ads
News
Loading...

චිත්‍රයකටත් වංචා කරපු ඉජිනේරුවරයා


මෙහි ඇති පැන්සල් සිතුවම මාගේ වැඩිමල් පුතු විසින් නිම කරන ලද්දකි. එය නිමකර දෙන ලෙස ඇණවුම් කරන ලද්දේ ඉංජිනේරුවෙකු යැයි පැවසූ, ඒ බව ඔහුගේ මුහුණු පොත් ගිණුමේද සටහන් කොට ඇති Devanjith Wijesuriya නැමැත්තාය. පුතු විසින් ඉන්ස්ටග්‍රෑම් හි පළකල ඔහුගේ මිතුරන් කිහිප දෙනෙකුගේ චිත්‍ර දැක මෙය නිමකර දෙන ලෙසත් ඒ සඳහා රුපියල් 4,500/= ගෙවන බවත් පවසා තිබිණ.

මේ පුතු ලද පළමු ඇණවුමයි. එබැවින්දෝ එය බැරෑරුම් ලෙස බාරගත් ඔහු දින කිහිපයක් මුළුල්ලේ නිදි වරමින් ඒ සඳහා වෙහෙස විය. ඒ සඳහා අවශ්‍යය විශේෂ පැන්සල් සහ කඩදාසි අපට කියා මිළදී ගන්නා ලදී. ඔහු මේ සඳහා කොපමණ කැපවුණිද යන්න මා දන්නේ, මාගේ වීඩියෝ කිහිපයක් එඩිට් කිරීම මහුට මෙහිදී අතපසු වූ බැවිනි. චිත්‍රය ඉංජිනේරුවාගේ පෙම්වතියට උපන්දින තෑග්ගක් ලෙස ලබාදීමට අවශ්‍යය වූ බැවින් එලෙස අනිත් වැඩ ඔහුට අතපසු විය.

චිත්‍රය නිම කොට එහි ඡායාරූප ඔහුට යොමු කල විට ඔහු තවත් චිත්‍ර දෙකක් ඇණවුම් කරන ලදී. සියල්ල එකවැර ඔහුවෙත ලැබීමට සලස්වන ලෙස ඉල්ලා ඒ සඳහා මීගමුවේ ලිපිනයක් ලබා දෙන ලදී. සියළු චිත්‍ර පොඩි නොවන සේ විශේෂ පෙට්ටියක බහා Pronto සේවාව හරහා කුරියර් කරන ලදී.

සාමාන්‍යයෙන් කුරියර් සේවාවක් හරහා දෙදිනක් ගතවීමට පෙර බාරදීම සිදුවේ. බාරදිය නොහැකි නම් යවන ලද තැනැත්තාට ඒ බව දුරකථනයෙන් දැනුම් දේ. ඉංජිනේරුවාගෙන් විමසීමේදී චිත්‍ර ඔහුවෙත නොලැබුනු බව පැවසූ හෙයින් Pronto කාර්‍යාලය මඟින් විමසා බාරදී ඇති බව තහවුරු කරගන්නා ලදී. එයින් පසු ඔහුගේ සියළු සම්බන්ධතා විසංදි විය. ඔහු පුතු block කොට ඇත. මාගේ දුරකථන ඇමතුම් වලට පිළිතුරු නොදේ.

දෙවන්ජිත් විජේසූරිය මහත්මයාණෙනි , මගේ පුතා මෙවර උසස් පෙළ විභාගයට මුහුණ දෙන පාසල් සිසුවෙකි. ඔබ වංචාව කරේ එවැනි අංකුර පාසැල් සිසුවෙකුටයි. ඔහුගේ හැකියාවට හා කැපවීමටයි. එය ඔස්ට්‍රේලියාවේ උගත් ඔබේ තනතුරටත්, ඔබ උගත් ගල්කිස්ස St.Joseph විදුහලටත්, ඔබගේ දෙමව්පියන් ටත් ලබා දෙන අභිමානය ගැන මා සඳහන් කලයුතු නොවේ. මමද ඉංජිනේරුවෙකු වෙමි. ඔබගේ ක්‍රියාව අපගේ වෘත්තිය ගෞරවයටද හානියකි.

ඔබ නොගෙවා මඟ හරින මුදලට වඩා වැඩි වටිනාකමක් ඇති පාඩමක් පුතුට ඔබ උගන්වන ලදී. ඒ මේ සමාජයේ මිනිසුන් පාසැලෙන්, තනතුරෙන් හෝ සමාජ තත්ත්වයෙන් මැන විස්වාස කිරීම නොකළ යුතු වරදක් බවයි. ඔහුගේ පෑරුනු සිත ටික දිනකින් සුවපත් වන නමුත් උගත් පාඩම සදාකල් මතකයේ රැඳෙනු ඇත.

ඔබගේ පෙම්වතිය මෙය කියවනවා නම්, ඔබ කෙබඳු පුද්ගලයෙක් දැයි වටහා ගනු ඇත. සමහර විට පුතු පැන්සලෙන් යොදන ලද ඔහුගේ අත්සන මකා ඔබගේ අත්සන යොදා ඇයට තිළිණ කලා වන්නටද ඇත.

මෙය මෙලෙස පළකරන්නේ ඔබ වැනි වංචාකාරී පුද්ගලයින් සමාජයට හෙලිකිරීමටයි. ඔබ හෝ ඔබවැනි අයෙකු මගින් තවත් එක් අයෙකු හෝ මෙලෙස රැවටීම වැලකී මෙමඟින් වැලකේ නම් එය මාගෙන් සිදුවූ සමාජ යුතුකමක් ලෙස සලකමි.

චින්තක බාලසූරිය
වරලත් ඉංජිනේරු




Share on Google Plus

About admin

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 Comments :