ads
News
Loading...

කෑගල්ල ගිනිගත්ත මාකට් එක


මීට මාසෙකට විතර අකුණක් වැදිලා ජීවිතේ අහිමි වුණ තරුණයෙකුගෙ මළ සිරුර පහුවදා පශ්චාත් මරණ පරීක්ෂණයට ගන්නකන් කිසිම ආරක්ෂාවක් නැතිව මුළු රැයක්ම සීතල බංකුවක තනි කරලා තිබ්බේ කිතුල්ගල කිට්ටුව ඒ ප්‍රාදේශීය රෝහලේ මෝචරියක් නොතිබ්බ හින්දා. ඔහුගෙ බිරිඳ ඒ රෝහලේ කොණක මරණ යට සාක්ෂි දෙමින් ඉන්න කොට ඒ රෝහලේ ම කෙළවරක එළිමහන් බැංකුවක ඒ මරණ පරීක්ෂණය සිදු කරන ආකාරය මම දැක්කා. ඒක හරියට මස් මඩුවක දර්ශනයක් වගේ. රටට බදු ගෙවන මිනිහෙක් හැටියට මැරුණාම ඒ මිනිහට අවසන් නින්ද ගෞරවාන්විතව යන්නට දෙන්න බැරි තරම් අපි අසමත්. පාරක් හදල ලැබෙන ප්‍රසිද්ධිය මෝචරියක් හදල නොලැබෙන නිසා වෙන්න ඇති.

අද කෑගල්ල මාකට් එක ගිනි ගත්තා. පැය ගණනක් ඇවිලුණ ඒ ගින්න එක්ක මිනිස්සු ගණනකගේ ජීවිත බලාපොරොත්තු අළු කරලා දාන්න ඇති. මේ මාකට් එක හින්දා ඍජු හා වක්‍ර රැකියා කරන පිරිස විශාලයි. මම සිල්ලර බඩු මිල දි ගන්න කඩේ මට හොඳ කරෝල කෑල්ලක්, හාල්මැස්සන් වර්ගයක් තෝරාල දෙන වයසක අංකල් මතක් උනා. එළවළු කඩේ හොඳ එළවළු තෝරලා දීලා බෑග් එක බර වැඩි වෙලාවට වාහනේටම මල්ල ගෙනැත් දෙන මල්ලී මතක් උනා. මෙච්චර ගාන වැඩියි කියලා කේවල් කරලා ඒ හෑන්ඩ් බෑග් එක එපා කියලා හැරිලා එනකොට ඉන්න මිස් පාඩුයි තමයි. ඒ උනත් මිස්ට ඒ ගාණට ම දෙන්නම් කියන උඩුමහලේ බෑග් කඩේ වෙළෙද සේවකයා මතක් උනා. මට ඒ මිනිස්සුන්ගෙන් කොහොමද කියලා අහන්නවත් පුළුවන් කමක් නෑ.

කෑගල්ල කියන්නේ ලංකාවේ දිගම ටවුම උනාට කෑගල්ලට ගිනි නිවන රථයක් නැ. ටවුන් එක කීප සැරයක්ම ගිනි ගත්තත්, කොච්චර ඉල්ලීම් කළත් කොයි පක්ෂෙන් බලයට ආවත් හම්බුනේ නෑ. අද මාවනැල්ලේන් කුරුණෑගලින් එනකන් බලා නොයිඳ කෑගල්ලට එකක් තිබුණා නම් මේ ගින්න මේ තරම් විනාශයක් නොකරන්නට පෙර නිවා ගන්න තිබුණා. මාකට් එකේ උඩ තට්ටුව සම්පූර්ණයෙන්ම ඉවරයි. ආරංචිය හැටියට යට තට්ටුවේ ඉතුරු කඩ කීපයයි.

ඉතින් මිතුරනි තට්ටු පිටින් ගිනි ගත්තත් මේ සැරේ අපි පරණ හොරු ටිකට ඡන්දෙ දෙන එක නතර කරනවද, එන්න සකියනි මේ සැරෙත් උන් මහල දෙන ඇඳුම ඇඳගන්න. ඊට පස්සේ උන්ටම බැණ බැණ ජීවිතේ ගෙවා දමන්න.

අනුපමා ගනේගොඩ


Share on Google Plus

About admin

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 Comments :