ads
News
Loading...

පෙම් කලේ කන්නගී විතරමද




ප්‍රේමය  කියන්නම හැඟීමක් මිස අන් කිසිවෙකුත් නොවේ .. කොයි වෙලාවක , කා හට  , කවුරුන් වෙත එය ඇති වනවාදැයි ඔබ වත්  , මම වත් නොදන්නා මුත්  අප්‍රමාණව දිවිහිමියෙන් ප්‍රේම කළ උන් අතීතයේ ද වර්තමානයේ ද ඕනා තරම් ඇති අතර අනාගතයේ ද නොඅනුමානව බිහිවනු ඇත.. ඒ ප්‍රේමයේ හැටිය .. 

සුප්‍රසිද්ධ කතුවරයකු වන සමන් එදිරිමුනියන් ගෙන්  එක් වදනක් සොරාගෙන ඔබට ඇමතීමට සිතුවේ අකුරු හැඩතල ගළපන විට ඔබට ඊට වඩා ආදරණීය ඇමතුමක්  ගෙවෙන මේ  මොහොතේ දී මා පිහිටට නොඑන නිසාවෙනි.. 

ඉතිං හිතවත් පාඨකය ,,, 

අප ලාංකීය සමාජය සමඟ  ගහට පොතක් ලෙස බැඳුණු ප්‍රේම කතා ඇත්තේ ඉතා අල්පයක් බව ඔබ දන්නවා ඇත ... ඒ අතරින් කෝවලන් සහ කන්නඟී ඔවුන්ගේ ප්‍රේමයට පණ දුන් අයුරු  නොරහසකි.. 
එය කියැවෙනා අල්ල පනල්ලේ  මාධවී  කරළියට  එන්නේ ඉන් පසුවයි.. 

කොවලන්, මාධවී සොයා ගොස් ඇය සමඟින් සතුටු සුව වෙනවිට කන්නඟී විරහා වේඳනාවෙන් පීඩා විඳියි.. ඒත් ආදරේ තියෙන්නෙම හටගන්නෙම මහ පුදුම තැන්වල බව ඔබ දැනෙනවා ඇති.. අපි නොහිතනම  මොහොතවල් වල බව ඔබට වැටහෙනවා ඇති.. මෙලෙස කාලය ගතවත්ම ජීවිතේ කිසිදාක නොදැකපු ඉසව්වක හිඳ ප්‍රේමය කියන්නෙම සම්මතයක් - අසම්මතයක් හිතාගන්නට බැරි , දුක , සතුට , කෝපය එක්ක ගෙවෙන මොහොතක්  ලෙස කෝවලන්ට හිතෙන්නෙත් මාධවී සහ අදාල කාලපරාසයේ ඔහු මුහුණදෙන අත්දැකීම් නිසාමයි.. 

ඉතිං අවසන කෝවලන් නැවතත් කන්නගී සොයා ගොස් විරහා වේඳනාවෙන් මුසපත්ව සිත් තැව්ලෙන් සිටින ඇය අභියස කෙසේ හෝ තම පව් සමා කරගන්න ඔහු ; ඒ වන විටත් මාධවිය ගැබ්බර කර අවසන්.. නමුත්; 

හිතවත් පාඨකය ,, 

ඔබට මාධවියගේ සන්තාපය නොදැනෙන්නේ  කන්නඟියගේ කසාද උරැමය නැවතත් ලැබ කෝවලන් සමඟින් එකතුවීමේ සතුටින් උද්දාමයට පත් නිසා යැයි සිතමි.. 

නාට්‍යාංගනාවකට වඩා ප්‍රතාපවත් , කුළවත් ,  නීත්‍යානුකූල බිරිඳකට සිය උරුමය හිමිවීම සැබැවින්ම සාධාරණය … සසර ගනුදෙනු සහ  බැඳීම් යනු ඔබටවත් මටවත් ලෙහා ගැනීමට තවමත් නොහැකිවූ ගැටපද විවරණයකි.. ඉතිං අපි කන්නඟියට මඳක් නතර වන්නට කියමු.. මන්ද  ඇයගැන නියත කියවිල්ලක් අප සැමගේ හදවත් තුල නොමැකෙනා ගෞරවයක්  ලෙස සටහන්ව අවසන් නිසාය.. 

ඉතිං අප මාධවියව අමතමුද... 

සුප්‍රසිද්ධ නාට්‍යාංගනාවක් ලෙස ඇගේ පහස අයදිනා පිරිමින් නොසිටියා යැයි අපට කියන්නට නොහැකි වග ඔබට වැටහෙන්නට ඕනාය.. සැමට නලඟනකවූ නමුදු වෙසඟනක් නොවූ ඇය තමා සොයා ආ කෝවලන් හට ආදරෙන් බැඳුනේ කිනම් සසර ගනුදෙනුවක් නිසාදැයි අප දන්නේ නැත.. නමුත් ඇය ප්‍රේම කලේ කෝවලන්ට පමණක්ම බව කන්නඟිය ගැන සඳහන් ඉතිහාසයම සාක්ෂි දරයි.. සිය ප්‍රේමයේ නාමෙන් පතිවතම රැකගත් ඈ මවක් ලෙස ගැබ්බරව අවසානයේ  පුරුශ මූලික සමාජයක බිහිකරන්නේ දූ සිඟිත්තියකි.. 

නමින් මණිමේඛලා වන ඇය මාධවී ගේත් කෝවලන් ගේත් දියණියයි.. කාලය ගෙවෙත්ම මාධවිය තමන් සතු සියලු වස්තු සම්බාරයම දන් දෙමින් අවසන තම දියණියද උතුම් බුද්ධ ශාසනය වෙනුවෙන් පූජා කරන්නීය.. පසුකාලීනව මණිමේඛලා භික්ෂුණිය ලෙස බුද්ධ ශාසන ඉතිහාසයේ පිටු අතර රන් අකුරින් ලියවෙන්නේ ඇය ගැනයි..

හිතවත් පාඨකය,,,
මඳකට සිතන්න,,, 

මාධවිය ඇයට සිදුවූ අසාධාරණය වෙනුවට සාධාරණයක් පතාගෙන කිසිවෙක් ගෙන් කිසිවක්ම සොයා ගියේ නැත.. කෝවලන් තම වරද නිවැරදි කර ගැනීමටත් සිය දියණිය බැහැදැකීමට හෝ ඔහු කල පව් සමාකර ගැනීමටවත් පෙරලා පැමිණියේද නැත.. සියල්ල නිහඬවම විඳදරා ගත් මාධවිය නගර ගිනිලා අළුකලේවත් තමන් රැකි පතිවෘත්තා බලයෙන් කෝවලන්ට තියා වෙන කිසිවෙකුටවත් සාප කලේවත් දඬුවම් දුන්නේවත් නැත.. කුරා කුහුඹුවෙකුට වත් චෝදනා නොකළ ඈ විඳි සියලු මානසික ශාරීරික වේඳනාවන් රහසේම දරා ගත්තාය.. 

මඳකට නැවතී සිතුවොතින්,,  පිවිතුරුව ප්‍රේම කර ඇත්තේ කන්නඟිය විතරක්මද.. ප්‍රේමයක් ඔබ වර්ග කරන්නේ නම් මාධවියගේ ප්‍රේමය අයත් කොටසක් කිවහැකිද...

උත්තරීතර යැයි ඔබ හඳුන්වන ප්‍රේමයම කුළකයක් ලෙස වෙන් කරනවා නම්  නිහඬවම දිවි හිමියෙන් ප්‍රේම කරන්නන් බෙදා වෙන් කරනා සීමාවක් කිව හැකිද.. අසාධාරණ සෙල්ලක්කාර කෝවලන්ගේ පව්කාරකම් වලට සිය ජීවිතයෙන්ම දියනියද සමඟින් වන්දි ගෙවූ මාධවිය ප්‍රේම කර නැතැයි ඔබට කිව හැකිද.. 

දුක්විඳ හඬා වැලපී සිය පතිවෘත්තාව බලයෙන් මුළු සක්වලටම ප්‍රේමයේ අණසක කියා පෑ කන්ඟිය සේම රහසේ හඬා වැලපී සියල්ලන් අභියස අපහාස විඳ දරුගැබක් දරාගෙන දියණියක් බිහිකර ශාසනය වෙත පූජා කල මාධවියද පිවිතුරු ප්‍රේමවන්තියක් නොවන්නේ යැයි  ඔබට කිව හැකිද... ඉතිං හිතවත් පාඨකය  අපගේ නොසෑහෙන වෛරයෙන් නැහැවුනු මාධවිය කන්නඟී සේම ප්‍රේමයට අරුත් එක්කලා යැයි මා කීවොතින් මටද වෛර නොකරන්න.. මන්ද ඔබට කන්නඟිය මෙන් මට ; නිහඬවම පෙම්කල  මාධවියද ප්‍රේමයේ නාමෙන් ගත්කල ඉතා සමීපය.. 

හැමදාමත් ආදරෙන්
ශාෂු අමරසේන 

Share on Google Plus

About admin

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 Comments :