ads
News
Loading...

නීටා ප්‍රනාන්දු සහ කුමාර කරව්දෙනිය නීස් සම්මානයට


ප්‍රංශයේ නීස් නුවරදී පසුගිය මැයි 10 වෙනිදා ඇරඹුනු හත්වෙනි නීස් අන්තර්ජාතික සිනමා උළෙල (Nice International Film Festival) විදෙස් භාෂිත වෘත්තාන්ත සිනමාපට (Foreign Language Feature Film) අංශය යටතේ නියෝජනය කිරීමට සුදුසුකම් ලද විසාකේස චන්ද්‍රසේකරන්ගේ "පාංශු" (Earth) සිනමාපටය එහිදී සම්මාන ද්විත්වයකින් පිදුම් ලැබීමට ඊයේ රාත්‍රියේදී සමත්විය. එහිදී "පාංශු" සිනමාපටයේ ප්‍රධාන චරිතයට පන පොවන නීටා ප්‍රනාන්දු උළෙලේ විදෙස් භාෂිත වෘත්තාන්ත සිනමාපට අංශයේ හොඳම නිළියට හිමි සම්මානයෙන්ද (Best Lead Actress in a Foreign Language Feature Film), "පාංශු" සිනමාපටය උදෙසා රංග වස්ත්‍රාභරණ නිර්මාණය කල කුමාර කරව්දෙනිය උළෙලේ සියලුම අංශයන් නියෝජනය කල සිනමාපට අතුරින් හොඳම රංග වස්ත්‍රාභරණ උදෙසා හිමි සම්මානයෙන්ද ( Best Costume) පිදුම් ලැබීමට සමත්වුහ. එයට අමතරව සම්මානය අහිමිව ගියද උළෙලේ විදෙස් භාෂිත වෘත්තාන්ත සිනමාපට අංශයේ හොඳම තිර රචනය (Best Original Screenplay in a Foreign Language Feature Film) උදෙසා වූ නිර්දේශිත නාමයන් 10 අතරට එක්වීමට "පාංශු" චිත්‍රපටයේ තිරරචනය ලියූ විසාකේස චන්ද්‍රසේකර සමත්විය.
1965 වර්ෂයේ තිරගත වූ "සතුටයි කදුළුයි" සිනමාපටය තුලින් දේශීය රිදී තිරයට එක්වූ නීටා ප්‍රනාන්දු සිය රංගනය උදෙසා අන්තර්ජාතික සම්මානයකින් පිදුම් ලද දෙවන අවස්ථාව මෙය වන අතර, මීට පෙර  ප්‍රසන්න විතානගේගේ "පවුරු වළලු" සිනමාපටයේ රංගනය වෙනුවෙන් 1998 වර්ෂයේදී ආසියාවේ හොඳම නිළිය ලෙසින් 11වෙනි සිංගප්පූරු අන්තර්ජාතික සිනමා උළෙලේදී සම්මානයට පාත්‍රවිය. එලෙසින් ඇය ඊයේ  "පාංශු" උදෙසා ලද සම්මානයත් සමග, රංගනය උදෙසා මේවනවිට ජාත්‍යන්තර සම්මාන 2 ක් හෝ ඊට වැඩි සංඛ්‍යාවකට හිමිකම් කියන පස්වෙනි ( මාලනී, නිත්‍යවාදිනී, දමිතා, අනෝමා, නීටා) ශ්‍රී ලාංකේය සිනමා නිළිය ලෙසින් ඇය වාර්තා පොත් අතරට එක්වීමට සමත්වූවාය. එසේම දශක කිහිපයක සිට කලා අධ්‍යක්ෂකවරයෙකු හා රංග වස්ත්‍රාභරණ නිර්මාණ ශිල්පියෙකු ලෙස ක්ශේත්‍රය තුල ප්‍රකට කුමාර කරව්දෙනිය සිය සිනමා ගමන් මගේ අන්තර්ජාතික සම්මානයකින් පිදුම් ලද පළමු අවස්ථාව මෙය වූ අතර , එසේම එය  72 වසරක් ඉක්මවූ ශ්‍රී ලාංකේය සිනමා ඉතිහාසයේ ශ්‍රී ලාංකේය රංග වස්ත්‍රාභරණ නිර්මාණ ශිල්පියෙකු  ශ්‍රී ලාංකේය දීර්ඝ වෘත්තාන්ත සිනමාපටයක් උදෙසා ජාත්‍යන්තර සම්මානයකින් පිදුම් ලද පළමු අවස්ථාවද විය. 
2018 වර්ෂයේ කැනඩාවේ මොන්ට්‍රියල් ජගත් අන්තර්ජාතික සිනමා උළෙලෙන් ජාත්‍යන්තර උළෙල නියෝජනය ඇරඹි "පාංශු" සිනමාපටය ලද දෙවෙනි හා තෙවෙනි ජාත්‍යන්තර සම්මානයන් නීස් උළෙලේදී ලද පෙරකී සම්මාන ද්විත්වය වන අතර, මීට පෙර මෙම වසරේ අප්‍රියෙල් මස   පැවති කැනඩා අන්තර්ජාතික සිනමා උළෙලේදී රෝයල් රීල් සම්මනයෙන් (Royal Reel) "පාංශු" සිනමාපටය පිදුම් ලැබීමට සමත්විය.  නීස් උළෙල , "පාංශු" සිනමාපටය නියෝජනය කල 07 වෙනි අන්තර්ජාතික සිනමා උළෙල වේ. 

       සටහන- උදිත ලක්මාල් කහඳවආරච්චි 

Share on Google Plus

About admin

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 Comments :