ads
News
Loading...

සම්මාන විකුණා දිළිදන්ට පිහිටවන ඇගේ කතාව


මේ සියලු දේවල් අනිත්‍යයයි. ඉතින් මේ සම්මාන ගොඩගහගෙන ඉන්න එකේ තේරුමක් නැහැ. මේ හැම සම්මානයක්ම අපේ දරුවන්වත් තියාගන්නෙ නැහැනෙ. අපේ ආච්චි, සීයාගේ ෆොටෝ එකක්වත් අපේ ළඟ තියෙනවද? නැහැනෙ.. ඒක තමයි ඇත්ත. ඒ සියලු දේවල් අනිත්‍යයයි. ඒ නිසා මේ දේවල්වලින් යම් ප්‍රයෝජනයක් අරගෙන ඒවායින් පිනක් දහමක් කරන්න, නැති බැරි මිනිසුන්ට ප්‍රයෝජනවත් යමක් කරන්න මම තීරණය කළා.”

ශ්‍රී ලාංකීය සංගීත ක්ෂේත්‍රයේ හෙළ ගී අඹරේ රන් ස්වරය වන්නේ ඇයයි. ආචාර්ය සුජාතා අත්තනායක යනු මෙරට සංගීත ක්ෂේත්‍රය තුළ සිටින ප්‍රවීණම කලාකාරියකි. මෙරට පමණක් නොව විදෙස් රටවලින්ද බොහෝ ඇගයීමට ලක්වූ මෙරට සම්පතකි. ගායන හා වාද්‍ය විශාරද කලාශූරී ආචාර්ය සුජාතා අත්තනායක මෙරට ජ්‍යෙෂ්ඨම චිත්‍රපට පසුබිම් ගායිකාවකි.

දශක කිහිපයක් තුළ ඇය ලබාගත් සම්මාන ප්‍රමාණය අති මහත්ය. 1965 වසරේදී හොඳම ගායිකාව ලෙසින් ස්වර්ණ සංඛ සම්මානය දිනාගත් ඇය එතැන් සිට මෙරට තිබූ සෑම සම්මාන උළෙලකදීම සම්මාන දිනාගත් ගෞරවාන්විත කලාකාරියකි.
මෙතෙක් ඇයගේ සංගීත ජීවිතයේ ඇයට හිමිවූ මෙම සියලුම සම්මාන තම රසික රසිකාවියන්ට ඉදිරිපත් කරමින්, ඒවා මිලකොට එයින් ලැබෙන සියලුම ආදායම තමා මේ වන විටත් කරගෙන යනු ලබන පුණ්‍ය කටයුතු සඳහා යෙදවීමට ආචාර්ය සුජාතා අත්තනායක තීරණය කර තිබේ.

1942 වසරේදී පවුලේ තුන්වැනියා ලෙසින් උපත ලද ආචාර්ය සුජාතා අත්තනායක මහත්මියගේ පවුලේ සහෝදර සහෝදරියන් සංඛ්‍යාව ඇයද සමඟ පස් දෙනෙකි. ඇයගේ පියා පොලිස් නිලධාරියකු වූ අතර මව ටවර් හෝල් නිළියක් හා ගායිකාවක් වූවාය. කුඩා කල සිටම කථක් නර්තනයට දස්කම් දැක්වූ ඇය කැලණිය වෙදමුල්ල මහා විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය හැදෑරුවාය. පසුව රාජ්‍ය සෞන්දර්ය විද්‍යා පීඨයෙන් සහ රාජ්‍ය සංගීත විද්‍යාලයෙන් උසස් අධ්‍යාපනය හැදෑරූ ඇය ඉන්දියාවේ ලක්නව් විශ්වවිද්‍යාලයෙන් සංගීතය පිළිබඳව වැඩිදුර අධ්‍යාපනය හැදෑරුවාය.

ගායනයට මෙන්ම වාද්‍ය භාණ්ඩ වාදනය කිරීමටද ඇයට ඇත්තේ විස්මිත හැකියාවකි. ඒ අනුව ඇය ඉන්දියාවේ ලක්නව් විශ්වවිද්‍යාලයෙන් සිතාර් වාදනය සඳහා විශාරද උපාධිය හිමිකර ගත්තාය.

ගායිකාවක් ලෙසින් මෙරට රසික රසිකාවියන්ගේ ආදරය දිනාගත් ආචාර්ය සුජාතා අත්තනායක 1975 වසරේදී (හරියට හරි) නම් චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂවරිය ලෙස කටයුතු කළාය. ඒ අනුව ශ්‍රී ලංකාවේ ප්‍රථම සංගීත අධ්‍යක්ෂවරිය වන්නේද ආචාර්ය සුජාතා අත්තනායක මහත්මියයි. එතැන් සිට ඇය චිත්‍රපට කිහිපයකම සංගීත අධ්‍යක්ෂවරිය ලෙසින් තම නිර්මාණ හැකියාව එළි දැක්වූවාය.

1980 වසරේදී නේපාලයේ බ්‍රිරේන්ද්‍ර රජු හා එමිලා දේවිය මෙරට පැමිණි දා ජනාධිපති මන්දිරයේදී පැවැති රාත්‍රී භෝජන සංග්‍රහයේදී නේපාල ගීතයක් ගායනා කරන්නට ඇයට අවස්ථාව උදා විය. සිංහල ගීත පමණක් නොව නේපාල, උර්දු, දමිළ, හින්දි, ඉංග්‍රීසි ආදී භාෂාවලින් ගීත ගායනා කිරීමටද ඇයට ඇත්තේ පුදුමාකාර හැකියාවකි.

(සොහොයුරෝ) නම් චිත්‍රපටයෙන් චිත්‍රපට පසුබිම් ගායනයට එක්වූ ආචාර්ය සුජාතා අත්තනායක පළමුව චිත්‍රපට පසුබිම් ගායනයට එක්වූයේ (සුරතල් මගේ පොඩි මුව පැටියා) නම් ගීතයෙනි. ඒ 1956 වසරේදීය. එතැන් සිට ඇය සිංහල චිත්‍රපට හාරසීයකට පමණ පසුබිම් ගීත ගායනා කළ අතර එයින්ද දමිළ චිත්‍රපට විස්සකට පමණ පසුබිම් ගීත ගායනා කළාය.

එකල ඇය විසින් ගායනා කර පටිගත කළ කැසට්පටවලට ලැබුණේ විශාල ඉල්ලුමකි. ශ්‍රී ලංකාවේ වැඩිම කැසට්පට සංඛ්‍යාවක ගී ගැයූ ගායිකාව වන්නේද ඇයයි. ඇය සංගීතයට පුදුමාකාර හැකියාවක් ඇති ශ්‍රී ලාංකික කලාකාරියකි.

ආචාර්ය සුජාතා අත්තනායක මහත්මිය කලක් අධ්‍යාපන අමාත්‍යාංශයේ සංගීත විෂය අධ්‍යක්ෂක මෙන්ම ශ්‍රී ලංකා ගුරු අභ්‍යාස විද්‍යාලයේ කථිකාචාර්ය ධූරයද හෙබවීය. ඇයගෙන් සංගීත ඥානය ලබා වර්තමානයේදී සංගීත ක්ෂේත්‍රයේ ඉහළ තැන්වල වැජඹෙන ගෝලයන් එමටය.

ඇය විවාහ වූයේ නවරත්න අත්තනායක සමඟය. ඔවුන්ට පිරිමි දරුවන් තිදෙනෙකි. වැඩිමහල් පුතු හේලි අත්තනායකය. දෙවැන්නා චානක අත්තනායකය. බාල පුතු සමින් අත්තනායකය.

1992 වසරේදී යුද්ධයේ අමිහිරි මතකයන් තම ජීවිතේ ඉතිරි කරමින් ආචාර්ය සුජාතා අත්තනායකගේ දෙවැනි පුතු වූ චානක ගුවන් හමුදාවේ නියමුවකු වශයෙන් සිටියදී ත්‍රස්ත ප්‍රහාරයකින් මෙලොවින් සමුගත්තේය. චානකගේ අවසන් හුස්ම පොද මේ වා තලයට එක්වන මොහොතේදී ආචාර්ය සුජාතා අත්තනායක සිටියේ සංගීත ප්‍රසංගයකට සහභාගි වෙමින් මෙල්බර්න් නුවරය. තම පුතුගේ වියෝව සැලවීමත් සමඟ ආචාර්ය සුජාතා අත්තනායකගේ හදවතට දැනුණු වේදනාව කෑගසා හඬමින් පිටවූයේ නැත. හදවතේම ගල් ගැසුණු ඒ වේදනාවෙන් ඇයට ඇයගේ කටහඬ අහිමි විය. එතැන් සිට සුදු වතින් සැරසෙන ඇය ගීත ගායනා කිරීම සම්පූර්ණයෙන්ම නතර කර දැමුවාය.

කාලයක් ගත විය. ඇයගේ ලක්ෂ සංඛ්‍යාත රසික රසිකාවියෝ ඇගේ හඬින් ගී අසන්නට බලා සිටියහ. ඒ අනුව දිගු නිහඬතාවයකින් පසුව 2012 වසරේදී (ජීවන විල මැද) නමින් සංගීත ප්‍රසංගයක් පැවැත්වූ අතර එය අති සාර්ථක ප්‍රසංගයක් විය.
වසර ගණනාවක් තිස්සේ ස්වර්ණ සංඛ සම්මාන, සරසවි සම්මාන, සුමති සම්මාන ආදී සම්මාන බොහොමයකට හිමිකම් කී ආචාර්ය සුජාතා අත්තනායක තම සම්මාන මිලකොට එයින් ලැබෙන මුදල් පුණ්‍ය කටයුතු වෙනුවෙන් යෙදවීමට බලාපොරොත්තුවෙන් පසුවන්නීය.

“මේ සියලු දේවල් අනිත්‍යයයි. ඉතින් මේ සම්මාන ගොඩගහගෙන ඉන්න එකේ තේරුමක් නැහැ. මේ හැම සම්මානයක්ම අපේ දරුවන්වත් තියාගන්නෙ නැහැනෙ. අපේ ආච්චි, සීයාගේ ෆොටෝ එකක්වත් අපේ ළඟ තියෙනවද? නැහැනෙ.. ඒක තමයි ඇත්ත. ඒ සියලු දේවල් අනිත්‍යයයි. ඒ නිසා මේ දේවල්වලින් යම් ප්‍රයෝජනයක් අරගෙන ඒවායින් පිනක් දහමක් කරන්න, නැති බැරි මිනිසුන්ට ප්‍රයෝජනවත් යමක් කරන්න මම තීරණය කළා.” යැයි ආචාර්ය සුජාතා අත්තනායක මහත්මිය දේශයට අදහස් දක්වමින් පැවසීය.

ඇය මේ වන විටත් බොහෝ පින්දහම්වල නියැලෙන, අසරණ, නැති බැරි මිනිසුන්ට පිහිටවන කලාකාරියකි. ඒ සියලු පින්කම් ඇය සිදුකරන්නේ ජනප්‍රිය වන්නට නම් නොවේ. ඇය වසරකට තුන් වරක් වියළි ආහාර මලු පවුල් සියයකට බෙදා දෙන්නීය. ඒ මෙරට බොහෝ දුෂ්කර ගම්මානවලට ගොසිනි.

“මෙහිදී අපි මුලින්ම ජීවිතේ එක්වරක් ලැබෙන සම්මාන කිහිපය මිල කරනවා. ඒ මිල සම්බන්ධයෙන් තවම හිතුවේ නැහැ. ඊටපස්සේ අපි අනිත් සම්මානවලටත් ලංසුවක් තියෙනවා. එයින් වැඩියෙන් ඉල්ලන කෙනාට ඒ සම්මාන ලබා දෙන්න අපි බලාපොරොත්තු වෙනවා.” යැයි ආචාර්ය සුජාතා අත්තනායක මහත්මිය වැඩිදුරටත් දේශයට පැවසීය.

ඒ සඳහා වෙන්වුණු දිනයක් තවමත් ඔවුන් තීරණය කොට නැත. නොබෝ කලකින් ඒ දිනය තීරණය වන අතර එදිනට බොහෝදෙනා ආදරය කරන ආදරණීය කලාකාරිය වූ ආචාර්ය සුජාතා අත්තනායක ලබාගත් සම්මානයක හිමිකම් කියන්නට ඔබටත් අවස්ථාව ලැබෙනු ඇත. එය මෙරට ජීවත්වන අසරණ මිනිසුන් වෙනුවෙන් කරන මහඟු පුණ්‍ය කටයුත්තකට දායක වන්නට ලැබෙන අවස්ථාවකි.

දිශානි ජයමාලි කරුණාරත්න
සේයාරුව : සුමුදු හේවාපතිරණ

සම්මාන සේයාරුව I සේයාරුව : දයාන් විතාරණ
Share on Google Plus

About admin

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 Comments :