක දිගටම කරනවා නම් තමා ඌ නරුමයෙක් වෙන්නේ. නමුත් තමන්ට වැරදුණ තැන අවබෝධ කරගෙන ආයේ ඒ දේ නොකරන කෙනා තමා මනුෂ්‍යයා.

ඔබ, ඔබ ගැන දැඩි විශ්වාසයෙන් කතා කරන්නේ?

ඔව්, මොකද මට අනිත් අයගේ කතා වැඩක් නැහැ. අරයට මෙයාට වැරදුණා කියලා මඩ ගහන්න පුළුවන්. කුණු හාරන්න පුළුවන්. හැබැයි වැරදුණ කෙනා තමා දන්නේ වැරදුණාම ඇතිවන වේදනාව. ඒ වේදනාව අත්විඳලා නිවැරදි වෙන කෙනා ජීවිතේ ආයේ වැරදි කරන්නේ නැහැ.

ප්‍රශ්න, වේදනා හංගාගෙන ප්‍රසංග වේදිකාවේ හිනා වෙන්නේ කොහොමද?

මේක මගේ රස්සාව. මා උපන්නේ මිනිසුන් පිනවීමට. ප්‍රසංගය බලන්න එන කෙනාට මගේ ප්‍රශ්නය අදාළ නැහැ. මටත් වෙන කිසිම දෙයක් අදාළ නැහැ. මම ඔහුව සතුටු කරන්න බැඳිලා ඉන්නවා.

ඔබ වගකීමෙන් වැඩ කරන ආදරණීය පියෙක්…

ඒ තරම් වගකීමක් මේ ලෝකේ තවත් නැහැ. විශේෂයෙන්ම තරුණ දුවෙක්ගේ තාත්තා කෙනෙක් කියන්නේ මේ ලෝකේ තියෙන ලොකුම වගකීම. ඒක මම නොඅඩුව අත්විඳිනවා. මොන දේ කළත් මගේ දුව ළඟ මම දරාගන්න බැරි තරමට සංවේදී වෙනවා. හැම තාත්තා කෙනෙක්ම එහෙම වෙන්න ඇති.

ඔබ ආගම දහමට ලැදි කෙනෙක්…

ඒ දේවල්වලින් තමා මම, මගේ ප්‍රශ්න නිරාකරණය කරගන්නේ. කතෝලික ධර්මයට සීමාවෙලා නැහැ. බුදු දහමේ ඇති දේවල් මට හරියට වටිනවා.

පාස්කු ප්‍රහාරයට තාමත් උත්තර නැහැ නේද?

උදේ හවස මට ඒ සිදුවීම මතක් වෙනවා. මොකද දවසට දෙපාරක් විතර මම කටුවාපිටිය පල්ලිය ළඟින් යනවා. තාමත් මාව පිච්චෙනවා.

ඒ මොහොතේ ඔබ කොහෙද උන්නේ?

ලොස් ඇන්ජලීස්වල ඔඩිෂන් එකක උන්නේ. ආරංචිය ලැබුණු ගමන් සම්පූර්ණයෙන්ම වැඩ නතර කළා. කතා කරගන්න බැරි තරමට ෂොක් වුණා. මිනිස්සු කී දෙනෙක් අදටත් වේදනා විඳිනවාද? නමුත් තාම සාධාරණයක් නැති එක ගැන තියෙන්නේ වේදනාවක්.

තාමත් නලින් පෙරේරා තරුණයි නේද?

නලින් පෙරේරා මැරෙන්නෙත් කොල්ලෙක් වගේ තමයි. හරිම සැහැල්ලුවෙන් ඉන්නේ. වැරැද්දක් වුණාම හදාගන්නවා. ප්‍රශ්නයක් වුණාම සාධාරණව ඒ දිහා බලාගන්නවා. එකම දේ දෙවරක් නොවෙන තරමට ජීවිතය දිහා හොඳින් බලන්න පුරුදු වෙලා ඉන්නවා. වෙන මොනවද ජීවිතේට අවශ්‍ය…

ක්‍රිෂාන්ත පුෂ්පකුමාර


Share on Google Plus

About admin

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 Comments :